9.3.12

උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා හමුවී !


"වනිගේ අයියේ !! . . . . වනිගෙ අයියේ !”

මම හතරවෙනි වතාවටත් ගිරිය කඩාගෙන කෑමොර දෙද්දී දෙයියෝ බැලුවා වාගේ ගෙදර දොර ඇරගෙන වනිගෙ අයියා පදිකිඩ මත්තට ආවා .

වෙලාව හීල් පාන්දර එකයි ඒ දෙසැම්බර් මාසයක එක් දවසක්

. අවුරුද්දේ අග කාලේ මුලු සකල සරීරෙම වෙවුළුවලා දාන හීතලෙන් මමත් මිරිකෙමින් උන්නා . නැගෙනහිර පළාතේ කාෂ්ටක පොළවේ පයගහලා ඒ වැටෙන ගිනිකූටක අවුවට පිච්චෙන්න පාරමි පුරාගෙන ආපු එකෙක් වෙච්චි මට ඌස්නේ කෙසේ වෙතත් හීතල නම් දරාගන්න අමාරුයි . ලස්ස ගණං වස්තු දෙනවා කීවත් හුස්මක් කටක් ගන්න බැරි තරමට දත් තිස් දෙකම හිරි වට්ටන හීල් පාන්දර ජාමෙක ගෙයිං එළියට බැහැලා අඟලක්වත් දුර ගාටන්න මම කොහොමත්ම කැමති එකෙක් නෙවෙයි. එත් එදා නම් මම ගෙයිං එළියට බැහැලා හීතලේ වෙවුලමින් වනිගේ අයියලෑ ගේ ඉස්සරහා කෑමොර දුන්නා . පිස්සෙක් නොවුණු මට ඒ විදිහට කෑමොර දෙන්න හොඳ හයිය හේතුවකුත් තිබුණා .

මේ ගං තුලානටම ඉන්න හොඳම අලි එළවන්නා තමයි වනිගෙ අයියා .

නාලාගිරි ඇතා දුවං ආවත් ආපහු හැරිලා දුවන්න කිසි දවසක සූදානම් නොවුණු , තමන්ගේ ඉදිරියේ හයිරම් පාන ඕනෙම සද්දන්ත අලියෙකුගේ කූඤ්ඤයෙන් වුණත් අල්ලන්ඩ තරම් එඩිතර ඒ වගේ මිනිහෙක් මම උපන්තේකට දැකලා නෑ .

"සඳරු මොකද මේ . . . ?

ලෑලි දොර පළුව උස්සලා පැත්තකින් තියලා බෙල්ල ගාවට යනකම් පොරෝගත්ත සරමකින් සැරසිලා උන්නු වනිගෙ අයියා ගාවට මමත් අඩියට දෙකට කිට්ටු වුණා .

"වනිගෙ අයියේ හතරේ කෑල්ලේ චින්තකලෑ ඉඩමට අලි රැළක් පැනලා උන්ගේ අලුත දාපු අත්තිවාරමට කෙළිනවාලු . අනේ විජහට යමං බං.”

 
සරම හනිකට ඉණ වටේ ඔතාගෙන වනිගෙයා එක හුස්මට උගේ ගෙට රිංඟුවා . කඩුල්ල ගාවට දුවලා ගියපු මම හනිකට බයික්කෙත් පණගන්වාගෙන ආපහු හරවගත්තා . බයික්කේ සැර ලයිට් එළිය .වනිගේ අයියාගේ වත්තේ හතරමායිමේ කළුව කපද්දී ඒ සැර එළිය මැදින් වනිගෙයා බයික් එක දිහෑවට දුවගෙන ආවා . උගේ පිටේ පොඩි එකාගේ ඉස්කෝලෙ ගෙනියන පොත් බෑග් එක එල්ලෙනවා . අනුමානයක් නෑ ඒ බෑග්ගේ ඇතුළේ අලි වෙඩිලි ඇති !.

"යමං . !”

වනිගේ අයියා බයික්කෙට ගොඩවෙලා මට විධානය දුන්නා . සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාතලේ වගේ මමත් බයික් එක වේගයෙන් ඉදිරියට පැදගෙන ගියා .

වැවුගම්පත්තුවේ මිනිස්සුන්ට වල් අලි කියන්නේ මැජික් එකක් නෙවෙයි . සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ කීප දෙනෙක් අලි දැක්ක ගමන් හූ කියලා වටේ පිටේ අයගෙන් බැණුම් ඇහුවාය කියලා ජන කතාවකුත් මගෙ කං දෙකට ඇහිලා තියනවා .

වල් අලින්ගේ කකුල්වලට පෑගෙන්න තරම් පවු කාරයෝ වෙච්ච මයෙ අහල පහළ ගම්මාන වල බොහොමයක් දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගැන මට හැබෑවටම දුකයි . ඉඳලා හිටලා මහ පොළොව බදාගෙන ආයේ නොනැගිටින්නම වැතිරිලා ඉන්න හස්ති රාජයෝ ගැනත් හීනිවට දුකයි .

කවුරු කෝම කීවත් අලි ඇත්තු තමයි නැගෙනහිර පළාතේ අයිතිකාරයෝ ! මේ පුල්ලෙයාර් දෙයියංගෙ අඩවිය. මේ පළාතේ අලියෙකුට දුකක් ගින්දරක් දුන්නු මිනිහෙකුටත් ලේසියන් ජීවත් වෙලා ඉන්ඩ බැරිය කියලා මතයකුත් යාන්තමට කටින් කට පැතිරිලා තියනවා . වෙල්ලස් කැරැල්ල සන්දියේ මේ පළාතට පැනලා ආපු උදවියත් , ගල්ඔය බෝඩ් එක පටන්ගත්තායින් පස්සේ මේ පළාතට ගෙනල්ලා පදිංචි කරවවුව මුල් උදවියත් මේ අද ඉන්න අපිට වඩා අනන්ත අප්‍රමාණ දුකක් අලින්ගෙන් විඳින්න ඇති උං එක්ක බලද්දී අපි ගෙවන මේ ජීවිතේ දාහෙං සම්පතයි .

"ටිකක් ඉක්මන් කරලා හමු බං .”

මෙච්චර වෙලා නිහඬව උන්නු වනිගේ අයියා එහෙම කියද්දී මමත් කල්පනා ලෝකෙන් එළියට බැහැලා ඇවිදින් බයික් එකේ වේගෙ වැඩි කළා .

වනිගෙ අයියත් එක්ක අලි එවළවන්න යාම මට ඒ තරම් අරුමයක් නෙවෙයි . මගේ ගෙවල් ළඟපාත දන්න අඳුනන කෙනෙක්ට වල් අලියෙකුගෙන් කරදරයක් හිරිහැරයක් සිද්ධ වුනෝතින් මම හනිකට දුවලා ගිහින් නතර වෙන්නේ වනිගෙ අයියලෑ ගෙදර පදිකිඩ මත්තේ . අලි වෙඩි හඬට හූ හඬට බය නොවෙන බීරි අලිත් වනිගේ අයියාගේ කටින් විසි වෙන අමු තිත්ත කුණුහබ්බ වචන ඇහුණු ගමන් නැට්ට උඩ තියාගෙන කැලේට දුවන හැටි දැක්කාම අපිට උන් හිටි තැනුත් අමතක වෙලා හිනා යන එක සාමාන්‍ය දෙයක් .

අලින්ට වෙඩි තියන්න , කරන්ටෙක අල්ලන්න හක්කපටස් තියන්න වගේම තන්ඩර් පත්තු කරන්න තහනම් වෙච්චිකොට අද අපේ අහල පහළ ගං කීපයක මිනිසුන්ට පිහිටට ඉන්නේ වනිගේ අයියාගේ කුණුහරප විතරමයි . ඇයිද කියන්න මම දන්නේ නෑ වනිගෙ අයියා කුණු හරප කියද්දී අලි දුවන දිවිල්ලෙන් මට හිතෙන්නේ වනිගෙ අයියා මොකක් නමුත් මන්තරයක් මතුරනවා ඇති කියලයි .

අදට වඩා අලි කරදර තිබුණු ඒ කාලේ මේ පළාතේ මිනිසුන්ට අලි එලවන්ට මන්තර සාස්තර වල පිහිට නම් නොඅඩුව තිබුණා . අලි එන විට මතුරා අත පෑමත් , මතුරා කෙළ ගැසීමත් , පොළවේ ඉරි ඇඳීමත් . ඒ කාලේ උදවියට බෝම සුළුයි .පොඩි එකා පවා මන්තර දන්න ඒ කාලේ මන්තර වරදින තැන කකුල් දෙකට මතුරලා වැඳ වැඳ දුවලා ගිහිං මහා ගහක් උඩ හෝ ගල් තලාවක් උඩට ගොඩ වෙන ඉස්සර කාලේ මිනිස්සු හරිම හපන්නු.

ඒත් දැන් කාලේ වෙනස් වෙලා . අලිත් දැන් මොඩිෆයි වෙලා ! උනුත් දැන් පැරණි මන්තර කියද්දී ඒවා නෑහුණ ගානට ඉන්න පුරුදු වෙලා .දැන් අපේ ගම් වල එවුන්ටත් බයික්කේ නැතුව ගෙයිං එළියට බහින්න බැරි කොට අලිත් එක්ක දුවගන්න නම් කොහොමටවත් බෑ .

****

අපි හතරේ කෑල්ලට එනකොට වෙලාව හීල් පාන්දර 1.30ට විතර . මම බයික්කේ මුල්ලේ ගෙදර වත්තෙන් ගාල් කරේ පාරේ බයික්කේ නතර කරලා අලියෙකුට කියලා ඒක පොළවට රිත්ත කරගන්න බැරි නිසාමයි .

මම බයික්කේ නතර කරනකොටම ඒකෙන් බිමට පැනගත්තු වනිගේ අයියා අඩියට දෙකට චින්තකලෑ ගෙවල් පැත්තට දිවුවා . බයික්කේ යතුර සාක්කුවේ ඔබාගත්තු මමත් හනි හනිකට උගේ පස්සෙන් පැන්නුවා . ඉස්සරහින් ඇහෙන හූ හඬවලුත් , ගිනිපෙනිලි වලින් නැගෙන ආලෝකයත් , මේ නාස් දෙකට එදා ඉඳන් හුරු අලි කුයිලත් නිසා අලි තවම කැලේට වැදිලා නැති විත්තිය මම සහ සුද්දෙන්ම දැනගත්තා .

"අද තමා අලි බොට්ටු හැත්ත වනිගේ අයියාගෙන් ඉල්ලගෙන කන්නේ"

මගේ හිතට කාලකණ්ණි සතුටක් දැනුණා !. ඒත් ඒ මොහොතකට විතරයි . අලි ඩෙඟා නටන පුංචි ඉඩං කෑල්ලට ගොඩ වෙච්ච මට මොහොතකට මගේ දුක වාවගන්න බැරි වුණා .

චින්තකයාගේ ඉඩම වටේම ඔතලා තිබුණ දෙපොටේ කටු කම්බි වැට එක පැත්තකින් කැඩිලා බිමටම පතබෑවිලා ! . අලුත දාපු ගෙයි අත්තිවාරමේ සිමෙන්ති, කල් කෑලි සීසීකඩ විසිරිලා අලුත උපදින්න බලාන හිටි ගේ කෑල්ලක් අලි පයකට අහුවෙලා බිමට සමතලා වෙලා . හීල් පාන්දර ජාමේ හීතලෙන් මිදිලා තිබුණු මගේ ලේ මේ සිදුවීම දැක්කායින් පස්සේ රත් වෙලා නටන්න පටන්ගත්තා . මට මොහොතකින් තේරුම් ගියා ඒ විදියට ලේ රත් වුණේ මගේ විතරක්ම නොවෙන වග .

"තොපෙ අම් . . . . . !”

වනිගේ අයියාගේ කටින් මහ සද්දෙට අමු තිත්ත කුණුහරුප වදන් මාලාවක්ම පිට වුණා . ඒ මහ හඬට අලි කලබල වෙද්දී වනිගෙ අයියා පිටේ එල්ලගෙන උන්නු මල්ලෙන් ගත්තු කැප් එක සහිත අලි වෙඩිල්ලක් පත්තු කළා .

"ඩෝං ! ! !”

පළාතම දෙදරවාගෙන පුපුරා ගියපු ඒ අලි වෙඩිල්ලෙන් නැගිච්චි හඬත් , ආලෝකයත් වෙඩි බේත් සුවඳත් ගවු ගණනක් දුරට දැනෙන්න ඇති . ඒ පුපුරා ගිය අලි වෙඩිල්ලේ ආලෝකයෙන් මම අලි රැලේ හිටි එක් විශේෂ අලියෙක්ව දැකගත්තා .ඒ තමයි වනිගේ අයියාගේ පරම හතුරෙක් වෙච්චි "කං කොටා !”

අලි වෙඩිල්ලේ සද්දෙටත් වනිගෙ අයියාගේ කුණුහරප වලටත් බයෙන් අලි කාණ්ඩෙම කැලේට රිංඟුවේ වට වෙලා උන්නු ගමෙ එව්වොන්ගේ හූ හඬ මැද්දෙයි . කැලේට දුවන අලින්ගෙන් සමහරක් ආපහු නැවතිලා හොඬවැල උස්සලා "ආපහු බොලාට රිටන් එක දෙන්න එන්නම්" කියන්නාක් වගේ කුංච නාදයකුත් කරලා කැලේට රිංඟුවා .

"හෙහ් කං කොටාට වනිගෙ අයියා දැක්කාම උන් හිටි තැන් මතක නෑ .

ගමේ එකෙක් ආයෙමත් කං කොටා ගැන මතක් කල නිසාම මගේ හිත ඇතුළේ තිබුණු කං කොටා ගැන මතකයත් ආයේ එළියට ආවා .

එදත් අද වගේම හීතල දවසක් . දවස තිස්සෙම ගිනිකූටක අවුවට පිච්චිලා රත් වෙච්චි පොළව රෑ පානේ ඇද හැලෙන පින්නට හීතල වෙනවා . වලාකුළක් ආසාවටවත් දැකගන්න බැරි නැගෙනහිට හිස් අහසෙන් කඩා හැලෙන හඳ එළියෙන් ගමම වෙලෙනවා . අලින්ට ගම් වදින්න ඒ වාගේ රැයක් නම් පංකාදුයි ! .

පිරිත් ගෙදරක පිටිපස්සේ බංකුවක් උඩට වෙලා බාල දුම්වැටියක් අතේ තියාගෙන නිදි කිරමින් උන්න මම එකවරම මහා ලතෝනියක් ඇහිලා තිගැස්සුණා . මෙතෙක් වෙලා මාව මත් කෙරුව නින්ද පලා යද්දී ගමේ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙන හූ හඬ මාව වෙලාගත්තා . සිගරට් කොටේ විහික් කොරලා දමාපු මමත් අනෙක් එවුන් එක්ක හනි හනිකට ඒ කෑගැහිල්ල ඇහෙන දිහාවට දුවලා ගිය හැටි මට අද වගේම මතකයි .

"අලි බොට්ටු ආවෝ .. ! . !. !”

 
කවුදෝ මන්දා එකෙක් ලතෝනි දෙන හඬ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙද්දී, මමත් අඩිය ඉක්මන් කළා . මේ අද වගේම අලින්ගේ කුයිලත් මගේ නාස් දෙකට හොඳ හැටි දැනුණා . කකුල් දෙකේ හයියෙන් අඩියට දෙකට කඩේ ගාවට කිට්ටු වෙද්දි මගේ ජීවිතේටම දැකලා නොතිබ්බ තවත් අමුතු සිදුවීමක් මම දැකගත්තා .

අලියෙක් බඹරයක් වගේ එක තැන කැරකෙනවා උගේ නැට්ට තදින් අල්ලගත්ත මිනිහෙකුත් ඒ එක්කම වටේට වැනෙනවා . හතර වටේටම ඇවිස්සිලා තිබුණු දූවිලි වලාකුළු අතරින් මම දැක්කා කවුද ඒ අලියාගේ නකුටේ එල්ලිලා ඉන්න මිනිහා කියලා .

ඒ උන්නේ වනිගේ අයියා .

ගමේ එවුන් හූ තියන්න පටන්ගත්තායින් පස්සේ අලියා කැලේ පැත්තට දුවන්න හැරුණා එතකොටම ඒ නාහෙට නාහන අලියාගේ නකුට අතෑරපු වනිගෙ අයියා විජහට අහකට පැනගත්තා . පණ බයේ දුවගෙන ගියපු අලියාගේ එක කනක් අක්‍රමවත්ව පිහිටා තිබුණ නිසා ගමේ කවුරුත් එදා ඉඳන් ඒ අලියාව කං කොටා කියලා හැඳින්නුවා . ඒ විතරක් නෙවෙයි අලියා එක්ක හරි හරියට පොරබදපු වනිගේ අයියා ගැනත් ගමේ එවුන් තැන තැන කතා වුණා . එදා ඉඳන් අද වෙනකම් මේ ගමේ ඉන්න නිල නොලත් අලි එළවන්නා තමයි වනිගේ අයියා

වනජීවී ඔෆිස් එකෙන් ගමට එන පළපුරුදු අලි අල්ලන්නෝ පවා වනිගේ අයියාගේ සහය ලබාගන්න කවදාකවත් අමතක කරන්නේ නෑ . ගමේ ඉන්න අපිටත් අලියෙක්ගේ හිරි හැරයක් විඳින්න වෙච්ච ගමන් මතකෙට එන්නේ වනිගේ අයියාව .සමහරු කියන විදිහට වනිගෙයා තමා අපේ අඩවිය භාර දෙයියා . ඌ අලිත් එක්ක හටන් කළේත්, අලියෙකුගේ නකුටේ එල්ලුනෙත් දිවිය ලෝකේ යන්න හිතාගෙන වත් දෙයියෙක් වෙන්ඩ හිතාගෙන වත් නෙවෙයි. ගමේ එවුං බේරගන්ඩ ඕනෙ නිසා .

අද වගේ වනජීවී ඔෆිසිය, අලි වෙඩිලි , අලි වැටවල් නැති ඒ කාලේ හිතේ හයියෙන්, කටේ කෙළ හිඳෙනකම් මන්තර මතුරලා, කෑගහලා. අලි එළවාපු අපේ ගම් පළාතේ බොහෝම ඉස්සර උන්නු මිනිස්සුන් ගාව තිබ්බ ගැම්ම අද වෙනකොට දියාරු වෙලා ගිහිං . සද්දන්තයෝ ඉදිරියේ අද නම් අපි ඔළුව කෙළින් කරගෙන ජීවත් වෙන්නේ වනිගෙ අයියා නිසයි .දැන් අපේ වනිගේ තමයි මේ ගං තුලානේ මිනිස්සුන්ට ඉන්න එකම සද්දන්තයා .

ඔය පින්තූරේ මුලින්ම යන්නේ වනිගේ අයියා 
පින්තූරය ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත ව්සින් ගන්නා ලදී

91 comments:

Podi Kumarihami said...

මේ කතා කියවනකොට අපි මේ ඉන්නේ වෙනම ලෝකෙක නේද කියලා හිතෙනවා සඳරූ...ඒත් ඔයාගේ මේ මුලු හදවතින්ම ලියන ලියවිල්ල උපන්නේ ඔය ගම හන්දා නේද කියලා හිතෙනකොට ඒ ගමට දුවගෙන ඇවිත් බලන්ට හිතෙනවා. 'ඔයාගේ ගමේ විත්ති' පොතක් කරන්ටකෝ. බ්ලොග්කාරයෝ, කාරියෝ එකතු වෙලා ඒකට සල්ලි දාමු.

මොකද කියන්නේ???

Anonymous said...

වෙනදා වගේම ෆට්ටයි ඈ... මම දැන් බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙලා,ඒකට වග කියන්න ඕන සඳරු අය්යණ්ඩි තමා.

Anonymous said...

පෝස්ට් එක බැලුවෙ මොබයිලෙන්. කොමන්ටුවත් ඒකෙන්මයි. අපේ අඹුසිඟිත්තට සැකයිලු මේ මිනිහා පැණි පෙරාගෙන මක්කා බලනවද කියාලා.

Charith Samarakoon said...

ජය වේවා වනිගෙ අයියා! නියම වීරයො!

ඉන්ද්‍රජිත් said...

මාර පොරක්නෙ..

Anonymous said...

Sandaru ge katha harima lassanai. Ada kathawa harima dukai. Pelak jeevithey vindinwa . Thawa pelak jeevithaya vindawanawa.
Man hamadama ennam putha liyana ewa balanna. Obata jaya.....

Weni said...

හැමදාම වගේ මාව ඉන්න මේ පුටුවෙන් අරගෙන යන්නෙ උඹේ ඔය ලස්සන ඒත් දුක්, විපත් , අතුරු ආන්තරා බෝහෝම තිබුනත් ඒවාම සවියක් කර ගෙන ජීවත් වෙන හදවත් සමූහයකට තමයි මල්ලි, අකුරු, වචන, ජේද අතරේ ලෝබ නැතුව අතරමං වෙන්ඩ කැමති මට නම් හරිම වටිනවා මලයගෙ ලියවිල්ල..පදිකිට කියන්නෙ අපි කියන පිල්කඩ කියන තේරුම වෙන්ඩ ඕනි..

කස්ස said...

වනිගෙ අයිය මාරම ඩයල් එකක් නෙ බං

Gimhani said...

ලස්සනයි සඳරූ වෙනද වගේම . අපි කුඩා කාලයේ ඉස්සර වැඩිහිටියො කියන කතා වට වෙලා අහගෙන ඉන්නවා. ඔයත් හරියට ඒ වගේ . වයසින් අඩු උනත්. මට හිතෙන්නෙ එහෙමයි .

නදී said...

පදිකිඩ කියන්නෙ මොකද්ද?පිල කියන එකද මල්ලි?

නදී said...

හක්කපටස් තියන්න වගේම තන්ඩර් පත්තු කරන්න

//හක්ක පටස් නම් දන්නව මොකද්ද තන්ඩර් කියන්නෙ?

Pisakkaatuwa said...

වෙනදා වගේම සුපිරි. උඹ ලියන්න පාවිච්චී කරන ගොඩක් වචන උඹටම අවේනික ගමේ වචන නිසා ලියවිල්ලේ රහ තවත් වැඩිවෙනවා. 'හීල් පාන්දර' කියන වචනේ ඔය දැක්කමයි. උඹලා අලින්ගෙන් ඔච්චර බැටකද්දී, උඹ අලින්ගේ අයිතිවාසිකම් ගැනත් හීනියට හරි කතාකරන එක නම් සිරා.

රයිටර් said...

මන්තර වැඩ කරන්නේ නැති උනාම කකුල් දෙකට මතුර මතුර දුවල ගහක් උඩ හරි ගලක් උඩ හරි නතර වෙන කතාව නම් මරේ මරු. සඳරු අයියේ පුළුවන් නම් අලි එලවන මන්තරයක් හොයාලා දාන්නකෝ..

නවම් said...

කාලෙත් එක්කම වනිගෙ අයියා ප්‍රාදේශීය දෙයියෙක් වෙයි ඔහොම යනකොට !!

neel said...

බැලුවා රසවින්දා සුපුරුදු ගමේ ගතිය නිසා ආසාවෙන් කියවන්න පුළුවන්.

Anonymous said...

වනිගෙ අයියට අපේ උපහාරය! :)

Sajith Lab said...

ඇත්තටම සදරුවෝ තන්ඩර් කියන්නේ මොනවද? නොදන්න කමට ඇහැවිවේ.......
එලටම ලියලා තියනවා ජය වේවා!!!!

Oditha D said...

නියමයි ඓයේ කතාව නම්...වල් අලින්ගේ වැඩක මටත් වෙලා තියෙනවා..අම්පරේදීම තමා...සාම විහාරේ ලගදි අපි ගිය වාහනේ පොඩි අවුලක් උනා..එක හදනකම් අපි පන බයේ හිටියේ..අ වෙලේ එහ්ටන කුබුරක අපි සෙල්ලම් දානවා...කෑම්ප් එක ලග ගෙවල් තියෙන අපේ අය්යා කෙනෙක් හිටිය අම්පාරෙම කෙනෙක්..එයාට නම අලි කියන අය සෙල්ලම් බදු වගේ..හැමදාම එයාල ගේ ලගට අලි එනවා වග පාලු කරන්න..අපිටත් TV එකේ අලි සෙල්ලම් වගේ..ඒත් සිරා අලියෙක් දැක්කම නිකන් රෙවෙන්න වගේ.

Anonymous said...

@පැතුම්

අලි එලවන මන්තරයක් මෙන්න.
"මහින්ද මහින්ද මහින්ද මහින්ද ..."

Ishara said...

මට මතක් වෙනවා මම ඔහෙ හිටපු කාලෙ අපි නැවතිලා හිටපු තැනට අලි ආපුවහම උන්ව එළවන්න දඟළපු දැඟළිල්ල. අපිට නම් ඒක ආතල් එකක්. ඒත් උඹ ඔය කියන ඇත්ත කථාව ඊට යටින් තියෙන බව අපි දැනගෙන හිටියා. ඔය පැත්තෙ මිනිස්සු විඳින දුක උඹ මොනවට සිත්තම් කරනවා මේ සටහන් වලින්. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියනවා වගේ වෙන කවුරුවත් එන්නෙ නෑ අපේ උදව්වට. අපිම අලි එළවගෙන අපිම ආරක්ෂා වෙන් ඕනා.
ඉතින් මචං ලියවිල්ල ගැනනම් කියලා වැඩක් නෑ. එක හුස්මට කියෙව්වා

මාතලන් said...

උඹලෑ පැත්තේ ඔහොම අලි හිටියට මෙහේ ඉන්නේ පොන්න අලි. අනික මෙහේ ඉන්නවා ඕන අලියෙක් මෙල්ල කරන්න පුළුවන් ගිරිවාපහ්තුවෙන් ආපූ අයියා කෙනෙක්. අලි නෙමෙයි කොටිත් දන ගහනවා එයා ලඟ. වනිගේ අයියා මොන අයියද මෙයානේ අයියා.

Sumith Niriella said...

අලි මන්තර ගැන කියන කොට මේ කතාව මතක් වුනේ. (මේක පත්තරේක පලවුනු කතාවක්)

අලින්ගෙන් කරදර වෙන ඔය වගේ පැත්තක ටෙලියක් කරන්න ටෙලි ටීම් එකක් ගිහින් තියෙනවා.

සාමාන්‍යයෙන් ටෙලිකාරයෝ හැම දේම අඩු වියදමකින් කරගන්නයි බලන්නෙ, ඒ අනුව අලි

අනතුරුවලින් ආරක්ෂා වෙන්නත් අලි මන්තර දන්න ගුරුන්නාන්සෙ කෙනෙක් ගමනට

එකතුකරගෙන වියදම අඩු හින්දා.
කට්ටිය මේ ගමන ගිහින් තියෙන්නෙ ගොම්මන් වෙලාවක
ඔහොම යනකොට වාහනයේ මඳ එළියෙන් පෙනෙනවලු පාර මැද කලුගලක් වගේ යමක්..."තනි

අලියා" වාහනේ හිටපු කවුරුහරි එහෙම කියනවාත් එක්කම වාහනෙන් බැස්ස කට්ටියම සී සීකඩ

දුවන්න ගත්තලු . එහෙම දුවලා ගිහින් ගහකට මුවාවෙලා හති අරින එක් කෙනෙකුට ගහේ අනිත්

පැත්තෙනුත් හති අරින සද්දයක් ඇහෙනවාලු. හෝදිසි මාදිසියක් දාලා බැලුවම... ඒ අර

ගුරුන්නාන්සෙ.

"...‍ම්...මේ ...ගුරුන්නාන්සෙනෙ....ගුරුන්නාන්සෙ මොකටද දිව්වෙ...?
ගුරුන්නාන්සෙ අලි මන්තර දන්නවයි කියලා අපි හැමෝම දන්නවනේ...

"...මහත්තේලා දන්නවා වුනාට ඒ සතා දන්නවයැ..."

වනිගෙ අයියගෙ කුණුහබ්බ මිසක් මන්තර වලින් නම් අලි එළවන්න දැන් බෑ. පෝස්ටුව නම්

වෙනදා වගේම සුපිරියි. ජය වේවා..!!

සෙන්නා said...

අයේ ඉතින් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ සඳරු.. සුපිරි ලිවිල්ලක්, වෙනදා වගේම.

මම් ජීවිතේට නොදැක්ක වචන් වගයක් දැක්කා බන් මේ ලිපියේ..

"පදිකිට"

"රිත්ත කරගන්න"

ලොකු පුතා said...

උඹලගේ පැත්තට අලින්ගෙන් තියෙන කරදරත් එක්ක බැලුවම උඹල අලි ගැන ඔය තරමින් හරි හිතන එක ගැන මට හරි සතුටුයි බං...
වනිගේ අයියලා වගේ මිනිස්සු තමයි කාලයත් එක්ක දෙවිවරු ලෙස මිනිස්සුන්ගෙන් වැඳුම් ලබන්නේ....
වනිගේ අයියා මොනවගේ මනුස්සයෙක්ද කියන එක ගැන අදහසක් ගන්න වෙන මුකුත් ඕනේ නැහැ, එයා අර කන්කොටාගේ වලිගෙ එල්ලිලා හිටපු එකම ඇති.....
හැමදාම කියනවා වගේ උඹගේ ලිවීම උපරිමයි බං.
උඹ මේ බ්ලොග් ලෝකෙට විතරක් කොටුවෙලා හිටියොත් හරි අපරාධයක් කියල මට හිතෙනවා
එතනින් එහා යමක් ගැනත් හිතුවොත් මොකද

ජය වේවා මචං.....!

Unknown said...

සදරුවෝ... උඹෙි කතාවල තියෙන ගමෙි කමට මම කවදත් කැමතියි. මොනවා උනත් ඔය අලි ප්‍රශ්නය නිසා අද ලංකාවෙි ගොඩාක් මිනිස්සු වගේම ඒ සත්තුත් විදවනවා. දැන් එන්න...එන්නම පෝස්ටි දාන එකනමි අඩුවෙනවා නේද?....

Anonymous said...

සඳරු මල්ලි ...මිනිස්සුන්ගෙ අමාරු වෙලාවල් වල පිහිටට හිටපු මිනිස්සු තමා පස්සෙ කාලෙක දෙවි නාම වලින් ඒ ඒ පලාත් වල පිලිගන්නෙ... වනිගෙ අයියත් අපේ කාලයේ දෙවියෙක්... අර පොඩ්ඩි කියපු වැඩේ ගැන හිතල බලන්න...

Miyuru said...

පදිකිට කියන වචනෙයි, රිත්ත කියන වචනෙයි අදමයි ඇහුවෙ... වචන දෙකේම තේරුම් නම් හිතාගන්න පුළුවනි....

වෙනදා වගේම කතාව නම් පංකාදු පහයි.... ඔය පැතිවල මිනිස්සු ස්වභාවධර්මයත් එක්ක කරන එක සටනක් අතුරු අන්තරාවක් නැතුව බේරිච්චි එක මොනතරම් දෙයක්ද... වනිගෙ අයියා අලියගෙ නැට්ට අල්ලන් කැරකුනා කිව්වම... අම්මෝ....!! ඒ අතින් ඒ මනුස්සයා දෙවියෙක් වගේ පේන එක අරුමයක් නෙවේ.... ඇත්තටම එයා අලි මන්තරද පාවිච්චි කරන්නෙ...? අනාගතය සඳහාත් කාට හරි ඉගැන්නුවා නම් තමයි හොඳ....

//චින්තකයාගේ ඉඩම වටේම ඔතලා තිබුණ දෙපොටේ කටු කම්බි වැට එක පැත්තකින් කැඩිලා බිමටම පතබෑවිලා ! . අලුත දාපු ගෙයි අත්තිවාරමේ සිමෙන්ති, කල් කෑලි සීසීකඩ විසිරිලා අලුත උපදින්න බලාන හිටි ගේ කෑල්ලක් අලි පයකට අහුවෙලා බිමට සමතලා වෙලා//

මේක කියවනකොට හුඟක් දුක හිතුනා...

//ඌ අලිත් එක්ක හටන් කළේත්, අලියෙකුගේ නකුටේ එල්ලුනෙත් දිවිය ලෝකේ යන්න හිතාගෙන වත් දෙයියෙක් වෙන්ඩ හිතාගෙන වත් නෙවෙයි. ගමේ එවුං බේරගන්ඩ ඕනෙ නිසා .//

මේක කියවනකොට ඇස් දෙකට කඳුළු ඉනුව...

Beetle said...

උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා පිටිපස්සෙන් එන්නේ කොලොම්පුරේ සුපිරිම බ්ලොග් ලියන්නෝ සෙට් එකක් නේද..? :)

Observer said...

අලුත්ම වචන ටිකක් කියෙව්ව.
පදිකිට
අලියෙකුගේ කූඤ්ඤයෙන්

අලියාගේ එක නං හිතාගන්න පුළුවන්, එත් එක තැනක පදිකිට සහ තව තැනක පදිකිඩ කියන තමා හරියට හිතාගන්න බැරි.

Abeetha Edirisinghe said...

උඹට මතකද වනිගේ අයියත් එක්ක අලි හොයන්න මහ කැලේ මැද්දේ ගිය දුර.... ඊට පස්සෙ මහ රෑ අලි බලන්න ආපු වේගේ..... එදාත් අපි එද්දිම අලි ගිහින් තිබ්බා... වනිගේ අයියානම් සිරා පොරක් බන්....

පරිකල්පන said...

අලි මිනිස් ගැටුම ගැන අලින්ගෙ පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත් කියන්න ගොඩක් දේවල් තියෙනව කියල හිතෙන්නෙ මේ වගේ පෝස්ට් එකක් කියෙව්වම තමයි.

ගමේ කම දැනෙන්න ලියල තියෙනව. සුපිරියි...

සිත් අහස said...

පුංචි කාලේ ලස්සන ජනකථාවක් කියෙව්වට පස්සේ දැනෙන සතුට ආසාව මේ කථාව කියෙව්වම දැනුනා සඳරු. අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් විනාස වෙන එක නම් සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි තමයි. කොහොම වුනත් වනිගේ අයියා දෙවියෙක් වගේ මනුස්සයෙක්.. අලින්ට කිසිම කරදරයක් නොකර ගමේ මිනිස්සුන්වත් ආරක්ශා කරන එකම කොච්චර වටිනවද..

පදිකිට කියන වචනේ නම් මම ජීවිතේට අහලා නෑ.. ඒකේ තේරුම මොකක්ද?

Anonymous said...

ammiyoo athi yanthan sadaru ayyata blog ekak danna mathak wela.mama tama his ahasata aluth knk.anik blogs wage mekath niyamai.

Praසන්ன said...

වනිගෙ අයියනං නියම මනුස්සයෙක් තමයි.
කොහොම උනත් ඔය ප්‍රශ්නෙ ගැන අලින්ගෙ පැත්තෙනුත් සාධාරණව බලන්න ඕන.

සඳරුට හිතිල නැද්ද අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිලා බලන්න. :D

ItalyDilan said...

උබ දැන් කාලෙන් කාලෙට බ්ලොග් පෝස්ට් දාන හින්දා ඉස්සරට වැඩිය මාර ආසාවක් තියෙන්නේ අලුතෙන් උබේ බ්ලොග් පෝස්ට් එකක් එද්දී,
පිට ඉදන් පත්තරේකින් අලි ගම් වලට පැනලා මිනිස්සු බනින්නේ උබලගේ පැත්තේ මිනිස්සුන්ටමයි අලින්ගේ කැලෑවල හේන් කොටන්න යනවා කියලා,,,ඒත් මේ අලින් එක්ක හැප්පෙන උබලගේ පැත්තේ මිනිස්සුන්ගේ කතා මෙහෙමවත් දැන ගන්න එක ලොකු දෙයක්

අනූ said...

පදිකිට මත්ත කියන්නෙ මොකක්ද සඳරු අයියේ...

අලි මිනිස් ගැටුම නම් ඉතිං නවතින එකක් නෙමේ... ජනගහණය වැඩි වෙද්දි කැලෑ කපල නව ජනාවාස හදද්දී අලින්ට ඉන්න තැනක් නැති වෙනවනේ... මොකද කරන්නේ???

mekuwi said...

හැමදාම වගේ හරිම ලස්සන ලියවිල්ලක් මල්ලි, එකම රටේ හිටියට ඒ ඒ පළාත්වල මිනිස්සු කොච්චර වෙනස් අත්දැකීම් එක්කද ජීවත් වෙන්නේ.. ඒ අත්දැකීම් අපිටත් live විදියට දැනෙන්න දෙන මල්ලිට පින්..

ශශී said...

කාලෙකින් ආවෙ සඳරු. මඟ ඇරුණු ඔක්කොම කියෙව්වා. මේකත් මරු.

Buddhi said...

මාර ප්‍රස්ණයක් තමා නේද ඔය අලි කේස් එක. උන්ට යන්ඩ තැනකුත් නෑ. අපිට යන්ඩ තැනකුත් නෑ

bindu said...

වනිගේ අය්යා දැක්කම කන් කොටා බයවෙනවා වගේ , වල් අලි දැක්කම මම බයවෙනවා. අලි ඉන්න ඉසඋවේ පාන්දර බ්යික්කේ උඹ පැද්දට මටනම් ෂුවර් සුළුදිය පහවෙනවා. මම එතරම් අලි බයගුල්ලෙක් . ( අලින්ට විතරයි හරිය.. ). ටොප් ලිපිය සදරු ...

පුංචි said...

අලුත්ම කතාවක්..ලස්සනයි..

ඔව් මයි ඔබා අයියා වගේම මමත් අලුත් වචන ටිකක් හොයාගත්තා.
හීල් පාන්දර..
පදිකි...

Anonymous said...

Dear Sandaruwan

Becuase of you guys iam addicted to the blogs. once i log in my office kottu is the first not news
All the best guys away from 6000mile you guys take me to my sweet world
Thank You,

SamUk

duliponline said...

මම දන්න අලි එලවන මන්තරයක් තියනව මචං . . මම උඹට ඒක වෙලාවක කියල දෙන්නං . . කරන්න තියෙන්නෙ . . අලිය ඉස්සරහට ගිහිං අල්ලට මන්තරේ 108 වතාවක් මතුරල අත අලියගෙ නලලෙන් තියන්න විතරයි

Raj said...

තුවක්කු අත්බොම්බ වලින් කාඩ් බොඩ් වීරයො වෙච්ච උන් ඉන්න අදකාලේ..වනිගේ අයියල වගේ උන් තමයි හැබැ වීරයො බං

ගැමියාගේ පත් ඉරුව said...

අලියෙක්ගේ නැට්ටේ එල්ලිලා හිටියා කියන එක කියවද්දි සෑහෙන්න පුදුම හිතුනා මාර මනුස්සයෙක්නේ.....කතාව නම් සුපිරියටම ලියලා තියෙනවා කියවගෙන යද්දි මැවිලා පේනවා නියමයි අයියේ.....

මම අහල තියෙනවා කතාවක් ඔහොම අලින්ව මන්තර කියලා පන්නන මනුස්සයෙක් දවසක් අලියෙක්ට බයේ දුවලා ආයේ නැවතිලා මන්තර කියලා කෑ ගහලා තියෙනවා ඒත් එදා ඒ අලි හැරිලා යන්නේ නැතිව අර මනුස්සයව පාගලා මරලා දාලා තිබුනා....

නමටවත් අලි වැටක් එහෙම නැතෙයි??

Dinesh said...

අන්න නියම පොරවල්.. ගමට ගමේ මිනිස්සුන්ට තියෙන ආදරේ නිසාම වෙන්න ඇති වනිගේ අයියට ඒ ශක්තිය ලැබිලා ඇත්තේ..

ඒක නෙමෙයි මලේ.. ඔය "පදිකිට" කියන වචනේ පොඩ්ඩක් පැහැදිළි කලානම්.. මම මේ අදමයි ඇහුවේ..

Anonymous said...

කවදත් වගේ කියන්න දෙයක් නෑ. සුපිරි ලියැවිල්ලක්!

අසරණයා said...

අපිට ඉස්සර අලි කරදර තිබුනේ නැහැ.තිබුනේ වී වපරපු කාලෙකට හරක් ගෙන තිබුණු කරදරේ.ඒ කාලේ අපි හිතන හිටියේ හරක් ගොයම් වගාව විනාසකරන එක තමයි තිබුණු ලොකුම කරදරේ කියල.උඹලගේ පැත්තේ වුන් කොච්චර දුකක් විඳිනවා ඇද්ද?

ලියවීම ගැනනම් කියන්න දෙයක් නැහැ.උඩ ඇයෝ අහල තියෙන ප්‍රශ්නවල තේරුම කියන්න ..

හිස් අහස said...

@Praveena Palipana = දැන් නම් ඉතින් ගමක් කියලා දෙයක් ආයේ ඉතිරි වෙන එකක් නෑ පො.කූ තව ටික කාලෙකින් අපිත් නාගරිකයි . පොත් ලියන්ඩ තරම් තාම මගේ අත වාරු නැති නිසා තව වසරකින් දෙකකින් වගේ බලමුකෝ ..
.............................................................................................................................
@Anonymous 08.28 =මම නිසා කියවන්ඩ ඇබ්බැහි වුණා කීවම මට ආඩම්බරයි ස්තූතියි මිත්‍රයා
.............................................................................................................................
@Anonymous 08:34 = ෂා මගේ බ්ලොග් එක ෆෝන් එකෙනුත් පේනවාද ? ඒක නම් මාර ගති . මම බලාපු එක පෝන් එකකින් වත් බ්ලොග් එක හරියට බලාගන්න බැරි වුණා .
.............................................................................................................................
@මගේ හිත = සහතික ඇත්ත අන්න නියම වීරයෝ
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = අනිවා
.............................................................................................................................
@Anonymous = බොහොම ස්තූතියි කමෙන්ටුවට . ඕක තමා ලෝක ස්වභාවය . පිං කල උදවිය ජීවිතේ තරමක් විඳිනවා අනික් ඇත්තෝ ඉතින් විඳවනවා . ඉස්සර මිනිස්සු මීටත් වඩා විඳවන්න ඇති ඒ එක්ක බලද්දී දැන් එවුං වාසනාවන්තයි . .
.............................................................................................................................
@Weni= සමාවෙන්න වෙනියා පොඩි ටයිපිං ම්ස්ටේක් එකක් වෙලා පදිකිඩ තමා නිවැරදි වචනේ . ඉතින් උඹ ලියන එවා තමයි මගේ හිත නිවන්නේ උඹටත් මගේ ලිපි දැකලා එහෙම හිතෙනවා නම් මට ඒක සතුටක් .
.............................................................................................................................
@කස්ස = ඌ අමර පොරක් බං
.............................................................................................................................
@Gimhani = මට පොඩි කාලේ බත් කවන්න නම් කතාවක් කියන්නම ඕනෙ . මගේ කතා වලට කැමති වීම මට සතුටක්
.............................................................................................................................
@නදී = පදිකිඩ කියන්නේ මම හිතන්නේ පිල කියන එකම තමා . ඔය ගෙදර ඉස්තෝප්පුව කියන ඒරියා එකට තමා . තන්ඩර් කියන්නේ වෙඩි බේත් දාලා හදාගන්න හෙන සද්ද ඇහෙන රතිඤ්ඤා කරලක් දැන් ඒවා ගහන්න දෙන්නේ නෑ අලින්ගේ කන් අඩි ඒවාට පැලෙනවාලු .
.............................................................................................................................
@Pisakkaatuwa= ඈ බොල හීල් පාන්දර කියන වචනේ මම හිතුවේ හැමතැනම භාවිතා වෙන වදනක් කියලයි . අලි වුණත් ජීවත් වෙන්ඩ එපැයි බං උං ගැනත් මට හීනිවට දුකයි
.............................................................................................................................
@පැතුම් [සිතුම් පැතුම්]= ඔන්න මචං උඹගේ ඉල්ලීම ඉටු කරලා කෙනෙක් අලි මන්තරයක් කමෙන්ටුවක් ලෙස දාලා තියනවා බලහංකෝ :)
.............................................................................................................................
@නවම් = මාත් එහෙනම් ඌට පුද පූජා කරනවා
.............................................................................................................................
@neel = ස්තූතියි මිත්‍රයා .ආවට ගොඩක් ස්තූතියි
.............................................................................................................................
@තනි අලියා = තෝව ගිලියි වනිගේ අයියා . මම වනිගේ අයියාට කියන්නම් තනි අලියෙක් ඌට උපහාර කලාය කියලා :)

හිස් අහස said...

@Sajith Lab =මචං තන්ඩර් කියන්නේ වෙඩි බේත් දාලා හදාගන්න හෙන සද්ද ඇහෙන රතිඤ්ඤා කරලක් දැන් ඒවා ගහන්න දෙන්නේ නෑ අලින්ගේ කන් අඩි ඒවාට පැලෙනවාලු .
.............................................................................................................................
@Oditha D= සහතික ඇත්ත බං පි වුණත් අලි දැක්කාම උන් හිටි තැන් මතක නැතුං හූ කියන්න පටන්ගන්නවා ඒක ඉබේටම සිද්ද වෙන දෙයක් . අපි ඉතින් බං පොඩියි නේ
.............................................................................................................................
@Anonymous = අප්පට සිරි අන්න සිරාම මන්තරේ . අලියෙක් පලාතකවත් ඉන්නේ නෑ ඔක කීවොතින්
.............................................................................................................................
@Ishara = ඔයත් මෙහේ උන්නද ? එහෙනම් ඉතින් අලින් ගේ සැප හොඳට දන්නවා ඇති කාට කීවත් වැඩක් නෑ දුක දන්න එකෙක්ට අපේ දුක කීවේ නැතිනම් .
.............................................................................................................................
@මාතලන්= ඒ අයියට නම් ඉතින් අපිත් බයයිනේ . ඒ අයියා තව ටික දොහකින් මේ පැත්තේ කිරුල තියලා යනවාලු එතකොට බලමු අපිත් දිනන හැටි .
.............................................................................................................................
@Sumith Niriella = සිරාම කතාව . හැබැයි මචං මේ පැත්තේ නම් තාම ඉන්නවා අලින් මන්තර බලයෙන් එලවන අය කීප දෙනෙක් මම දැකපු දේවල් වල හැටියට ඒක නිකම්ම අහක දාන්නත් බෑ.කතාව කියවලා හිනා නම් වුණා අඩු නැතිව
.............................................................................................................................
@Senna = මචෝ රිත්ත කරනවා කියන්නේ හොපු කරනවා කියන අර්ථය දෙන වදනක් චප්ප වෙලා කීවත් එකයි . පදිකිඩ කියන්නේ බං පිල එලිපත්ත ඉස්තෝප්පුව යන අරුත දෙන වදනක් .
.............................................................................................................................
@ලොකු පුතා = වනිගේ අයියා කියන්නේ බය කියන දේ නොදන්න බුවෙක් . මට ඉතින් මේ බ්ලොග් ලෝකෙන් එහා ආයේ යන්න තියෙන්නේ පර ලෝකේ තමා බං . බලමු මට අවස්ථාවක් ආවොතින් මම දිවිය ලෝකේවත් යාවි
.............................................................................................................................
@Nadun Shiwantha= මේ දවස් වල පෝස්ට් දාන එක නම් ටිකක් අඩු වුණා තමයි ඒත් ඉස්සහරට ඒ අවුල හරිගස්සාගෙන මම වැඩියෙන් ලියන්න හිතාගෙනයි ඉන්නේ . ස්තූතියි බං
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = දෙවියෙක් වෙන්න දිවිය ලෝකේ යන්නම ඕනේ නෑ නේන්නම් .මොනා කරන්නද අයියේ . මට ඉතින් යාන්තමට ලිපියක් දෙකක් ලියාගන්ඩ හැකි වුණාට පොත් ලියන්ඩ තරම් දැනුමක් නෑ බලමු තව වසරක් විතර ගිහින් උත්සහ කරලා බලන්නම්
.............................................................................................................................
@Miyuru = වනිගේ අයියා අලි මන්තර නම් පාව්ව්චි කරන්නේ නෑ ඒ මනුස්සයා හිතේ හයිය දාලා අලි පන්න කෙනෙක් සමහරු නම් ඉන්නවා මන්තර හොඳ හැටි දන්න අය .
.............................................................................................................................
@Beetle = සහතිකම ඇත්ත .. ඔයා ඒක නම් නියමෙට දැක්කා නේද ?
.............................................................................................................................
@Observer = සිරාවටම පදිකිඩ තමා වදන ඒත් මට පොඩි අත වෙවුලන අවුලක් වෙලා තමා අකුරක් වැරදිලා තියෙන්නේ . ස්තූතියි මාමා
.............................................................................................................................
@අභීත = මහ රෑ උඹ එක්ක කාර් එකේ ගිය ගමන නම් මට ජීවිතේට අමතක කරන්නඩ බැරි වේවි . මල් ගහපු උඹ ඔයි තරම් වේගෙන් කාර් එක ගෙනියද්දී පිටිපස්සේ හිටපු මම කෝම උන්නද කියලා උඹ නිකම්වත් බැලුවද ?

හිස් අහස said...

@පරිකල්පන= කාලෙකට ඉහතදී මම අලියාගේ පැත්තෙනුත් කතාවක් ලීවා මතකයි . ඉතින් පරිකල්පන ආවාට කියෙවුවාට ස්තුතියි
.............................................................................................................................
@ප්‍රාර්ථනා = සහෝදරී පදිකිඩ කියන්නේ පිල එලිපත්ත ඉස්තෝප්පුව යන අරුත දෙන වදනක් . ගමේ එවුන්ව ආරක්‍ෂා කරන එවුන් නිකම්ම දෙයියෝ වෙනවා අපේ වනිගෙත් එහෙම එකෙක්
.............................................................................................................................
@Anonymous = අනේ ඉතින් මට මෙදාපාර ලිපියක් දාන්න ගොඩක් පමා වුණා ඒ ගැන සමාවෙන්ඩ . දැන් නම් ඉතින් ආයේ දිගටම ලියන්නයි හිතාන ඉන්නේ . තව දවසක එන්නකෝ
.............................................................................................................................
@Praසන්ன= අප්පා අලියාගේ නැට්ටෙ එල්ලිලා අලියා මාවත් අරං දිව්‍ය ලෝකේ ගියොතින් එහෙම මම මොකෝ කරන්නේ ?
.............................................................................................................................
@ItalyDilan= ඇත්තම කීවොත් මේව අලින්ට අයිති ගම් . ඒත් අපිව මෙහාට ගෙනල්ලා පදිංචි කරවවුවායින් පස්සේ අපි සෑහෙන කාලයක් අලි එක්ක හැප්පුනා . අවුලක් නෑ තව ටික කලකින් ඒවා නතර වේවි
.............................................................................................................................
@Shani = සහෝදරී පදිකිඩ කියන්නේ පිල එලිපත්ත ඉස්තෝප්පුව යන අරුත දෙන වදනක් . කැලේ අඩු වෙද්දී අලි ගම්මාන වලට පනිනවා මොනා කරන්නද ?
.............................................................................................................................
@mekuwi= මම ඉතින් කතා කොන්න බාසාවෙන් ලියලා දාන මේ වගේ ලියවිල්ලක් කියෝලා යන ඔබ සැමදෙනාටමත් පිං
.............................................................................................................................
@ශශී = ස්තූතියි අයියා . මමත් මේ කාලෙකින් තමා ලීවේ
.............................................................................................................................
@බුද්ධි අයිය =- අනේ අයියා මම අර මෙවුවා එක හෙට දිහාට දාන්නම් මට අමතක වුණා බං
.............................................................................................................................
@bindu = තෑන්කුයි මචා . අලින්ට ඉතින් මේ අපි වුණත් බයයි . බර වෙලාවක ගියෝතින් අලියෙක් දැක්කාම මටත් උඹට වෙන සෙතේම තමා

හිස් අහස said...

@පුංචි කුමාරි හාමි = හීල් පාන්දර කියන්නේ අනේ හෙන පට්ට උදේ කියන එක නෙව පදිකිඩ කියන්නේ නම් ඉතින් එලිපත්තට . තෑන්ක්ස් අනේ කියෙවුවට
.............................................................................................................................
@SamUk = මචෝ මට කඩ්ඩ නම් ටිකක් අමාරුයි . ඒත් මම ටිකක් තේරුම් ගත්තා අපි ලියන දේවල් වලට උඹ ගොඩක් කැමතියි කියලා නේ කීවේ නේද ? ස්තූතියි බං . කොහේ හිටියත් අපි හිංගල එවුන් නෙව
.............................................................................................................................
@ඕනෙයා = 108 පාරක් මතුරද්දී අලියා අපිට *කේ ඇරලත් යයි බං
.............................................................................................................................
@Raj = සහතික ඇත්ත . අපිටත් තුවක්කු නොතිබ්බේ වෙලාවට තමයි නැති නම් ඉතින් අද අලි මේ ගමේ පලාතකවත් නෑ . මිනිස්සු වෙනුවෙන් හටං කරන එවුන් තමා හැබෑ විරුවෝ
.............................................................................................................................
@ගැමියාගේ පතිරුව =දැන් නම් අලි වැටක් තියනවා ඒත් උං දැන් බුද්දිමත් ඒ වැට කඩාගෙන ගම් වදිනවා . ඔය මන්තර එහෙම ආවට ගියාට කියන්න බෑ හිතේ ගැම්ම තියාගෙන කියන්න ඕනෙ
.............................................................................................................................
@Dinesh = මචං පදිකිඩ කියන්නේ පිල එලිපත්ත ඉස්තෝප්පුව යන අරුත දෙන වදනක් .
.............................................................................................................................
@විසිතුරු = ස්තූතියි යාළු
.............................................................................................................................
@අසරණයා = අලින්ට පෑගෙන්නම ඕනෙ බං ඒකේ වේදනාව දැනෙන්න . ඉතින් උඹලත් දවසක් මේ පැත්තේ නයිටක් ගහන්න සෙට් වෙමු .

ලහිරු said...

අනේ මන්දා ඔය ප්‍රශ්නේ නම් කවදා ඉවරවෙයිද කියලා... අලිත් පව් මිනිස්සුත් පව්! පුල්ලෙයාර් දෙයියො ගැනත් පුළුවන් නම් මොනාහරි ලියපන්. මම හිතන්නේ හොඳ හොඳ කථා තියෙනවා. පෝස්ට් රේට් එක අඩුවෙලා නේද? හැබැයි ඉතින් එතකොට වටිනාකමත් වැඩියි! ඵල ඵල!

Anonymous said...

Sandaruwan

malli Kadda minawaunath mage key board eke Sinhala neha. I Love your blogs with full of life

Liyanna putha ape gamath dan nagarayak eth game sundara thawama hadawathe
Samuk

geeth said...

අදත් බොහොම අසාවෙන් කියෙව්වා..මල්ලිගෙ ලියවිල්ල නම් අපූරුයි.අද නම් අලුත් වචන ටිකකුත් ඉගෙන ගත්ත. ජය වේවා !! මල්ලි..

කිරිපුතා said...

මම මේ දවස් ටිකේම උඹේ බ්ලොග් එකට ගොඩවෙලා හිස් අතින් ගියා. කොයි වෙලේද අලුත් ලිපියක් දාන්නෙ කියල බලන් හිටියෙ. උඹල අලි හින්ද විඳින දුක නං අනන්තයි. ඒ කට්ට කාගෙන ජීවත් වෙන උඹල සැබෑම වීරයො. ආයෙ කියන්න දෙයක් නෑ මචං උඹ නම් සිරාම කතා කාරයෙක්. මම ඔය පෝස්ට් ඔක්කොම අකුරක් නෑර කියෙව්වා. ජයවේවා......!!!!

රාජ් said...

වනිගේ අයියට යෝධ බල ලැබෙන්න ඕන. උඹ ගොඩක්ම බිසිද? ටිකක් වැඩි සීග්‍රතාවයකින් පෝස්ටු දාන්න බෑ?

හිතුවක්කාර කෙල්ල said...

අම්මෝ.. අලි!!!! අපි අඅසවට අලි බලන්න ගියාට අලින්ගෙන් ගම්වල දුප්පත් මිනිස්සුන්ට මොනතරම් කරදර තියෙනවාද, අයියා ඉතින් සුපිරියටම ගමේ විදිහටම ලිව්වාම අපිව නිකන් ඇත්තටම අලි එලවන තැනකට ගියා වගේ තමා.. නියමයි අයියේ..

මාත් පදිකිට කියලානම් අහලා නෑ.. අලුත් වචන ගොඩායි..

මාත් කැමතියි අයියා මේ ගමේ විත්ති එකතු කරල පොතක් කරනවානම්.... ජය වේවා අයියේ!!!

ආයුබෝවන්ඩ said...

උඹේ ලිවිල්ලනම් මරැ මලේ

චතුරිකා ජයංගනී කස්තුරිඅාරච්චි said...

අම්මෝ සඳරූ මල්ලි.. "කලකට පස්සේ වෙලකට බැස්සේ" වගේ නේද?? හැමදාම හිස් අහසට ගොඩ වෙලා හිස් අතින්ම ගියා..
වෙනදා වගේම සුපිරි පෝස්ට් එකක්.. ඔයාලගෙ ගම් පලාතෙ මිනිස්සු අලි නිසා කොච්චර කරදර වෙනවද?මොනවා උනත් පුදුම හයියක් හිත් වල තියෙන්නෙ.මල්ලිගෙ ගමේ වීරයන්ට ජය වේවා!!!!

Anonymous said...

වනිගේ දෙයියන්ගේම පිහිටයි...!!! ඔය වගේ අයට පිටරට වල නම් තමන් දක්ෂ රැකියාව කරන්න රාජ්‍ය අනුග්‍රයහ පවා ලැබෙනවා බං...

Kasun said...

අම්මෝ අලි ගැන නම් මතක් කරන්න එපා බං. මම නම් පන බයයි. ඒ වගේම තමයි පුදුම තරහක් තියෙන්නේ.

වෙනද උඹෙන් අහල නැති වචන ගොඩක් අද තිබුනා.:)

දඩබ්බරයා said...

ඔන්න මේක කියවන්න ආවේ නම් පත්තරේ ගිය ආර්ටිකල් එක දැකලා.(ඒක හෙන පරණයි නේ)
බ්ලොග් ලියන එක නවත්තපු මං දැන් කරන්නේ බ්ලොග් කියවන එක.ඔන්න අයියගේ බ්ලොග් එකත් ඒ ගොන්නට එකතු උනා.වැඩි වැඩියෙන් ලියන්නට හැකියාව ලැබේවා..!

Unknown said...

වනිගේ අයියා එළ කොල්ලෙක් නේ....

sAm (සෑම්) said...

වනිගෙ අයියා වැඩ්ඩෙක් නොවැ...

ශ්‍රී said...

එළ මචං, උඹේ ප්‍රාදේශීය ව්‍යවහාරෙට තමා මම ගොඩක් කැමති :)

Anonymous said...

ekath ithin anik ewa wagema ela. me okkoma ekathu karala pothak gahapan ban.

polwattacom

Harshana said...

" සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාතලේ වගේ මමත් බයික් එක වේගයෙන් ඉදිරියට පැදගෙන ගියා"

මේ මොකක්ද බං ...... මාතලේ කියන්නේ අපේ පළාත බොල
ඒ මාතලී ගැන වෙන්ඩ ඇති උඹ ඔය කියන්නේ ...

Ravi said...

/ සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ කීප දෙනෙක් අලි දැක්ක ගමන් හූ කියලා වටේ පිටේ අයගෙන් බැණුම් ඇහුවාය කියලා ජන කතාවකුත් මගෙ කං දෙකට ඇහිලා තියනවා . /

මේ කෑල්ල තමයි මලේ මටනම් අල්ලලාම ගියේ.....ඉතිං මොකදෑ හැබෑටම ඊට පස්සෙං පහුන් උනේ...උං ටික දොට්ට දැම්මය සත්තු වත්තෙං....හෙහ්, හෙහ්,

අලි බොට්ටු කියන වචනෙ දැක්කම මතක් උනේ දිගාමඩුල්ලේ ආශ්චර්යය....

'' අලි බොට්ටු වෙහෙක්කම ඉඳිත් '' ඒ පොතේ එන දෙබසක කොටසක්....

අලි කියන්නෙ මගෙ ජීවිතේටත් කාලෙකට ඉස්සර බොහොම සමීප හිතවතුන් කොටසක්....අලි ගැන කතා කීපයක් ම මතක් උනා උඹේ සටහන කියවද්දි......

ලකී සිරි said...

උඹගෙ ලියවිලිනං එකකට එකක් දෙවෙනි නෑ සඳරූ මලේ..නියමයි..කිසිම ආටෝපායක් නැතිව ගැමි වහර යොදාගන හරිම ලස්සනට ලියල තියනවා..සුපිරියි..
ජය...!!!!!

නජාත් අක්‍රම් said...

පට්ටයි නේ.. මටත් ආසයි වනිගේ අයියාගේ වැඩ කැල්ලක් දැක ගන්න.. එල!

ක්සැන්ඩරයා said...

මාර ලියවිල්ලක් මලේ.. සුපිරියට ලියල තියනවා. හරියට මං එතන උන්න වගේ දැනුන. මේ පාර ආවාම මං අම්පාරේ එනවා.

භාණුක said...

මමත් දන්නව මන්තරයක්. කරන්න තියෙන්නේ අලියාගේ නළලට හයියෙන් ගහල මන්තරේ කියන එක. අනිවා, මේ මන්තරේ කියන්න වෙන්නේ එක පාරයි. 108 වතාවක් කියන්න වෙන්නේ නැහැ. විශේෂයෙන් ඔය කන්කොටා වගේ අලින්ට. මම ඒක එවන්නම්කෝ.

දිනුක said...

ඕං ගිරිං භූරපා ගජ කාලිනං බහ දේවතාවා බහඃ
මේ මන්තරය බෝර අටේ ෂොට්ගන් එකට මතුරා හරියටම අලියාගේ ඔලුව මැද්දට වෙඩි තබනු.අලියා වැටේ.අත්දුටුවයි!

Anonymous said...

මචන් හිනා වෙන අතරේම අඩන්නත් වෙන ලිපියක්. ගැඹුරින් හිතන්න බල කරන ලිපියක්. විශිෂ්ටයි සහෝ. ~සධිෂ~

වර්ණා said...

වනිගේ අයියානම් පට්ට පට පට ඔන් :)

හිතහොඳ පිස්සා said...

වනිගෙ අයිය මට පේන්නෙ නිහඬ වැඩ කරුවෙක් සමහර කයි දෙයියලට හොඳ ආදර්ශයක් වනිගෙ අයිය.....

සංකල්ප said...

වනීගේ අයියා පුදුම් අලි එලවන්නෙක් නේ ! ගමට ඒ වගේ කෙනෙක් ඉන්න එකත් ගම්මුන්ගේ හිතට සහනයක් ! මොකද වනජීවි කියලා එකක් තිබ්බට ඕකෙන් කෙරෙන මඟුලක් නෑ නෙව.

කාලෙකට පස්සේ සඳරු මල්ලිගේ බ්ලොග් එකට එන්ඩ උනේ. අද ඔක්කොම ලිපි කියෝනවා.

Anonymous said...

මිනිසාට ජීවත් වීමට නං, අප මිය යා යුතුය.

අලි-මිනිස් කෝන්තරය දැං කාළයක් තිස්සෙ තියෙන එකක්. ඒක පටන් ගත්තෙ අපි නෙමයි, ඔහෙලා. අපි ඉල්ලන්නෙ ජීවත් වෙන්න ඉඩක් විතරයි. තව ටික කාලෙකින් අපිත් වඳ වෙලා යයි. ඊට පස්සෙ ඔහෙලගෙ සංචාරක වියාපාරෙට පෙන්නන්න ඉතිරි වෙන්නෙ මැටියෙන් හැදූ අලි විතරයි.

- කං කොටා -

D-tec Creations said...

Sadaru malli... Kohomada ube kella dan... liyapankoo love eka ganath.. :)
All the best.... :D

සුදා said...

සදරුගේ බ්ලොග් එක මමත් හුග කාලෙක ඉදන් කියවනවා ඒත් කමෙන්ට් නම් දාපු නැති ගානයි තවත් එහෙම කරන එක උඹට කරන අසාදාරනයක්.
පියසේන කහදගමගේ මහත්තයගේ කාලෙකට පෙර විජය පත්තරේ කොටස් වශයෙන් පලවුන "ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ" කතන්දරේ කියවනකොට ගමක් ගැන දැනුන හැගීම උඹේ කතාවලින් මට දැනුනා.
අපේ කතා උබේ කතා තරම් ලස්සන නෑ අපේ නාගරික,අර්ධ නාගරික ජීවිත පුස්සක්ද කියලා වෙලාවකට හිතෙනවා.
ජය වේවා..!

networkdisa said...

උබේ ලිපි මගෙ රීඩරේට ආවෙ නැ බං...
දැනුයි ආයෙත් RSS දාගත්තට පස්සෙ හරිගියෙ..
වන්නියගෙ වැඩනම් ආයෙ පට්ට ඈ..

සරත් ලංකාප්‍රිය said...

උදේ පාන්දර උඹේ කතාව කියවලා මගේ හිත සැහැල්ලු උනා කොල්ලෝ.. හැමදාම වගේ..

පොඩ්ඩා said...

වනියා සුපිරි වැඩකරුවෙක් නේ බන් ..!!ජය වේවා

පිස්සා පලාමල්ල said...

අද දැක්කෙ බන් මේ පෝට්ස් එක.. අමුතුම ලෝකෙකට උබ ගෙනියනව බන් අපිව.. ලියන විදියෙන් නිකන් මැවිල පේන්න තියෙනවා...

සුපිරියි මචන්

සුදීක said...

මේ ලියවිල්ල කියෙව්වාම මගේ මතකයට ගොඩක් දේවල් ආවා. මුලින්ම ආවේ බෙන්තොට කියන සංචාරක පුරවරේ ඉපිද, ළමා විය එහි ගත කරද්දි අපිට තිබ්බ අලි අත්දැකීම. ඉස්සර ටුවරිස්ට් බෝඩ් එකට අයිති අලි වගයක් හිටිය. හතර දෙනෙක් වගෙයි මතක. එක්කෙනෙක් ලොකුයි. අනිත් එක්කෙනා මැද වයසේ. අනිත් දෙන්නා අර පෙරලි, පෙරලි යන නිවුන්නු දෙන්නෙක්. මේ පුංචි අලි පැටව් දෙන්නා අපේ ගෙවල් පහු කරලා "ගල් තොල්ල" කියන තොටුපලට අරන් යනවා නාවන්න. එතකොට අක්කයි මමයි උන් දෙන්නට පාන් කෑලි තියාගෙන ඉන්නවා. උන් දෙන්නත් අපේ ගෙවල් ගාව නතර වෙල යන්න අමතක කරන්නේ නෑ. ඒක පුදුමාකාර බැඳීමක්. අපි එනකං උන් ඉන්නව - උන් එනකං අපි ඉන්නව. ඊට පස්සේ පෙරහරවල් වල යන අලි. කොටන් අදින අලි ඕනෑ තරම් දැකල තියෙනව. මගේ රාජකාරි දිවියේදි විවිධ පළාත් වලදි අලි දැකල තියෙනව පොලොන්නරුව, කතරගම,මින්නෙරිය, හබරණ,උඩ වලව, හඳපාන්ගල, සූරියවැව, කන්දකැටිය (ඒ ගමේ අයටත් භීතිකවක් තිබ්බ ). අලි මිනිස් ගැටුම ගැන ඕනෑ තරම් පත්තර වලින් කියවල තියෙනව. බිංදු චිත්‍රපටියෙන් ඇත්ත අත්දැකීම මොන වගේද කියලා දැක්ක. ඊට පස්සේ අපේ ඔෆිස් එකේ කසුන් කියපු සජීවී අත්දැකීමත් ඔයාලා එක්ක බෙදා ගන්න ගමන් මට මේ ගැන හිතුන දේත් ලියන්නම්. නිතර අලි බලන්න උඩ වලව රක්ෂිතයට යන කසුන්ලට එක වතාවක් මූනට මූන අලියෙක් මුණ ගැහිලා තියෙනව. එයාලත් එක්ක හිටිය ට්‍රැකර් එයාලට ඇතුලට වෙලා ඉන්න කියලා. අලිය හොඬවැල වාහනයේ වහල උඩ තියන් ඉන්නවලු. මිනිහා වෑන් එකේ දොර ඇරගෙන ෆුට් බෝඩ් එකේ හිටගෙන අලියට අමු තිත්ත කුණුහර්පයෙන් බනිනවලු. අලියත් සත පහකටවත් ගණන් නොගෙන ඉන්නවලු. මිනිහා එකක් ඉවර වෙන්න එකක් සිගරට් පත්තු කරලා ඇතුලේ ඉන්න අයගෙන් ඉල්ලනවලු. අන්තිමේදි අලියා පරාද වෙලා ගියාලු. අන්තිමට මිනිහ කියල තියෙන පොඩ්ඩක් හරි හිත බය කර ගත්ත නම් අලිය ගහනව කියල. සිගරට් දිගටම ඉල්ලුවේ මිනිහගේ හිතට එන ආතතිය අඩු කර ගන්නලු. මේකෙන් තේරෙනව අලි,භූත,පෙරේත,හොල්මන් මේ හැමෝටම බෙහෙතක් විදියට පාවිච්චි කරන කුණුහර්ප, මන්තර ඒ වගේම පිරිත් වල කියන ආටානාටිය කියන මේ සියළු දේට පොදු එක දෙයක් තියෙන බව. ඒ මේ කියන වදන් කියන්ද්දි ඉබේටම එන ආවේගශීලීත්වය. මේ කියන පාර්ශව බය වෙන්න මෙන්න මේ හිත ධැඩිව කියන ඔනෑම දෙයකට කියලයි මට හිතෙන්නේ.

-- කමෙන්ට් එකකට දිග වැඩිද මන්ද ? --

ඇවිද්ද පය ......

samadhi said...

මේක දාපු ගමන්ම කියෙව්වා,commentකරන්න බැරි උනා..උපරිමයි bro..

සෝරෝ said...

කවුදෑ බං අර අලි එලවන්න යන සෙට්ටෙක... :D

Dude said...

සඳරූ, ඔබේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්!

henryblogwalker the Dude

shaminda srinath said...

ශික්......අපරාදේ මට මෙච්චර කාලයක් පරක්කු උනානේ මේ බ්ලොග් එක කියවන්න..................නියමයි සදරුවා,නියමයි....උබ නිසා බ්ලොග් කියවන්න ආස හිතෙනවා බන්

Sajeewa D Vimukthi, said...

ade mewa kiyawaddi nikan ubath ekka apith hitiya wage bn......niyamai...wel done kollaaaaaaaaaaaa

Post a Comment

තැන්කූ බං