13.3.12

සාටර් පෙම්වතාගේ කවිය



කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත

හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී

ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී

ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි

කකියයි යටිපතුල් ගංජා ගැට හින්දා
කලු වී ඇත දෙතොල් මම දුම් බොන හින්දා
සැවොම බනින බේබද්දා මම හින්දා
නුඹත් දුක් විඳියි දවසක මම හින්දා

මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්

කයියක්ම පමනයි !

9.3.12

උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා හමුවී !


"වනිගේ අයියේ !! . . . . වනිගෙ අයියේ !”

මම හතරවෙනි වතාවටත් ගිරිය කඩාගෙන කෑමොර දෙද්දී දෙයියෝ බැලුවා වාගේ ගෙදර දොර ඇරගෙන වනිගෙ අයියා පදිකිඩ මත්තට ආවා .

වෙලාව හීල් පාන්දර එකයි ඒ දෙසැම්බර් මාසයක එක් දවසක්

. අවුරුද්දේ අග කාලේ මුලු සකල සරීරෙම වෙවුළුවලා දාන හීතලෙන් මමත් මිරිකෙමින් උන්නා . නැගෙනහිර පළාතේ කාෂ්ටක පොළවේ පයගහලා ඒ වැටෙන ගිනිකූටක අවුවට පිච්චෙන්න පාරමි පුරාගෙන ආපු එකෙක් වෙච්චි මට ඌස්නේ කෙසේ වෙතත් හීතල නම් දරාගන්න අමාරුයි . ලස්ස ගණං වස්තු දෙනවා කීවත් හුස්මක් කටක් ගන්න බැරි තරමට දත් තිස් දෙකම හිරි වට්ටන හීල් පාන්දර ජාමෙක ගෙයිං එළියට බැහැලා අඟලක්වත් දුර ගාටන්න මම කොහොමත්ම කැමති එකෙක් නෙවෙයි. එත් එදා නම් මම ගෙයිං එළියට බැහැලා හීතලේ වෙවුලමින් වනිගේ අයියලෑ ගේ ඉස්සරහා කෑමොර දුන්නා . පිස්සෙක් නොවුණු මට ඒ විදිහට කෑමොර දෙන්න හොඳ හයිය හේතුවකුත් තිබුණා .

මේ ගං තුලානටම ඉන්න හොඳම අලි එළවන්නා තමයි වනිගෙ අයියා .

නාලාගිරි ඇතා දුවං ආවත් ආපහු හැරිලා දුවන්න කිසි දවසක සූදානම් නොවුණු , තමන්ගේ ඉදිරියේ හයිරම් පාන ඕනෙම සද්දන්ත අලියෙකුගේ කූඤ්ඤයෙන් වුණත් අල්ලන්ඩ තරම් එඩිතර ඒ වගේ මිනිහෙක් මම උපන්තේකට දැකලා නෑ .

"සඳරු මොකද මේ . . . ?

ලෑලි දොර පළුව උස්සලා පැත්තකින් තියලා බෙල්ල ගාවට යනකම් පොරෝගත්ත සරමකින් සැරසිලා උන්නු වනිගෙ අයියා ගාවට මමත් අඩියට දෙකට කිට්ටු වුණා .

"වනිගෙ අයියේ හතරේ කෑල්ලේ චින්තකලෑ ඉඩමට අලි රැළක් පැනලා උන්ගේ අලුත දාපු අත්තිවාරමට කෙළිනවාලු . අනේ විජහට යමං බං.”

 
සරම හනිකට ඉණ වටේ ඔතාගෙන වනිගෙයා එක හුස්මට උගේ ගෙට රිංඟුවා . කඩුල්ල ගාවට දුවලා ගියපු මම හනිකට බයික්කෙත් පණගන්වාගෙන ආපහු හරවගත්තා . බයික්කේ සැර ලයිට් එළිය .වනිගේ අයියාගේ වත්තේ හතරමායිමේ කළුව කපද්දී ඒ සැර එළිය මැදින් වනිගෙයා බයික් එක දිහෑවට දුවගෙන ආවා . උගේ පිටේ පොඩි එකාගේ ඉස්කෝලෙ ගෙනියන පොත් බෑග් එක එල්ලෙනවා . අනුමානයක් නෑ ඒ බෑග්ගේ ඇතුළේ අලි වෙඩිලි ඇති !.

"යමං . !”

වනිගේ අයියා බයික්කෙට ගොඩවෙලා මට විධානය දුන්නා . සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාතලේ වගේ මමත් බයික් එක වේගයෙන් ඉදිරියට පැදගෙන ගියා .

වැවුගම්පත්තුවේ මිනිස්සුන්ට වල් අලි කියන්නේ මැජික් එකක් නෙවෙයි . සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ කීප දෙනෙක් අලි දැක්ක ගමන් හූ කියලා වටේ පිටේ අයගෙන් බැණුම් ඇහුවාය කියලා ජන කතාවකුත් මගෙ කං දෙකට ඇහිලා තියනවා .

වල් අලින්ගේ කකුල්වලට පෑගෙන්න තරම් පවු කාරයෝ වෙච්ච මයෙ අහල පහළ ගම්මාන වල බොහොමයක් දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගැන මට හැබෑවටම දුකයි . ඉඳලා හිටලා මහ පොළොව බදාගෙන ආයේ නොනැගිටින්නම වැතිරිලා ඉන්න හස්ති රාජයෝ ගැනත් හීනිවට දුකයි .

කවුරු කෝම කීවත් අලි ඇත්තු තමයි නැගෙනහිර පළාතේ අයිතිකාරයෝ ! මේ පුල්ලෙයාර් දෙයියංගෙ අඩවිය. මේ පළාතේ අලියෙකුට දුකක් ගින්දරක් දුන්නු මිනිහෙකුටත් ලේසියන් ජීවත් වෙලා ඉන්ඩ බැරිය කියලා මතයකුත් යාන්තමට කටින් කට පැතිරිලා තියනවා . වෙල්ලස් කැරැල්ල සන්දියේ මේ පළාතට පැනලා ආපු උදවියත් , ගල්ඔය බෝඩ් එක පටන්ගත්තායින් පස්සේ මේ පළාතට ගෙනල්ලා පදිංචි කරවවුව මුල් උදවියත් මේ අද ඉන්න අපිට වඩා අනන්ත අප්‍රමාණ දුකක් අලින්ගෙන් විඳින්න ඇති උං එක්ක බලද්දී අපි ගෙවන මේ ජීවිතේ දාහෙං සම්පතයි .

"ටිකක් ඉක්මන් කරලා හමු බං .”

මෙච්චර වෙලා නිහඬව උන්නු වනිගේ අයියා එහෙම කියද්දී මමත් කල්පනා ලෝකෙන් එළියට බැහැලා ඇවිදින් බයික් එකේ වේගෙ වැඩි කළා .

වනිගෙ අයියත් එක්ක අලි එවළවන්න යාම මට ඒ තරම් අරුමයක් නෙවෙයි . මගේ ගෙවල් ළඟපාත දන්න අඳුනන කෙනෙක්ට වල් අලියෙකුගෙන් කරදරයක් හිරිහැරයක් සිද්ධ වුනෝතින් මම හනිකට දුවලා ගිහින් නතර වෙන්නේ වනිගෙ අයියලෑ ගෙදර පදිකිඩ මත්තේ . අලි වෙඩි හඬට හූ හඬට බය නොවෙන බීරි අලිත් වනිගේ අයියාගේ කටින් විසි වෙන අමු තිත්ත කුණුහබ්බ වචන ඇහුණු ගමන් නැට්ට උඩ තියාගෙන කැලේට දුවන හැටි දැක්කාම අපිට උන් හිටි තැනුත් අමතක වෙලා හිනා යන එක සාමාන්‍ය දෙයක් .

අලින්ට වෙඩි තියන්න , කරන්ටෙක අල්ලන්න හක්කපටස් තියන්න වගේම තන්ඩර් පත්තු කරන්න තහනම් වෙච්චිකොට අද අපේ අහල පහළ ගං කීපයක මිනිසුන්ට පිහිටට ඉන්නේ වනිගේ අයියාගේ කුණුහරප විතරමයි . ඇයිද කියන්න මම දන්නේ නෑ වනිගෙ අයියා කුණු හරප කියද්දී අලි දුවන දිවිල්ලෙන් මට හිතෙන්නේ වනිගෙ අයියා මොකක් නමුත් මන්තරයක් මතුරනවා ඇති කියලයි .

අදට වඩා අලි කරදර තිබුණු ඒ කාලේ මේ පළාතේ මිනිසුන්ට අලි එලවන්ට මන්තර සාස්තර වල පිහිට නම් නොඅඩුව තිබුණා . අලි එන විට මතුරා අත පෑමත් , මතුරා කෙළ ගැසීමත් , පොළවේ ඉරි ඇඳීමත් . ඒ කාලේ උදවියට බෝම සුළුයි .පොඩි එකා පවා මන්තර දන්න ඒ කාලේ මන්තර වරදින තැන කකුල් දෙකට මතුරලා වැඳ වැඳ දුවලා ගිහිං මහා ගහක් උඩ හෝ ගල් තලාවක් උඩට ගොඩ වෙන ඉස්සර කාලේ මිනිස්සු හරිම හපන්නු.

ඒත් දැන් කාලේ වෙනස් වෙලා . අලිත් දැන් මොඩිෆයි වෙලා ! උනුත් දැන් පැරණි මන්තර කියද්දී ඒවා නෑහුණ ගානට ඉන්න පුරුදු වෙලා .දැන් අපේ ගම් වල එවුන්ටත් බයික්කේ නැතුව ගෙයිං එළියට බහින්න බැරි කොට අලිත් එක්ක දුවගන්න නම් කොහොමටවත් බෑ .

****

අපි හතරේ කෑල්ලට එනකොට වෙලාව හීල් පාන්දර 1.30ට විතර . මම බයික්කේ මුල්ලේ ගෙදර වත්තෙන් ගාල් කරේ පාරේ බයික්කේ නතර කරලා අලියෙකුට කියලා ඒක පොළවට රිත්ත කරගන්න බැරි නිසාමයි .

මම බයික්කේ නතර කරනකොටම ඒකෙන් බිමට පැනගත්තු වනිගේ අයියා අඩියට දෙකට චින්තකලෑ ගෙවල් පැත්තට දිවුවා . බයික්කේ යතුර සාක්කුවේ ඔබාගත්තු මමත් හනි හනිකට උගේ පස්සෙන් පැන්නුවා . ඉස්සරහින් ඇහෙන හූ හඬවලුත් , ගිනිපෙනිලි වලින් නැගෙන ආලෝකයත් , මේ නාස් දෙකට එදා ඉඳන් හුරු අලි කුයිලත් නිසා අලි තවම කැලේට වැදිලා නැති විත්තිය මම සහ සුද්දෙන්ම දැනගත්තා .

"අද තමා අලි බොට්ටු හැත්ත වනිගේ අයියාගෙන් ඉල්ලගෙන කන්නේ"

මගේ හිතට කාලකණ්ණි සතුටක් දැනුණා !. ඒත් ඒ මොහොතකට විතරයි . අලි ඩෙඟා නටන පුංචි ඉඩං කෑල්ලට ගොඩ වෙච්ච මට මොහොතකට මගේ දුක වාවගන්න බැරි වුණා .

චින්තකයාගේ ඉඩම වටේම ඔතලා තිබුණ දෙපොටේ කටු කම්බි වැට එක පැත්තකින් කැඩිලා බිමටම පතබෑවිලා ! . අලුත දාපු ගෙයි අත්තිවාරමේ සිමෙන්ති, කල් කෑලි සීසීකඩ විසිරිලා අලුත උපදින්න බලාන හිටි ගේ කෑල්ලක් අලි පයකට අහුවෙලා බිමට සමතලා වෙලා . හීල් පාන්දර ජාමේ හීතලෙන් මිදිලා තිබුණු මගේ ලේ මේ සිදුවීම දැක්කායින් පස්සේ රත් වෙලා නටන්න පටන්ගත්තා . මට මොහොතකින් තේරුම් ගියා ඒ විදියට ලේ රත් වුණේ මගේ විතරක්ම නොවෙන වග .

"තොපෙ අම් . . . . . !”

වනිගේ අයියාගේ කටින් මහ සද්දෙට අමු තිත්ත කුණුහරුප වදන් මාලාවක්ම පිට වුණා . ඒ මහ හඬට අලි කලබල වෙද්දී වනිගෙ අයියා පිටේ එල්ලගෙන උන්නු මල්ලෙන් ගත්තු කැප් එක සහිත අලි වෙඩිල්ලක් පත්තු කළා .

"ඩෝං ! ! !”

පළාතම දෙදරවාගෙන පුපුරා ගියපු ඒ අලි වෙඩිල්ලෙන් නැගිච්චි හඬත් , ආලෝකයත් වෙඩි බේත් සුවඳත් ගවු ගණනක් දුරට දැනෙන්න ඇති . ඒ පුපුරා ගිය අලි වෙඩිල්ලේ ආලෝකයෙන් මම අලි රැලේ හිටි එක් විශේෂ අලියෙක්ව දැකගත්තා .ඒ තමයි වනිගේ අයියාගේ පරම හතුරෙක් වෙච්චි "කං කොටා !”

අලි වෙඩිල්ලේ සද්දෙටත් වනිගෙ අයියාගේ කුණුහරප වලටත් බයෙන් අලි කාණ්ඩෙම කැලේට රිංඟුවේ වට වෙලා උන්නු ගමෙ එව්වොන්ගේ හූ හඬ මැද්දෙයි . කැලේට දුවන අලින්ගෙන් සමහරක් ආපහු නැවතිලා හොඬවැල උස්සලා "ආපහු බොලාට රිටන් එක දෙන්න එන්නම්" කියන්නාක් වගේ කුංච නාදයකුත් කරලා කැලේට රිංඟුවා .

"හෙහ් කං කොටාට වනිගෙ අයියා දැක්කාම උන් හිටි තැන් මතක නෑ .

ගමේ එකෙක් ආයෙමත් කං කොටා ගැන මතක් කල නිසාම මගේ හිත ඇතුළේ තිබුණු කං කොටා ගැන මතකයත් ආයේ එළියට ආවා .

එදත් අද වගේම හීතල දවසක් . දවස තිස්සෙම ගිනිකූටක අවුවට පිච්චිලා රත් වෙච්චි පොළව රෑ පානේ ඇද හැලෙන පින්නට හීතල වෙනවා . වලාකුළක් ආසාවටවත් දැකගන්න බැරි නැගෙනහිට හිස් අහසෙන් කඩා හැලෙන හඳ එළියෙන් ගමම වෙලෙනවා . අලින්ට ගම් වදින්න ඒ වාගේ රැයක් නම් පංකාදුයි ! .

පිරිත් ගෙදරක පිටිපස්සේ බංකුවක් උඩට වෙලා බාල දුම්වැටියක් අතේ තියාගෙන නිදි කිරමින් උන්න මම එකවරම මහා ලතෝනියක් ඇහිලා තිගැස්සුණා . මෙතෙක් වෙලා මාව මත් කෙරුව නින්ද පලා යද්දී ගමේ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙන හූ හඬ මාව වෙලාගත්තා . සිගරට් කොටේ විහික් කොරලා දමාපු මමත් අනෙක් එවුන් එක්ක හනි හනිකට ඒ කෑගැහිල්ල ඇහෙන දිහාවට දුවලා ගිය හැටි මට අද වගේම මතකයි .

"අලි බොට්ටු ආවෝ .. ! . !. !”

 
කවුදෝ මන්දා එකෙක් ලතෝනි දෙන හඬ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙද්දී, මමත් අඩිය ඉක්මන් කළා . මේ අද වගේම අලින්ගේ කුයිලත් මගේ නාස් දෙකට හොඳ හැටි දැනුණා . කකුල් දෙකේ හයියෙන් අඩියට දෙකට කඩේ ගාවට කිට්ටු වෙද්දි මගේ ජීවිතේටම දැකලා නොතිබ්බ තවත් අමුතු සිදුවීමක් මම දැකගත්තා .

අලියෙක් බඹරයක් වගේ එක තැන කැරකෙනවා උගේ නැට්ට තදින් අල්ලගත්ත මිනිහෙකුත් ඒ එක්කම වටේට වැනෙනවා . හතර වටේටම ඇවිස්සිලා තිබුණු දූවිලි වලාකුළු අතරින් මම දැක්කා කවුද ඒ අලියාගේ නකුටේ එල්ලිලා ඉන්න මිනිහා කියලා .

ඒ උන්නේ වනිගේ අයියා .

ගමේ එවුන් හූ තියන්න පටන්ගත්තායින් පස්සේ අලියා කැලේ පැත්තට දුවන්න හැරුණා එතකොටම ඒ නාහෙට නාහන අලියාගේ නකුට අතෑරපු වනිගෙ අයියා විජහට අහකට පැනගත්තා . පණ බයේ දුවගෙන ගියපු අලියාගේ එක කනක් අක්‍රමවත්ව පිහිටා තිබුණ නිසා ගමේ කවුරුත් එදා ඉඳන් ඒ අලියාව කං කොටා කියලා හැඳින්නුවා . ඒ විතරක් නෙවෙයි අලියා එක්ක හරි හරියට පොරබදපු වනිගේ අයියා ගැනත් ගමේ එවුන් තැන තැන කතා වුණා . එදා ඉඳන් අද වෙනකම් මේ ගමේ ඉන්න නිල නොලත් අලි එළවන්නා තමයි වනිගේ අයියා

වනජීවී ඔෆිස් එකෙන් ගමට එන පළපුරුදු අලි අල්ලන්නෝ පවා වනිගේ අයියාගේ සහය ලබාගන්න කවදාකවත් අමතක කරන්නේ නෑ . ගමේ ඉන්න අපිටත් අලියෙක්ගේ හිරි හැරයක් විඳින්න වෙච්ච ගමන් මතකෙට එන්නේ වනිගේ අයියාව .සමහරු කියන විදිහට වනිගෙයා තමා අපේ අඩවිය භාර දෙයියා . ඌ අලිත් එක්ක හටන් කළේත්, අලියෙකුගේ නකුටේ එල්ලුනෙත් දිවිය ලෝකේ යන්න හිතාගෙන වත් දෙයියෙක් වෙන්ඩ හිතාගෙන වත් නෙවෙයි. ගමේ එවුං බේරගන්ඩ ඕනෙ නිසා .

අද වගේ වනජීවී ඔෆිසිය, අලි වෙඩිලි , අලි වැටවල් නැති ඒ කාලේ හිතේ හයියෙන්, කටේ කෙළ හිඳෙනකම් මන්තර මතුරලා, කෑගහලා. අලි එළවාපු අපේ ගම් පළාතේ බොහෝම ඉස්සර උන්නු මිනිස්සුන් ගාව තිබ්බ ගැම්ම අද වෙනකොට දියාරු වෙලා ගිහිං . සද්දන්තයෝ ඉදිරියේ අද නම් අපි ඔළුව කෙළින් කරගෙන ජීවත් වෙන්නේ වනිගෙ අයියා නිසයි .දැන් අපේ වනිගේ තමයි මේ ගං තුලානේ මිනිස්සුන්ට ඉන්න එකම සද්දන්තයා .

ඔය පින්තූරේ මුලින්ම යන්නේ වනිගේ අයියා 
පින්තූරය ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත ව්සින් ගන්නා ලදී