16.4.12

නියඟයට එරෙහිව හෙළුවෙන් සටන් කල මිනිස්සු.


මේ සිදුවීම වුණේ එක නියං කාලෙකදියි

අවුරුද්දේ පොසොන් මාසේ කිට්ටු වෙද්දී අපේ පළාතට තිබහ දැනෙන්න පටන් ගන්නවා . ඉර එළිය වැවු වල ලිං වල තියන වතුර බින්දුව වෙනකම්ම උරාගත්තාට පස්සේ ගමේ එවුන්ට ඉතිරි වෙන්නේ ජල සම්පාදනෙන් එන බවුසරේ එනකම් බලා ඉන්ඩ තමයි . බාල්දිය කොරහ සහ අතට අහු වුණ පොල්කට්ට පවා අරං නගරසභා වතුර බවුසරේ පස්සේ එලෝන ගෑනු මිනිස්සු සහ පොඩි එවුන් ඒ කාලෙට සාමාන්‍ය දර්ශනයක් . ඔන්න ඔය විදිහට ඉරට කිට්ටු වෙච්චි නැගෙනහිර පළාතට ඉරේ කෙනෙහිළි නම් මදි නොකියන්ඩම ලැබෙනවා.

නියගය නිසා උපදින දූවිල්ල හින්දද මන්දා ඔය කාලෙට කිසිම දේශපාලකයෙක් අපේ ගං තුලාන පැත්ත පළාතේ පස් පාගන්ඩවත් කැමති නෑ . පුංචි ප්‍රාදේශීය සභාව ඇතුළේ ඉඳන් ගමේ එවුන්ගෙන් වරම් ලබාගත්තු ගමේ දේශපාලන අයියලා ටික නම් හැමදාම අරක කරමු මේක කරමු අඟහරු ලෝකෙන් හරි වතුර ගේමු කියමින් කෑ ගහමින් උන්නා . ඒත් කාටවත් වතුර හම්බ වුණේ නම් නෑ .

දෙයියංගෙ පිහිටෙන් අපිට යාන්තම් බොණ්ඩයි කෑම උයාගන්ඩයි නම් වතුර තිබුණා .ඒත් නාකියා ගන්ඩ රෙදි හෝදාගන්ඩ වලං පිඟන් හෝදගන්ඩ නම් වතුර තිබුණේ නෑ . බඹ ගණං පතුලට හාරපු ලිං වලත් වතුර තිබුණේ බෝම ටිකයි . ගමේ එක ළිඳක වතුර තිබුණොත් ඒ ළිඳ වටේ මුලු ගමම එකතු වෙනවා . ඉතින් අනික් පහුවදාට ළිඳ හිස් !

අඩා තොපට යනකොට ගෙණියන්නඩ ඔය වතුර තියං ඉන්නේ ?”

වතුර දුන්නැති තොපි ලබන ආත්මේ දියබරි වෙලා උපදියවු !” 

ළිඳක හිමි කරුවෙක් ගමේ එකෙක්ට වතුර ගන්ඩ නොදුන්නොත් ගමේ එකාලා දක්වන ප්‍රතිචාර ඔන්න ඔහොමයි . ඉතින් ඒ වගේ කතා අහගන්න තියන බය නිසාම ගෙවල් වල ලිං තියන උදවියත් වතුර නැතුව වේලෙන වෙලාවල් එමටයි . කවදාවත් හිඳෙන්නේ නැති ළිඳකට තිබුණේ පැඟිරි ගෙදර ළිඳ විතරයි . ඒත් ඒ ගෙදර ළිඳට මොනාද මන්දා බේත් වගයක් කලවං වෙලා කියා කට කතාව නිසාම ගමේ කොයි කවුරුත් ඒ ළිඳෙන් අත පය හෝදන්නවත් කැමති වුණේ නෑ .

දෙයියංගේ පිහිටෙන් අපේ වැවේ යාන්තම් දිය පොඳක් තිබුණා . වැවේ සේරෝම වාන් දොරවල් වහලා දාලා ඒ වතුර ටික මිනිස්සු ඉතිරි කරගෙන තිබුණ හින්දම වැහි කාලෙට ගම හරහා දුවන හීතල පැහැදිලි වතුරෙන් පිරුණු ඇල පාරවල් හිඳිලා අඩිය පෑදිලා ඉරි තැලිලා තිබුණා . මට නම් ඒ හිඳුණු ඇල පාරවල් පෙනුණේ පරණ යුද අගල් වගේ !

ඔන්න ඔය විදිහට දරුණුවට පායපු එක හද්ද නියං කාලෙක මමත් හාල් මෝලෙ සුරංජිත් අයියත් වෙල්යාය මැද තිබුණු කාටවත් අයිති නැති තැඹිලි ගහකින් කඩාගත්ත තැඹිලි වගයක් බොමින් හිටියා . තැඹිලි ගෙඩියත් අතර අරං මහ නියරේ ඉඳගෙන උන්නු මම හිටියේ බර කල්පනාවක.

මොකෝ බං ගෑනි මැරිච්චි මිනිහා වගේ ?” 

මගෙ මූණ දිහා බලලා එහෙම අහපු සුරංජිත් අයියා උල් කරපු ලී කෑල්ලකින් තැඹිලි ගෙඩිය සිදුරු කරලා කටේ තියාන ගුඩු ගුඩු ගාලා ගසලා දැම්මා ඉන් පස්සේ ඌ පහත් වෙලා සරමෙන් අත කට පිහදාගත්තා.

ඕක බීපං විජහට !” 

ඌ මට එහෙම කියලා තව තැඹිලි ගෙඩියක් අතට ගත්තා .

සුරංජිත් අයියේ වත්තේ ළිඳක්වත් කපාගන්ඩ ඕනෙ බං” 
 .
මම මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ එළියට දැම්මා .

දැන් ඒකද මෙච්චර වෙලා උඹ කල්පනා කළේ ?”

හ්ම් . නාගන්නේ නැතුං රෑට නින්දක් නෑ බං .”

උඹට විතරක් නෙවේ මලයා අපි හැමෝටම ඔහොම්ම තමා. මොකෝ වැවේ වතුර තිබ්බා කියලා ඒකෙන් නාන්ඩැයි ?. ඒකෙන් නෑවොත් ඩෙටොල් සර්ජිකල් වතුරෙනුත් නාලා තමයි ගෙදර යන්ඩ වෙන්නේ .

ඌ කීව කථාවත් ඇත්ත . වැවේ යන්තම් වතුර ටිකක් තිබුණත් ඒ වතුර ටිකෙන් මිනිසුන්ට නාන්ඩ පුළුවන් කමක් තිබුණේ නෑ . මොකද කීවොත් දවල් කාලෙට වැවට බහින වල් මිවුවෝ වැවේ වතුර ටික බොර කරලා ඒකෙම ජරා කරලා යනවා . අලි බොට්ටුත් ඉඳලා හිටලා ඇවිදින් වතුර ඩිංගිත්තෙන් වැඩි හරිය බීලා දරු මල්ලොත් නාවගෙන වතුර ටික බොර වෙනකම් නටලා ආයෙ වැළිත් නාන ගමන් පිට වෙලා යනවා . ඉතින් ගිනි අවු කූටකේට රත් වෙච්ච වතුර සත්තුන් නිසා තවත් අපිරිසිදු වෙනවා ඉතින් එහෙම අපිරිසිදු වෙච්ච වැවට බැහැලා නෑවොතින් නෑ එකාට හැදෙන ලෙඩේ පොතක පතකවත් නෑ .

මලයා උඹලෑ වත්තේ ළිඳක් කපන්ඩ බෑ !” 

සුරංජිත් එක පාරටම “බැක්” ගාපු නිසා මටත් පොඩ්ඩක් විතර කේන්ති ගියා

ඇයි ඒ ?

වත්ත පොඩියි නේ බං අනික ඒකෙ බාගයක්ම කක්කුස්සි වල ඉතින් කොහොම ලිං කපන්නේ . අනික මලයා ළිඳක් කපනවා නම් හෙනම යටට හාරලා මිසක වතුර හොයනවා බොරු ! ආඬියා ළිඳක් තමා එහෙම වුණොත් හදන්ඩ වෙන්නේ ?

හ්ම් . මේ පැත්තේ ඉපදුණු කරුමේ තමා බං ! නුවරට හරි බදුල්ලට හරි පැනගත්තා නම් ගොඩම තමා !

හිතේ දුකට මම එහෙම කීවත් උපන් ගම දාලා යන්ඩ මට කවදාවත්ම මගේ හිත හදාගන්ඩ බැරි බව මම හොඳටම දැනං උන්නා .

අනෙ යකෝ මෙන්න මේ පුංචි ළිඳේ වතුර උගුරක් බීලා මෙන්න මෙහෙට්ට වෙලා ඉඳින් බං . වතුර නැතුව අපි මෙච්චර කල් උන්නා කෝ අපි තිබහට මළාද ? යකෝ අපෙ අත්තලා මුත්තලා මෙහේ උන්න කාල වලදී උන් අපිට වඩා දුක වින්ඳා අපි මොනාද බං දන්න දුක ?

කරන්නම දෙයක් නැති තැන මම සුරංජිත් අයියා දීපු පුංචි ළිඳේ වතුර වල රස බැලුවා . ඒ පැණි රහ හීතල තැඹිලි වතුර මගේ ඇඟේ තිබිච්චි කෙඩෙත්තු ගතිය මොහොතකට මකලා දාපු හින්දා හිතේ තිබ්බ තරහවත් ටික ටික නිවිලා ගියා

අපි ආයෙමත් ගෙවල් දිහාවට පැද්දුවේ හැන්දෑ වෙලාවේ නියරක් උඩ ඉන්න එක ඒ තරම් නුවනට හුරු දෙයක් නොවන වග අපි දෙන්නම අද්දැකීමෙන් දන්න හින්දයි .ගෙවල් බලා යන අපි දෙන්නගෙම අත් වල ගෙදර එවුන් වෙනුවෙන් ඇන්න යන තැඹිලි ගෙඩි කීපයකුත් රැඳිලා තිබුණා .

වැලි පාර දිගේ ගෙදර පැත්තට ගාටමින් හිටි අපි දෙන්නට බයිසිකලයක වතුර කළයක් බැඳි බයිසිකලයක් අමාරුවෙන් පාගමින් ගෙදර දිහාට යන අපේ යාළුවෙක් වෙච්ච රත්නේ හම්බුනා .

ත්නේ උඹ කොහේ මේ යන්නේ ?

නාන්ඩ ගියා !

මොකෙං නෑවේ ?

66 හන්දිය ගාව පාරෙං ටිකක් බැද්ද වෙච්චි ලොකු වතුර බටයක් තියේ බං. ඒකට පොරෝ පාරක් දීලා මම ඒකේ පොඩි හිලක් හදාගත්තා ඔන්න ඒකේ වතුර බුසු ගාලා විදිනවා . දැන් බං එතනින් නියමෙට නෑ හැකි. උඹලට කියන්ඩ ටොප් වතුර ටික අඩා මම හෙටත් යනවා උඹලත් වරෙල්ලා හැබැයි වැඩියෙ කාටවත් කියන්ඩෙපා ඕං !.

රත්නේ කීව කතාව වේලිලා කර වෙලා තිබ්බ අපේ හිත් වලට හීතල වතුර ඉස්සා වගේ හැඟීමක් ගෙනවා . “එහෙනම් හෙට ඉඳන් නෑව හැකි !” එහෙම හිතමින් මම බෝම සතුටෙන් ගෙදර ගියේ හෙට පාන්දරම නාගන්න යමු කියලා සුරංජිත් එක්ක කතා වෙමිනුයි .

මම උදේ අවදි වුණේ සුරංජිත් අයියා මාව කූද්දන්න ගත්තායින් පස්සෙයි .

සඳරු මලයා නැගිටහං බං. . . ! අප්පා තෝ ගාව තියන දාඩිය ගන්දස්සාරේ . වර යන්ඩ නාකියාගන්ඩ !” 

සුරංජිත් අයියා විනාඩි පහක් විතර මට පයින් අනිමින් කෑදුන්නට පස්සේ මම නැගිටලා තුවා කෑල්ලක් සබන් කෑල්ලක් එහෙම සිලි සිලි මල්ලක දවටගෙන නාන තැනට යන්න පිටත් වුණා

අපි කඩා දාපු බටේ ළඟට කිට්ටු වෙනකොට වෙලාව උදේ හතට විතර ඇති . පොඩි කැලෑ රොදක් මැදින් අඩි කීපයක් ඉස්සරහට යද්දී එක දිගටම ඇහෙන සූ හඬක් අපි දෙන්නටම ඇහුණා . තව මොහොතකින් අපි දැක්කා වංගෙඩියක් තරම් මහත කලු පාට බටේකින් වතුර පාරක් හීනිවට උඩට විදින හැටි . අපිත් විජහට පැනලා ඒ ඉහළට වතුර විහිදෙන වතුර මලෙන් හිතේ හැටියට නාකියාගත්තා .

මලයා අපේ අම්මලවයි උඹලෑ අම්මලවයි විතරක් ගිහිං එක්ක එමු නේද බං ? වැඩිය අයට කියන්ඩ ගියෝතින් මෙතන නාලා ඉවරයි .”
 
නාල ඉවර වෙලා ආපහු ගෙදෙට්ට පද්දන අතරේ සුරංජිත් අයියා මගෙන් එහෙම ඇහුවේ මම මෙතනට මුලු ගමම එක්කං ඇවිදින් නාවයි කියලා හිතලා වෙන්නැති .

අපෙ නැන්දටත් නාගන්ඩ විදිහක් නෑ කියලා නාහෙන් අඬ අඬ උන්නේ . උන්දැවත් එක්ක එන්නං නේ ?

හ්ම්.
මම ගෙදර ගියපු ගමන් කළේ තෙත තුවාය මිදුලේ තිබ්බ පැණි දොඩං ගහේ වනාපු එක . තුවාය වනලා ආපහු එනකොට උළුවස්ස ගාව ඉඳන් පොල් ගෙඩියක් උදැල්ලේ දවටමින් ලෙලි ගහන මයෙ ලොකු නැන්දට මාව මූණටම මුලිච්චි වුණා .

සඳරු පුතේ උඹ නෑවා ?

ඕ නැන්දා මං පාන්දරම ගියේ නාන්ට !

කොහෙං බං උඹ නෑවෙ අර මිවුවො ලගින කුණු වතුරෙං ?

නෑ නෑ කාටවත් කියන්ඩෙපා ! අර 66 වංඟුවේ වතුර බටයක් කැඩිලා ඒකෙන් හෙණ උසට වතුර විදිනවා අපි එහෙන් නාකියාගෙන ආවෙ නැන්දත් යං !” 

මැලවිලා තිබුණු නැන්දගේ මූණු ඩිංගත් මලක් වගේ පිපුණා . නාගන්ඩ කියලා කීවම උන්දැට තියන සතුට . මමත් මගේ පවුලේ උදවියත් සුංජිත් අයියාගේ පවුලේ එවුනුත් හැමෝම එදා හැන්දෑ වැරුවේ රෙදි මහ විශාල පොදියකුත් කර ගහගෙන කැඩුණු බටේ ගාවට ගියේ නිදහසේ නාකියාගන්ඩ හිතාගෙනයි . ඒත් එතනට ලං වෙනකොටම කනට ඇහුණු ඝෝෂාවෙන් මොකක් නමුත් ගැටලුවක් ඇතිවෙලා තියන වග මට තේරුම් ගියා . මමත් අඩියට දෙකට එතනට කිට්ටු වුණා .

හත්වලාමෙ ! කැඩුණු වතුර බටේ ගාවට මුලු ගමම එකතු වෙලා . ඒ මදිවට නාන්න ආපු උන් බටේ කීප පොලකින්ම කඩා දාලා . කාණ්ඩෙයක් රෙදි හෝදනවා , තව එවුං වගයක් හරක් නාවනවා , බයික් හෝදනවා, පොඩි එවුං වගයක් එතනම හෙල්ලිකොටෙන් ඉඳන් මඩේ නටනවා . උදේ බොහෝම නිස් කලංකව තිබ්බ මේ නාන තැන මේ වෙනකොට මරිය කඩේ වගේ වෙලා !

පුතේ වතුර උණත් බෙදා හදා ගන්ඩෙපැයි. ඒක නිසා මම සිරියලතාටයි ,සුදු බණ්ඩිටයි, පිය සෝමෙටයි , ජය තිලකටයි, උනාපාන අයියයටයි . බංණ්ඩෙ මාමලාටයි , ආතර් සීයලාටයි මේ විත්තිය කීවා . !
නැන්දා අහිංසක විදිහට එහම කියද්දි සුරංජිත් අයියා ඔළුවේ අත ගහ ගත්තා .

සඳරු දැං ඉතින් මොනවා කරන්නද බං ගෑනුන්ට කට පියාගෙන ඉන්න පුළුවන් එකක්යැ . මේ ගොබ්බ කම කරපු උඹට ගහන්න ඕනෙ වල් හබරල පිත්තකින් .”

දැං ඉතින් මොනා කරන්නද ආපු එකේ ඔය අයිනක් අල්ලං නාකියාගම්මු .” 

මම එහෙම කියලා නාන්ඩ ලැහැත්ති වෙනකොට සුරංජිත් අයියත් හූල්ල හූල්ල මගේ පිටු පස්සෙන් ඇවිදින් ඇඳුම් මාරු කරගෙන නාගන්ඩ ලැහැත්ති වුණා .
මොහොතකින් අපි කාටත් මීට දවස් කීපයකට කලින් වතුර නැතිව අපි වින්ඳ දුක අමතක වෙලා ගියා . ගමේ එවුං හැමෝම එකිනෙකාට කොලොප්පම් කරගනිමින් බොහෝම සතුටෙන් නෑවා .

මෙවුවා කලරින් වතුර මේ වතුරෙන් නෑවහම විෂබීජ අහක් වෙනවලු හොඳට නාගණියවු කොල්ලනේ !
නාමින් උන්නු කයිතං සීයා එහෙම කියද්දි මට දෙකොනින්ම හිනා ගියා . උන්දැට ක්ලෝරීන් කියන වචනේ කියැවුණේ කලරින් කියලයි

මම කවදාවත් සවර් මලකින් වතුර නාල නෑ . ! අද නාත හැකි

සුදුබණ්ඩි නැන්දා එහම කියමින් උඩ ඉඳන් වැටෙන මල් වැස්සක් වගේ වතුරපාරට ඔළුව ඇල්ලුවා

මේ කෝලම් බොළඳ කම් දිහා බලමින් නනා උන්නු මම නෑම මොහොතකට නතර කරලා ඇඟේ පතේ සබන් ගාගන්ඩ පටන් ගත්තා . ඇඟ පතේ සබන් උලාගත්ත මම ඇස් දෙක තද කරලා පියාගෙන මූණේ සබන් ටිකක් ගාගත්තා විතරයි මහා සද්ද බද්ද වගයක් ඇහිලා මම උඩ විසි වුණා .

ඛවුධ ඩෝ අපෙ ගමට එන වතුර බඩේ කඩා දාපු පුබ්බඩ හැත්ත ?”

අඩෝ අද තොපිව අපි මරාගෙන කනවා පෙනේද මුං අපි සල්ලි ගෙවන වතුර ටිකෙන් නාන අපූරුව අද දෙනවා තොපට ජීවිතේට නාන්ඩ එපා වෙන්ඩම.” 

ඒ ඇහුණු හඬ නිසා කලබල වෙච්ච මම හනික මූණ හෝදාගන්ඩ දුවද්දි නිදිකුම්බා ගහක් පෑගිලා මගෙ ඉස් මුදුනෙන් තරු විහික්ක වුණා . සබන් නිසා දැවිල්ල දෙන ඇස් දෙක මම තද කරලා පියාගෙන උන්න නිසා වටේ පිටේ මොනවා සිද්ධ වෙනවද කියලා මට යන්තම්වත් දැන කියාගන්ඩ බැරි වුණා ඒ වුණත් මගේ කන් දෙක මට කියාපු විදිහට නම් මොනා නමුත් ලොකු ගෝරියක් යන පාටයි.

සඳරු අයියේ අනේ අන්න උඩහ ගමේ උන් ගහනවා ! අනේ අපේ තාත්තව බේරගන්ඩකෝ අයියේ !”කවුද පොඩි එකෙක් මගේ ළඟට ඇවිදින් කෑ ගහනවා

සඳරු අයියේ එන්ඩ හනික

ඉඳපිය යකෝ මම මේ ඇස් දෙක හෝදගන්නකම් . !” 

තරහින් කෑගහපු මම හනිකට වතුර ටිකක් හොයාන ඇස් දෙක තෙමාගත්තා .සබන් හෝදගත්තායින් පස්සේ ඇස් ඇරපු මට දැකගන්න ලැබුණේ ඇඟ රත් වෙලා යන සිදුවීමක් .උඩහ ගමේ ඇත්තෝ කීප දෙනෙක් නාන්න ඇවිදින් උන්නු පාල මාමටයි සුංරජිත් අයියටයි බිම දාගෙන තඩි ගහනවා . මම හනිකට අහලක තිවුණ රුකුල අස්සට රිංඟුවේ පොලු කෑල්ලක් කඩාගන්න එක නුවනට හුරුයි කියලා හිතුණ නිසයි.

රුකුල අස්සේ තිබුණු නොයෙක් ප්‍රමාණවලින් සහ හැඩයන්ගෙන් යුත් පොලු කෑලි අතරින් මට ගැලපෙන තාලේ පොල්ලක් හොයාගන්න මට තත්පර තිහක් විතර ගත වෙන්න ඇති . රුකුලේ වැදිලා පොලු තෝරවුවත් මගේ ඇස් දෙක තිබුණේ ගෝරිය දිහාවේ . පොල්ලකින් හටන් කරලා වුණත් මට උඩහ ගමේ වැඩිහිටියෝ පස් හය දෙනෙක් එක්ක ඔට්ටු වෙන්න බැරි විත්තිය මම හොඳටම දැනං උන්නා.මම මයෙ හිතේ උපන්න බයත් , තරවත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න අතරේ අපෙ ගමේ එකියක් වෙච්ච සුදුබණ්ඩි නැන්දා කොහේදෝ මන්දා ඉඳන් දුවං ඇවිත් හෙණ ගහන්නා වාගේ ගෝරිය මැදට පැන්නා

තොපෙ *#$%^&#@**#@ සංඟෙ නැති පාහර බල්ලො ! තොපි අපේ කොල්ලන්ට ගහන්ඩ? ඉඳා..! හයියක් තියේ නම් ගහපියවු මේ මට ! !.

අමු තිත්ත කුණුහබ්බ වැළකුත් කියාගෙන සුදු බණ්ඩි නැන්දා උන්දැ ඇඳන් උන්නු දියරෙද්ද කඩා දාලා අමු නිරිවර්තරෙන් උඩහ ගමේ එවුං ඉස්සහරට පැන්නා

ගෝරිය එක සැණින් නැවතුණා . උඩහ ගමේ එවුං විජහට අහක බලාගෙන ආපහු හැරිලා යන්ඩ ගියා . හයිය වැටහිරියා පොල්ලකුත් අතට අරං මමත් දනිපනි ගාලා රුකුල අස්සෙන් එළියට බැස්සා.

මේ ගං තුලානේ අපිට හයිරං පාණ්ඩ චණ්ඩි නෑ ඩෝ. . ! වරවු !” 

මමත් අහල ගං අහතකට ඇහෙන්න ගිල්ලාමුරේ තිවුව්වේ . කේසර සිංහ රාජයෙක් ගර්ජනාවක් කරනවා වගේ . ඒත් උඩහ ගමේ එකක්වත් ආපහු හැරිලා බැලුවේ නෑ . බය වෙච්ච උඩහ ගමේ උන් මංමුළා වැල් පෑගිලා උතුර දකුණ මාරු වෙලා වාගේ බලාගත්ත අතේ බලාගෙන යන්ඩ ගියා .

ඊට දින කීපයකට පස්සේ පොලීසියත් ජල සම්පාදන මණ්ඩලයත් ඇවිදින් කැඩුණු බටේ අලුත් වැඩියා කරලා දාලා උඩහ ගමේ උන්ට වතුර දුන්නා . තමන්ගේ ගමට උඩින් ක්ලෝරීන් දාලා පිරිසිදු කල වතුර බට දිවුවත් තිබහට වතුර පොදක් නැතිව මගේ ගමේ මිනිස්සු වේලි වේලි උන්නා . වැස්ස වලාහක දෙයියන්ට අපි ගැටගැහැවුව පඬුරු පොට්ට කාසි වගේ පෙනුණ නිසාද කොහෙද උන්දැටත් වගේ වගක් නැතිවා වගේ වලාකුළු නැති හිස් අහසේ කොනක අට්ටං වෙලා උන්නා .

වැහි දෙයියොත් ,මැති ඇමති දෙයියොත් අහක බලවුවත් අපේ පිහිටට එක යකඩ කටක් හිටියා .ඒ යකඩ කටේ අයිතිකාරයා වුණේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ .උන්නාන්සේ පන්සලට වෙලා දානේ ගිල ගිල නිකම් උන්නේ නෑ ගමේ වතුර ප්‍රශ්නේ ගැන ඉහළ පුටු රත් කරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ දාන ලොකු උත්තමයෝ බොහෝ දෙනෙකුට ගිහින් පැමිණිලි කළා . ඒත් පලක් නොවූ තැන පොඩි හාමුදුරුවෝ ගමේ හැමෝම එක්කාසු කරං මහා උද්ඝෝෂණයක් පැවැත්තුවා .. !

අඬන්නම ඕනැයි කියනවා නේ කිරි එරෙන්න ! ඉතින් ඔය උද්ඝෝෂණේ දැකලා අහක බලාන ඉන්න බැරි වෙච්ච ලොකු පුටුවල උදවිය ඔය කං කරච්චලෙන් බේරෙන්ඩ හිතාන එක දවසක් අපේ ගමටත් ටැප් වතුර දෙන්ඩ තීරණය කළා .

කාලෙකට ඉහත වතුර නැතුව කක්කුස්සියට යාගන්ඩත් බැරුං උන්න අපේ ගමේ ඇත්තන්ට ඕං අද වෙනකොට ටැප් එක ඇරිය සැනිං බොන්ඩ බැරිනං නාන්ඩ වතුර එමට තියනවා . හිල් කරවුව පොල්කට්ටෙන් නාපු අපේ පොඩි එවුං අද වතුර මලෙන් දිය නාද්දි එදා බයෙන් බයෙන් දිය රෙදි ඇඳන් නාගත්තු ගමේ කෙල්ලෝ අද දිය රෙද්දට සමු දීලා නාන කාමෙරේට වැදිලා යසට දිය නානවා.

කාලෙ ගත වෙද්දි මයෙ ගම බෝම වෙනස් වුණා . එදා වතුර නැතිව මරාගත්ත අපේ ගම් වල මිනිස්සු අද වෙද්දි ඒ අතීතය සිහිපත් කරන්නේ හිනාමුසු මුහුණින් . අත ළඟට හැම දෙයක්ම ලැබෙද්දි මොකටද කාගෙවත් දෙයක් කඩා වඩා ගන්න හිතන්නේ ?. මගෙ ගමේ මිනිස්සුත් එදා බට කඩලා වතුර ගත්තු එක වරදක් කියලා දැක්කේ නෑ . අපි හිතුවේ ගම උඩින් දුවන වතුර නල වල අයිතියත් අපිටයි කියලා .

ඒ වතුර ප්‍රශ්නය දැන් ඉවරෙටම ඉවරයි . අද වෙනකොට අපිට ඕන තරම් වතුර තියනවා . ඒත් කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බැරිවා වාගේ . මටත් මගේ යාළු මුත්‍රයෝ රෑනටත් කාලෙකට ඉහත අපි ගිලිලා පීනලා නාගත්තු මහ ඇළත් ,වැවත් ,අපි පැය ගණං කල්මරාපු වැවු කණ්ඩියත් කවදාකවත් අමතක කරන්න නම් බෑ .

/ලි . හොද්දේ රස වැඩි කරනු වස් සුප් කැටයක් සහ අජිනමොටෝ ස්වල්පයක් බැගින් අතින් දැමූ බව කරුණාවෙන් සලකන්න

77 comments:

Abeetha Edirisinghe said...

මොන ටැප්ද බන්.... මහ රෑ තිස්සේ උඹලගේ ඇලේ ඩොල්පින් අල්ලපු අපිට...

අහවලා said...

සුදුබණ්ඩි නැන්දාට බයේ දුවපු උන්ට උඹත් බය නැතිව කෑ ගැහුව නේ... :D
වතුර ප්‍රශ්නෙ ටැප් වතුර නැති කොයි ගමෙත් තියෙනව මලේ... :)

පවනි said...

සුදු බණ්ඩි නැන්ද නම් ටිකක් සැර අජිනොමොටෝ ජාතියක් වගෙ නේද ඕන්?
;)

මාතලන් said...

රත්නේ තමයි දෙයියා.. ඌනේ හොයාගත්තේ ගම යටින් උල්පතක් යන වග..

~ChAnDiKa~ said...

අඩේ මේ කතන්දර කියෙව්වම පට්ට ආස හිතෙනවා බං ඔය පැත්නෙ එන්ඩ!

නුවන් said...

සඳරු අයියල ඉන්නේ වෙල්ලස්ස පැත්තෙ නේද??
ඉස්සර කොච්චර නම් සශ්‍රික පලාතක්ද?

\\..සුදු බණ්ඩි නැන්දා උන්දැ ඇඳන් උන්නු දියරෙද්ද කඩා දාලා අමු නිරිවර්තරෙන් උඩහ ගමේ එවුං ඉස්සහරට පැන්නා..\\
ලජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියන කතාව හැදිලා තියෙන්නෙත් මේ වගේ සිද්ධියක් නිසානේ:p

Anonymous said...

මචං උඹ රුකුල අස්සට ගියෙ පොල්ලක් හොයාගන්නද එහෙමත් නැත්තන් ගුටිකන්න වෙයි කියල හැගෙන්නද

ඉන්ද්‍රජිත් said...

මාර දුකක් විදලනෙ..ටැප් වතුර හම්බුන ඒක හරි වටිනවා..

Gayan Tharaka said...

සඳරු වීරයා... අපි නොදන්නවැයි..

දිනේෂ් තරංග said...

"..නියම කතාව සඳරු මලයෝ හැමදාම වගේ...අළුත් අවුරුද්දේ මැක්සා කතාවක් නෙ දාලා තියෙන්නේ...ඒත් ලොකු දුකක් දැනුනා මලයෝ...ගමේ දැරිවියන් දිය රෙද්දට සමු දුන්න එකට...ආයේ කවමදාකවත් උඹලා අපිට ලිඳක් ගාව බැල්මට් පාරක් දාලා හීනි සැපක් ගන්න බැරි වෙනවා කියල දැනුනාම පපුව පිච්චිලා යනවා මලේ..ඒ අතිං ඒ කාලේ හොඳා බොල...කාරි නෑ...ලෝකේ හැමදේම වෙනස් වෙනවනේ නේද සහෝ...දිගටම ලියපං මගේ සහෝදරයා....බුදු සරණයි උඹට..."

sAm (සෑම්) said...

සිරාය... බටේ කඩලා පොඩ්ඩක් වහලි තියන්ට තිබ්බේ. එහෙම කලා නම් වැඩේ අහුවෙන්නෙ නැහැ නොවැ..

දුකා said...

සුප් කැටේ කෑලි වලට කඩල දැම්ම නම් හොඳා වගේ . . . .

මේකත් පට්ට ලිපිය . .

(සුප් සහ අජින මොටෝ ගැන නොකියා හිටියනම් හොඳා බන් . . )

Harshana said...

ඒ කියන්නේ මේ සැරේ උඹ ගුටි කාලා නෑ ... හි හි

Podi Kumarihami said...

අතින් සුප් කැට දාලා තියන බව නම් පේනවා. ඒක තමා මේ රහ...:)

රාජ් said...

වතුර කිව්වම මතක් උනේ. අපි එකසැරයක් වීරකැටියෙ අපේ සීනියර් බැච්එකේ අයිය කෙනෙකුගෙ දානෙ ගෙදරක ගියා. එහෙත් වතුර නෑ. ටැංකියකට වතුර පුරවලා බොහොම අරපරිස්සමින් තමයි පාවිච්චි කලේ. අපේ එවුන් ගියා විතරයි ටැංකියෙන් නාන්න සෙට් වුනා. දානෙ ගෙදර එවුන් අපිට වැන්දෙ නැතුව විතරයි. පස්සෙ අපේ එවුන් අර අයියට හොදට මඩ ගැහුව. අපේ එකෙක් ඇවිල්ල කියනව මෙහෙම,
"අඩෝ..... අයියලගෙ පැත්තෙ රත්තරන් වලට වඩා වටින්නෙ වතුර බං. හොද කෙල්ලෙක් ඉන්න ගෙදරකට වතුර බෝතලයක් අරගෙන ගියානං _ඩුව ගහල එන්න පුළුවන්...."

Gimhani said...

කියල තියෙන විස්තරයට අනුව සිතා ගන්න පුලුවන් මල්ලිලා වතුර නැතිව කොච්චර දුකක් විඳින්න ඇතිද කියලා . කථාවෙ ගැමි රසය නොඅඩුව තියනවා .

රත්ගමයා said...

රෙද්ද නැතුව පැන්නේ නැන්දද මේකද දන්නේ නෑ..උබ ඉදලා හිටලවත් නානවා කියලා දැනගන්න ලැබීමත් සතුටක්..

අරුණ හෙට්ටිආරච්චි said...

අපි ආතල් ගන්න හිතාගන දුෂ්කර ගම්මාන හොයාගන ගියාට ඒ ගම්මාන වල හැමදාම ජිවත් වෙන මිනිස්සුන්ගේ ජිවිත වල ඇත්ත තත්වේ නම් ගොඩාක් දුකයි තමා. දැන් නම් උඹලගේ පැත්තට ඔය වතුර ප්‍රශ්නෙට ඉස්සරට වඩා පිළියම් ලැබිලා තියෙන බව පේනවා. ඒත් තවමත් වතුර ටිකක් හොයාගන්න හැතැප්ම ගානක් පයින් බයිසිකල් වලින් අත් ට්‍රැක්ටර් වලින් යන මිනිස්සුත් ඕන තරම් මේ ලංකාවේ දුෂ්කර පළාත් වල ඉන්නවා කියන එකත් අමතක කරන්න හොද නෑ.....

රැඩිකල් කොල්ලා- said...

හික්ස්.. උඹලට නියඟ අපිට සුනාමි.

පරිකල්පන said...

වටාපිටාවට ආරංචි වෙන්න ඕන්නැති දේවල් ගෑණු උදවියට කියන්න එපා කියල තියනවනෙ. අජිනමොටෝ ටිකයි සුප් කැටයි ගානට එකතු කරල තියෙන්නෙ. පංකාදුයි...

Subha said...

සුප් කැට ගැන ලීවේ ඇයි? නොකීවට මම නම් දැනගෙන උන්නේ. ඒකේ ඇති වැරැද්දක් නැහැ. ඒත් ඒවා හැමෝටම කියන්න එපා.....

Pubudu said...

මැක්සා කථාව සඳරු... මමත් මහඔය හිටියා කාලයක්.. එ තියෙන රස්නෙට කොච්චර නෑවත් මදි.. වතුර නෙතුව කොහොම හිටියඩ කියල හිතාගන්නවත් බේ...

Sajith Lab said...

කොහොම හරි උඔලට වතුර ලැබීම ගැන සතුටු වෙනවා බං.....
ඇත්තටම නැන්දා රෙද්ද ගලෝගෙන පැන්නද? නැත්නම් පැන්න පාරට රෙද්ද ගැලවුනාද?

Buddhi said...

කතාව අන්තිමට එද්දි බයේ හිටියේ සුපුරුදු පරිදි උඔ අදත් කාලා ඇති කියලා හරහට උස යන්න. ටැප් ලයින් කෙසේ වෙතත් උඔ ගුටි නොකාපු එකම මැදයි...

සෙන්නා said...

සුප් කැටේ සහ අජිනොමොටෝ එක මරුය.

බුද්ධි කිව්වා වගේ මාත් හිතුවෙ අන්තිමට කෑවවත්දෝ කියලා...

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

දැං මොකක්ද සුප් මොකක්ද අජිනමොටෝ කියල හොයාගන්ට බැහැ නෙව

geeth said...

math hithuwe meka kiyawaddi me parath uba rahata kala athi kiyala ...

mona moto dammath raha naha.ath gune nathnam..uba liyana ewaye raha wadiyen danene ube e ath gune nisa..jaya wewa !! sandaru malli...

නලිනි චන්දිමා said...

වතුර හම්බුණාට පස්සෙත් ඒ වතුරෙ වටිනාකම දැනෙනවනම් කොච්චර හොඳද? අජිනොමොටෝ ගානට, රසට. :D

සුදීක said...

ඔයාලගේ ගමේ වතුර නැතුව මිනිස්සු දුක් විඳිනව, මගේ ගම බෙන්තර, නිරිතදිග හරියටම කොතැනද කියල කවුරු හරි ඇහුවොත් පෙන්නන්න පුළුවන් සීමාවේ තියෙන මධ්‍ය ලක්ෂය තිබ්බොත් තියන්න වෙන්නේ අපේ ගමේ. ඒත්... අපේ ගමෙත් බොන්න වතුර නැතුව මිනිස්සු හරියට දුක් විඳිනව. වෙන මොකක් වත් නිසා නොවෙයි සංචාරක කර්මාන්තය නිසා. සංචාරක හෝටල් වල තියෙන සම්ප් පුරවන්න ඒ නිකුත් කරන ජල ප්‍රමාණය මදියි. අපේ පැත්තේ ලිං පුරවල වතුර. නාන්න විතරයි, ඇයි ගඟත් තියෙනව, මුහුදත් තියෙනවා, ඒත් බොන්න වතුර ගන්න විඳින දුක මේ සිංහල අවුරුදු නිවාඩුවේදීත් මම දැක්ක.

Dinesh said...

සුදු බණ්ඩි නැන්ද නිසා මේ වතාවේ සදරුවා ගුටි කාලා නෑ.. ඒකම මදෑ..

වතුර කියන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතාවයක්.. ඉතින් ඒක සපුර ගන්න බැරි උනාම උඹලා ඔය කොරපු දේ වැරැද්දක් නෑ කියලා මට හිතෙන්නේ.. කොහොම හරි අවසානයේ උඹලට වතුර ලැබුනනේ..

කිරිපුතා said...

වතුර නැති ප්‍රස්නෙ අපටත් තිබ්බා. රට මැද ඉන්න හින්දම අපිට නං එච්චරම කරදරයක් උනේ නෑ. ඒකට දැන්නම් වතුර වැඩිවෙලා.

ItalyDilan said...

සුදු බන්ඩි නැන්දා බර අවිවලින් ප්‍රහාර දෙද්දී අරුන් කොහොමද බන් සටන් කරන්නේ,,මේ ඒ කතාව අජිනමොටෝ නේද,,

සයුරි said...

සුදු බන්ඩි නන්දා නම් ෂුවර් එකටම සුප් කැටයක් තමයි..:)

දිනේෂ් තරංග said...

"..උබේ කතාව කියෙවුවම හඳගම ගේ තනි තටුවෙන් පියාඹන්න චිත්තර පටිය මතක් උනා සහෝ...සමාජ අසාධාරණේ ගැන තව ලියපං මලයා...එහෙම මිනිස්සු නැත්නම් අපේ ජීවිත ලස්සන වෙන්නේ නෑ මලේ...එකයි ඇත්ත...ලියපං දිගටම..."

හිස් අහස said...

අදහස් දුන්නොදුන්න හැමෝටම තුති .. කස්ටියගේ කමෙන්ට් වලට හෙට දවසේදී උත්තර දෙන්නම්කෝ ..මේ ටිකේම කෑම කාලා වැඩි හින්දද මන්දා අද ඇඟට අමාරුයි !

Charith Samarakoon said...

වලියක්නම් සඳරු අයියා... හොහ් හොහ්... මේ අජින මොටෝ වැඩිය එපා බං...නියම රහට කෙළවේවි... එල කතාව... වතුරටත් අද අයිතිය කියනව... කාලෙ වෙනසද,මනුස්සකම් වෙනස්වෙලාද මන්ද...

Anonymous said...

වතුර ලැබීම ගැන නම් සෑහෙන්න සතු‍ටු වෙනවා. කොච්චර දුකක් විඳින්න ඇද්ද නැති කාලේ... :(

Salinda C said...

ඔයාලගෙ ප්‍රශ්ණ ටික කොහොම කොහොම හරි විසදෙනව කියල අහන්න ලැබෙන එකත් සතුටක්.

Unknown said...

අනේ සදරුවෝ... උබ පොලු කැල්ල හොයන්න බැද්දට පැන්න වෙලාවෙිදි සුදු බණ්ඩි නැන්දා පොලු කැල්ලට කොරන්ඩ බැරිවෙන දේ නාන රෙද්ද ගලෝලා කොරලා තියෙන්නේ... ඉස්සරහට සියළුම ගමිවල ඉන්න උදවිය වලියක් ආවොත් ඔය ක්‍රමය අත්හදා බලලා ලබන අත්දැකීමි ගැන අපටත් දැනුමි දෙන්න...

ජය වෙිවා සදරුවෝ...!!!

නජාත් අක්‍රම් said...

// එදා බයෙන් බයෙන් දිය රෙදි ඇඳන් නාගත්තු ගමේ කෙල්ලෝ අද දිය රෙද්දට සමු දීලා නාන කාමෙරේට වැදිලා යසට දිය නානවා. //

ඔක්කොම හොඳයි. ඔන්න ඕක නේ ප්‍රශ්නේ!!

ක්සැන්ඩරයා said...

සඳරු මලේ, මේක ගොඩක් කාලෙකට කලින් වුන දෙයක් නේද? මට මතකයි ඔය දේ ටීවී එකේ පෙන්නුවා ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට්‌ එකට. එහෙනම් ඒ දේ උනේ උඹලයේ ගමේ?

ලොකු පුතා said...

සුදු බන්ඩි නැන්දගේ බර අවි ප්‍රහාරය නිසා මේ වතාවේ උඹ ගුටි නොකා බේරුණා...
අන්න වළියකට යනවනම් එක්කගෙන යන්න කියාපු මනුස්සයා...

....................................................
“ තොපෙ *#$%^&#@**#@ සංඟෙ නැති පාහර බල්ලො ! තොපි අපේ කොල්ලන්ට ගහන්ඩ? ඉඳා..! හයියක් තියේ නම් ගහපියවු මේ මට ! !. “
....................................................
දවසේ කතාව...
ඒ කියන්නේ උඩහා ගමේ සුදු
බන්ඩිට ගහන්න තරම් හයියක් තිබ්බ එකෙක් එකෙක් ඉඳල නැහැ.... :))))

Akash Tharinda said...

"වැස්ස වලාහක දෙයියන්ට අපි ගැටගැහැවුව පඬුරු පොට්ට කාසි වගේ පෙනුණ නිසාද කොහෙද උන්දැටත් වගේ වගක් නැතිවා වගේ වලාකුළු නැති හිස් අහසේ කොනක අට්ටං වෙලා උන්නා." මේ කොටස කියවද්දි නම් මට අඩෙන්න වගේ අවා සදරු අය්යෙ. කමක් නැහැ පරක්කු වෙලා හරි වතුර හම්බ උනානෙ. මේ පොඩි බඩුවක් අහගන්න තියනවා හන්දැවෙ නියරක් උඩ හිටියම් මොකක්ද වෙන්නෙ සදරු අය්යෙ ?

Dude said...

වතුර ප්‍රශ්නෙ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. සඳරුලාට වතුර ලබාගන්න සටන් කරපු පොඩි හාමුදුරුවොත් නියම චරිතයක් වගෙ.

henryblogwalker the Dude

Ishara said...

සඳරු මේක ලස්සනයි බං. සුප් නැති වුණත් ඇති වුණත් හොඳයි. ඔය පැත්තට අර ඉඟිණියාගල ජලාශෙ වතු ර නැද්ද බං.

ගාමිණී විජිත් සමරකෝන් said...

සඳරූ පුතේ, කාලෙකට පස්සෙ සැබෑ ගැමිරස ඇති කතා ටිකක් කියෙව්වා .. පානම ගුණසේකර ගුණසෝමගෙන් පස්සෙ දිගාමඩුල්ලෙන් බිහිවෙලා ඉන්න හොඳම ලේඛකයා ඔයා වෙන්න ඇති .. මහානාම රාජපක්ෂ (මායා රන්ජන්), පියසේන කහඳගම පිටින් ඇවිල්ලා දිගාමඩුල්ලෙදි ලබාපු අත්දැකීම් ගැන ලියාපු අයනේ .. සුබ පතනවා ..

Sindu said...

මගෙ හිත අවුරුදු ගාණක අතීතයට ගියා.අම්මලාගෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ ළි‍ඳෙන් වතුර ගේන්න එන මිනිස්සුන්ව මතක් වුණා. ඒ කාලෙ නොතේරුණාට දැනුයි තේරෙන්නෙ ඒත් මේ වගේම වතුර නැති කාලෙ වෙන්න ඇති කියලා.

දම්මි said...

මේ කියවන රහ නෑ දුක විඳිනකොට..නේද මල්ලී
අපොයි...අජිනමොටෝ නැන්දාගේ වලි නවත්වන ක්රමෙ අලුත් අත්හදා බැලීමක් වෙන්ටැති..

අසරණයා said...

වතුර ප්‍රශ්නේ ගැන ගොඩක් තැන් වල තියෙනවා.ඒත් දැන් ඔක්කොම හරි නේ.තමන්ගේ ගමට වතුර නැතුව ගම මැදින් වතුර බට යද්දී කාටද ඉවසන්න පුළුවන්.

අහිංසක said...

//ප/ලි . හොද්දේ රස වැඩි කරනු වස් සුප් කැටයක් සහ අජිනමොටෝ ස්වල්පයක් බැගින් අතින් දැමූ බව කරුණාවෙන් සලකන්න //
මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා සඳරූ මලේ.. මටනම් ඔයාගෙ කතා හැම එකකම පදමට වැඩියෙනුත් එක්ක සුප් කැට, හා අජිනමොටෝ දාලා තිබුන බව දැනුනා. මොකද මමත් ගමක හැදුනු වැඩුනු කෙනෙකු හැටියට ගැමි රස අඳුනන නිසා. හැබැයි ඔයා අර කියන රසකාරක දැම්මේ ඒ කතාවල ගැමි ගතිය වැඩිකරන්න වෙන්න ඇති.අනික අජිනමොටෝ දාපු කෑම වැඩිපුර කන්න බෑනේ. ඒත් ඔයාගේ රසකාරක ඕනෑවටත් වැඩිපුර දාපු කෑම කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නෑ. ඒක ඔයාගේ භාෂා හැකියාව හා ගැමි ජීවිතයෙන් ලද අත්දැකීම් වල සුසංයෝගය නිසා වෙන දෙයක් වෙන්න ඇති. ජයවේවා!
ප.ලි. අනික ඔයා ගම මාකට් කරන විදිය දුක්ගන්නාරාළගේ ක්‍රමේට වඩා හොඳයි. ඒත් ඔය කියන සුන්දර ගම ලංකාවේ කොහේ හරි තැනක තියනවා කියලා මමනම් කීයටවත් විශ්වාස කරන්නේ නෑ.

සොඳුරු සඳවතී said...

සුදු බණ්ඩි නැන්දාව අදහන්න වටිනවනේ...සුදු බණ්ඩි නැන්දාගේ සිද්ධියත් අජිනමොටෝ දාල රස කරපු එකක්ද නැත්තන් හැබෑවටම උන දෙයක්ද කියලා තමා මට හිතා ගන්න බැරුව ඉන්නේ

සරත් ලංකාප්‍රිය said...

වතුර පිපාසෙට වතුර කළයක් ලැබුනා වගෙයි උඹේ කතාව පුතා.

YashoK said...

අජිනොමොටෝ වගේද සඳරු අයියගෙ අත්ගුණේ......:)

වර්ණා said...

අම්මෝ නියඟ :(

සිත්රූ සිහින said...

ඇත්තටම සඳරු මේක තමයි පොළවෙ පය ගහල ජීවත් වෙනව කියන්නෙ..අපේ ගම් වල ඉන්න මිනිස්සු කව්ද කියලවත් එක්කෙනාට එක්කෙනා දන්නෙ නැහැ..එහෙම බලද්දි ඔයාලගෙ ගම් වල තියෙන මේ සිංහලකම ශ්‍රේෂ්ඨයි..

බොරු මොකටද සඳරු මටත් හිතුනා ඒ වගේ වතුර බටයක් හිල් කරල නාන්න ඇත්නම් කියල..මාර අත්දැකීමක්..

Praසන්ன said...

මම හිතුවෙ සඳරුව කෑ ගහපු පාරට යන්න ගිය උං ටික ආපහු හැරිල ඇවිල්ල නෙලුව ගමයි කියල. යංතං බේරිලා තියෙන්නෙ.

කොහොම උණත් උඹලට වතුර ලැබුන එකට සතුටුයි මලේ.

රයිටර් said...

සුප් කැටය සහ අජිනමොටෝ ස්වල්පය හොද්දට රහ පදමට එක්කර ඇති බව නම් සැබෑය. සඳරු අයියේ උඹලගේ ගම්පලාතේ උන් ගැන මට ආඩම්බරයි බොලන්

Anonymous said...

මට නං සැප ළිඳ බං... සවර් වතුර මලට ඒක සැපයි...

චතුවා said...

අඩේ මෙන්න මූ අන්තිමට නාපු දවස ගැන දාලා.. මේ කොයි කාලේ විතරද බං අයියේ? :D

හසී said...

සඳරු චන්ඩියා නොවෑ.... :)

networkdisa said...

ඉහල ගමේ උන් යන්න ඇත්තෙ උබේ කටට නෙමෙයි බං...
උබේ නිරුවස්තරේ දැකල වෙන්ඩඇති...

Pisakkaatuwa said...

සුදු බන්ඩි නැන්ද අන්ජිනමොටෝ ද නැද්ද මන්ද. හැබැයි රෙදි නැතිව හරි, වලියේදී ලේසියෙන් කැඩෙන විදිහට තෙත නැති චීත්තයක් හරි ඇඳගෙන වලිවලට එන්ටර් වෙන ගැණු ගැන කතා කීපයක්ම මම අහල තියනවා. මොකද වලියේදී ගැනියෙක්ගේ රෙද්ද පිරිමියෙක් අතින් කැඩුනොත් වැරදිකාරයා පිරිමියා වෙන නිසා වලියට එන්ටර් වෙන්නේ නැතුවම පිරිමි පසුබානවා. වෙනද වගේම ලියවිල්ල නම් සුපිරි. චිත්‍ර පටියක් බැලුව වගේ තමා.

පැන්ඩා said...

සඳරුවො.... ඉතින් කෝමද...අලි වැඩ ගොඩක හිර වෙලා උන්නෙ බන් පහු ගිය කාලෙ යන්තම් නිදහසක් ලැබුවෙ දැන්..ඉතින් ඉතින් කොමැයි විස්තර

ටීම් ට්‍රැවලර්ස් said...

අම්මෝ.. උඹේ බොල්ග අප්ඩේට් වෙලා තියෙනව දැක්කා. මම කුඩු නැතුව වගේ හිටියේ කතාවක් නැතුව.
පට්ට ස්ටෝරිය.

අර ගෑණු මනුස්සයා දිය රෙද්ද කැඩුවම උඹත් ලොක්ක වගේ පැන්නා නේද?

:P

නවෝ!

Anonymous said...

"පුටු රත් කරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ දාන ලොකු උත්තමයෝ "
LA

හිතුවක්කාර කෙල්ල said...

කට්ටිය දිව්වෙ අයියාට බයේ නෙවෙයිනෙ... සුදු බණ්ඩි නැන්දාට බයේනෙ..හික්ස්ස්... :D

සුප් කැට දාලා නිසා අද තවත් රසවත්!!!

දිනුක said...

සුදු බණ්ඩි නැන්දාගේ නිරුවත සඳරුවාගේ නිරුවත වසා දැමූ වගයි....හික් හික්
අපිට හිනා.......හූ.....

Anonymous said...

ගමේ ගැමිකම ලස්සනට හො‍‍‍‍දට තියෙනව ස්තතියි මේ වගේ කතා ලියනවට
'''සුභ අලුත් අවුරැද්දක් වේවා''''

Anonymous said...

ලස්සන.......
ගැමිකම.....
අව්‍යාජබව.......
සියල්ල සපිරි ලස්සන කතාවක්
ස්තුතියි.........

..... ගේ කුරුල්ලා........

Dilshan said...

සඳරුවා බ්ලොග් අවකාසෙට මම නවකයෙක්. මේ මගේ 1 වැනි කොමෙන්ටුව. උඹේ ලිවිල්ල නං සුපිරි මචං. උඹට බොක්කෙංම සුබ පැතුවා හරිය.....

මාධව විදුරංග said...

සුප් කැට නිසා කතාව රසවත්! හම්! අපේ ගමට නං ඔය ප්‍රශ්නේ නෑ! අවුරුද්දට වාර දෙකක්ම මදි නොකියන්න වහිනවා! හම්!

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

ෆට්ට කථාවක්ය.. අජින මොටෝ සරීරයට (අ)හිතකර බව අම්මා නිතරම පවසයි..

ජීවිතේ මල් said...

මේ ඔක්කොම හෝල්සේල් කියවගෙන කියවගෙන යද්දි තමයි නියම ගතිය එන්නෙ :)

සංකල්ප said...

අර නැන්දා ඉස්සරහට පැනපු කතාව නම් මරු !!
උන්දෑ එවෙලේ පැන්නේ නැත්තන් මොන්වයින් මොනවා සිද්ද වේද මන්දා.

Dilupa said...

නුවර වුනත් සමහර පැති වලට මේ වතුර ප්‍රශ්නෙ පායන කාලෙට එනව. සමහර පැති වලට අදත් බවුසර් වලින් වතුර දුන්න. සමහර මිනිස්සුන්ට තමන්ගෙ මිදුල උඩින් වතුර බට ගියත් වතුර නැතුව බලන් ඉන්ඩ වෙලා.

duliponline said...

අර අන්තිමට කියල තියෙන ටික නොකියම හිටියනං තමා වඩා හොද

සල් ගහ යට said...

අයියගෙ හැම කාවක්ම කියෙවුවට මේක මට අහු අනේ නෑ නෙ..අනේ අපිට නම් වතුරෙන් හිගයක් නෑ.ඒත් අපිට ලැබිල තියෙන දෙවල් ගැන අගයක් නැති කම ගැන මහම මහ ලැජ්ජාවක් ඇති උනා මේ කතාව කියෙවුවට පස්සෙ. මරු මරේ මරු ඊට වඩා කියන්න දෙයක් නෑ

Post a Comment

තැන්කූ බං