26.4.12

වස්තුහාමි ගේ කතාව



පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා.

වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා . කොලු කමට හොර පොල් කඩන්න අපි වත්තකට පනින්න සැලසුම් කරද්දී වස්තුහාමි අයියා ගිහින් වැඩිහිටියෙකුට ඒ ගැන ගතු කේලම් කීවා . වංගියක් ඌ තනියම හීන් හඬින් කවි කීවා. තවත් වංගියක බැද්දෙ ගිහිං මල් කැඩුවා .ගමේ කොල්ලෝ ඉඩ ලැබුණු හෑම වෙලාවකම වස්තුහාමි අයියට කොලොප්පම් කළා .

අඩා වස්තුහාමි උඹ කුස්සියේ වැදිලා තලප හැඳිගාපං. උඹ කෙල්ලෙක් නේ අඩා”

අපි කොයිතරම් ඌට කොලොප්පම් කළත් ඌ නෙවෙයි අපි එක්ක හීනියට වත් අමනාප වුණේ . වලං මැට්ට පෑගෙද්දී තව තව පදම් වෙනවා වගේ ඌත් අපි එක්ක තව තවත් රැහේ වැටුණා. කොයිතරම් රැහේ වැටුණත් ඌ අපි එක්ක වැවේ නාගන්ඩ වත්, පොරේ වැටෙන්නවත් කිසිම දාක ආවේ නැති විත්තිය මට හොඳට මතකයි.

අපේ ගං තුලානේ වැඩිහිටියෝ, පොඩි එවුං අතරේ මහ පුදුම බැඳීමක් තිබුණා .ගමේ කාටත් තව කෙනෙක් එක්ක අමනාප වෙලා වැඩි දවසක් ඉන්න අමාරුයි. වැඩිහිටියන්ගේ ඒ ගතිය පොඩි එවුන් වෙච්ච අපිටත් හොඳාකාරවම පිහිටලා තිබුණේ කොටි පැට්ටුන්ට දඩයමේ යන්ඩ උගන්නන්ඩ ඕනෙ නැතුවා වගේමයි.

අපි වස්තුහාමි අයියට කොයිතරම් කොලොප්පම් කළත් ඌව කොන් කරලා තියන්න කිසිම අදහසක් අපිට තිබුණේ නෑ . ඌ කොයි වෙලෙත් තනිවෙලා කාලෙ ගෙවන්න හැදුවත් අපි ඌව අමතක කරලා දාලා නිකම්ම උන්නෙත් නෑ . ඌව අපේ ගානට ගන්න අපිත් පුළුවන් තරම් වලිකෑවා .

වස්තු අයියා මොකක් බං උඹේ ඔය හැටි සෝමාරි කම ? වරෙංකො බං අපි එක්ක සෙල්ලං කරන්ට”

අපි එහෙම කියද්දි වස්තු හාමි අයියා ඉඳන් මෙහෙම කියනවා

මට බැරුං ඔය උඹලා වගේ වැල්ලෙ නටන්ටයි තුවාල කරටන්ටයි .” 

වස්තු හාමි අයියා අපිත් එක්ක ඉන්න වෙලාවට කල සමහර විගඩම් නිසා අපිට පුදුම හිතුණ වාර නම් එමට තිබුණා

ගමේ එකටම උන්නු අපේ යාළු මිත්තරයෝ සමාගමට මුත්‍රා බරක් දැනුණාම ඒ බර හෑල්ලු කරගන්න තැන නොතැන බැලීමක් තිබුණේ නෑ . ගහකට , ගලකට හෝ බිච්චියකට ඒ බර නිදහස් කරලා අපි සාමාන්‍ය විදිහට උන්නත් වස්තුහාමි අයියා එහෙම කළේ නෑ . ඌට මුත්‍රා බරක් දැනුණාම ඌ බැද්දේ ඈතටම ගිහින් ඒ බර හෑල්ලු කරගෙන ආවා .

අඩෝ වස්තු උඹේ අහවල් එක රත්තරන්ද බං ? ඔච්චර හැංඟිලා හුජ්ජ කොරන්න යන්නේ”

කට කැඩිච්චි කොල්ලෙක් එහෙම කියාපු දාට වස්තුහාමි අයියත් නිකම්ම උන්නේ නෑ

උඹලට ලැජ්ජ නැතුවට මං මුනා කරන්න ?” 

වස්තුහාමි කල ඔය වගේ වැඩ නිසා කොලු රැළ ඌව නිතරම කොලොප්පමට ගත්තා ඒත් උගේ අමුතු වැඩ නෙවේ යන්තමට වත් අඩු වුණේ . රොමියෙල් අප්පු මාමලාගේ ගෙදරදී ඌ කරපු තවත් වැඩක් ඒ බවට සාක්කි.

රජේ රස්සාවක් කරවුව රොමියෙල් අප්පු මාමා එක දවසක් උගේ ගෙදෙට්ට පරණ ඩෙක් දණ්ඩකුයි දොඹ සයිස් පීකර දෙකකුයි ගෙනවා. එදා ඉඳන් හැමදාකම හැන්දෑ වරුවේදී ගමේ කොල්ලෝ වැඩිහිටියෝ සෑහෙන ගණනක් එහේට එකතු වෙලා චිත්තරපටි බැලුවා. ඒ හැම චිත්තරපටියක්ම බොහෝම පරණ සිංහල ඒවා. ඒ චිත්තරපටි වැඩිහිටියන්ට අල්ලලා ගියාට අපිට නම් පුදුම විදිහට අප්පිරියා වෙලයි තිබුණේ.

රොමියෙල් අප්පු දෙමහල්ලෝ රස්සාවට යන හන්දා උදේ වරුවේ නම් උන්දැගේ ගෙදර කවුරුවත් හිටියේ නෑ . ඉතින් වංගියක් අපි රොමියෙල් මාමගේ ලොකු පුතා බන්දුට කන්නලවු කරලා කරලා මයෙ තැපැල් හැඳුනුම්පත ඇපේට තියලා ටවුමෙන් ගෙන්න ගත්තු චීන හටන් තියෙන ඩෙක් පීස් එකක් බලන්න කතා වුණා.

පහුවදා ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් පිටත් වෙලා පොඩි දුරක් ගියපු අපි ආපහු හැරිලා කැලෑ පාරකින් රොමියෙල් මාමලෑ ගෙදෙට්ට රිංඟුවා . රොමියෙල් මාමගේ පුතන්ඩියා හදා දුන්නු තේ කහට උගුර ගානේ බොන ගමන් අපි උපන් තේකට නොදුටු චීන හටන් තිබිච්චි චිත්තරපටිය බලන්න ගත්තේ හිතේ කොනක හැංඟුන පුංචි බයකුත් එක්කයි . “මොකෙක් හරි අපිව දැකෝතින් නම් අපි කපෝතියි” කාගෙ කාගෙත් හිත් වලට එහෙම දැනෙන්න ඇති . ඒත් චීන හටන් බලන්න තිබුණ ආශාව හන්දම අපි කවුරුත් ඉස්කෝලේ ඇඳුම් පිටින්ම ටීවී එක වටේ වට වෙලා කටවල් වලින් ඒ දිහා බලන් උන්නා .

මොහොතකින් හටන ඇරඹුණා .ඩෙක් පීස් එකේ උන්න චීන නළුවා උගේ පෙම්වතිය බේරගන්ට තවත් චීන්නු හැට හැත්තෑවක් එක්ක හරි හරියට පොරේ !. තේ කෝප්ප අත් වල තියාගත්තු අපිත් ඉහළ ඇද්ද හුස්ම පහළට නොගෙන අත් මිටි මොළවාගෙන ගැහෙන හදින් ඒ දිහා බලාන උන්නේ ගුඩු කරපු පොල් ගෙඩි වගේ . ඒත් සටන අවසාන මොහොතට ලං වුණාම අපි කවුරුත් බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුණා.

අගුළු දා වහලා ගෙදර දොරට කවුදෝ දුන්නු බර පා පහරක් හන්දා ඒ දොර කොන්ඩිපට්ටම් වලින් ගැලවිලා බාගෙට විවර වුණා

බාගෙට ගැලවුණු දොරින් ගේ ඇතුළට පැන්නේ රොමියෙල් අප්පු මාමා !.
උගේ මූණ අලවු යකාගේ මූනටත් වඩා බියකරුයි , ඇස් දෙක ගොරකා යකාගේ ඇස් දෙකටත් වැඩියෙන් රතුවෙලා .

උඹලා ඉස්කෝලේ යනවා කියලා මුනා මේ මේ බලන්නේ ?

අනේ මාමා අපි මේ චීන් හටන් තියන පී. . ස් එකක් බලන්ඩ . . “
 
රොමියෙල් මාමට වග උත්තර බඳින්න අපි උත්සහ කරන අතරේ අපේම කරුමේ එතනදිත් හරහට හිටියා

චීන්නු රොත්තටම හතර අතට නෙලලා දිග්විජය කල චීන නළුවා උගේ පෙම්වතියව බඩට වඩාගෙන තොල්පටි වලින් මහ අසික්කිත හාදුවක් දුන්නා ඒ හාද්ද දැක්ක රොමියෙල් අප්පුහාමි මාමට මරුවා නැංඟා !

හත්තිලවුවේ ! අර වස්තුහාමි පුතා කීව කතාව ඇත්ත උඹලා මේ ගේ ඇතුළට වෙලා අසික්කිත චිත්තරපටි බලවුවා නේද ? දැං කෝමද යකුනේ මම ගමේ උන්ට මූණ දෙන්නේ මේ අටමගලේ තමා මෙවුවට මුල .” 

එහෙම කියවුව රොමියෙල් මාමා ඩෙක් පෙට්ටිය දෑත බදලා උස්සලා පොළවේ ගැහුවා .උතුර දකුණ මාරු වෙච්ච අපිත් ඔළුව හැරුණ අත දුවලා කැලේක හැංඟුණා

පහුවදා උදේ ගෙවල් වලින් හම්බ වුණ ගුටි පූජාව නිසා ඇදුම්කන අත පය වල පොල් තෙල් උලා කියාගෙන අපිත් ඉස්කෝලෙ යන්න පිටත් වුණා .වීරයෝ වගේ අඩිය තිබ්බත් අපේ හිත් වල තිබුණේ මහා ලොකු ලැජ්ජාවක් .එක හාදුවක් නිසා අපි බලාපු චීන හටන් චිත්තරපටිය අසභ්‍ය බවට රොමියෙල් අප්පු මාමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල රැඟුම් පාලක මණ්ඩලය තීන්දු කරලා තිබුණා .

අපි අසභ්‍ය චිත්තරපටියක් බලා ඇති බව ගං තුලානේ හෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා තිබුණා. ඒ කාලේ හැටියට සහ අපි උන්නු වටපිටාවේ හැටියට අපි කරලා තිබුණේ සමාව දෙන්න බැරි තරමේ මහා ලොකු වරදක් ! . ගමේ එවුංවොන්ගේ කටවල් වලින්ම කියනවා නම් අමු කුපාඩි කමක් ! .

ඕකුං ඔවුවා බලලා තව මොනවා කරනවාද දන්නෑ ? කෙල්ලෙක් වත් ඕකුංට පෙන්න නාන තොටේ තියනවා නෙවෙයි !” 

සුමනාවතී උපාසක අම්මා මම ඉස්සරහ පිටම උඩහ ගෙදර ධනපාල මාමා එක්ක කියද්දි මගෙ සකල සරීරෙම හිරි වැටිලා ගියා .

වස්තුහාමියා අපිව කෑවා !!හැමෝගෙම කටවල් පල්ලෙන් බේරුණේ ඔය වචනේ විතරයි
අන්තිමේදී මේ සිදුවීමට මුහුණ දුන්නු අපි හැමෝම තිරණයක් ගත්තා. මේ හැම දේටම මුල් වෙච්ච කේලම් කාරයා වෙච්ච වස්තුහාමිට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕනෙ කියලා කොයි කවුරුත් කතා වුණා.

එදා හැන්දෑවේ කුණු ඇල පිටිපස්සේ තිච්චි කැටකෑල ගහේ වස්තුහාමි අයියව කොහු ලණුවකින් බැඳ දාලා තිබුණා . රංජිත් සහ බන්දු උගේ කටට කොහොඹ කොළ ඔබද්දී සිරිමෙවන් සහ පැට්ටා උගෙ ඇඟට දිමි ගෝට කඩලා දැම්මා .

සත්තයි ආයේ එහෙම කරන්නේ නැතෝ ! මට යන්න දියංකොයි .!වස්තුහාමි අයියා අඬන්න තියාගත්තා.

කඳුළු පෙරමින් අඬන වස්තුහාමි අයියා දැක්කම මොහොතකින් අපි කොයි කාටත් දුක හිතුණා . මොනා වුණත් මූ අපේ එකෙක් . අපි හනි හනිකට උගේ බැමි ලිහලා දිමි කාපු තැන් වලට මෙන්ටේරියා කොළ තළලා තියලා ඌව ගෙදර ගෙනිහින් දැම්මා .එදයින් පස්සේ මම දන්න තරමින් අපේ කාණ්ඩෙ කිසිම එකෙක් වස්තුහාමි එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ. ඌට කොලොප්පම් කළේ වත් ඌ ගැන හෙවුවේ බැලුවේ වත් නෑ . කෙටියෙන්ම කීවොත් ඌ කොන් වුණා .

ගමේ කොල්ලෝ වස්තුහාමිව කොන් කරද්දී ගමේ කෙළි පැට්ක්කියෝ ටික වස්තුහාමි වටේ වට වුණේ ඇයිද කියන්න මම තවම දන්නේ නෑ . ඉස්කෝලේ ගියත් දහම් පාසලට ගියත් වස්තුහාමි හිටියේ කෙල්ලො එක්ක විතරමයි . ඌ අපිත් එක්ක ඉඳිද්දී මූණේ නොතිබිච්ච අමුතු හිනාවක් කෙල්ලො එක්ක ඉන්නකොට උගේ මූණේ ඇඳිලා තියන හැටි කොයි කවුරුත් දකින්න ඇති .

එවුන්ට හොඳ නම් අපේ මොකෝ ?අපිත් කරබාගෙන උන්නා

කාලෙ ගතවෙද්දි බාල කාලේ හිමිදිරිය ගෙවමින් උන්නු අපේ ජීවිතත් මද්දහනෙට ලං වුණා . ඇඟ පත, කර දඬු උස් මහත් වෙද්දී පැට්ටු වගේ උන්නු අපිත් හාල් දන්ඩෝ වුණා . හරි හැටි ඉගෙන ගත්ත එවුන් විස්ස විද්‍යාලෙට පද්දන අතරේ යන්තම් බේරිච්චි එවුන් පුංචි පහේ රස්සා කරන්නත් , යලටත් නැති මහටත් නැති එවුන් විතරක් ගමේ පාරවල් කඩ පිල් වලත් ඉතිරි වුණා . වස්තු හාමි අයිය නම් අයිති වුණේ විස්ස විද්‍යාලෙට. කෙල්ලො එක්ක පාඩම් කල හන්දත් අපි වගේ සෙල්ලමට මුල් තැන නොදී පොතට කාලේ වෙන්කළ හින්දත් ඌ විස්ස විද්‍යාලෙට තේරිච්ච එක අපි කාටත් අරුමයක් වුණේ නෑ .

දවසක් දා අතින් කටින් බඩු මුට්ටු කරපින්නාගෙන වස්තුහාමි අයියා ගමෙන් පිටත් වෙලා නගරේ බෝඩිං වෙන්න යන්න පිටත් වුණා . ඌට අපිව දාලා යන්ඩ දුකක් තිබුණේ නෑ . ඌ යන්න කලින් දවසේ ගමේ කෙල්ලෝ හැමෝටම ඌ යන විත්තිය කියලා තිබුණත් අපිව නම් බලන්නවත් ආවේ නෑ . අපිටත් ඌ ගැන වගේ වගක් තිවුණේ නෑ !.

නගරේ විස්ස විද්‍යාලෙට තේරුණු වස්තු හාමි අයියා කීප වංගියක් ගමටත් පැද්දුවා. ඒත් වැඩි දොහක් ගමේ රැඳෙන් නැතුං ඌ ආයෙත් නගරෙටම පරන්දු වුණා.ඌ ආයෙ ගමේ ආවෙම නෑ. කාලේ ගෙවෙද්දී කාට කාටත් ඌව අමතක වෙලා ගියා . ඔය විදිහට අවුරුදු ගාණක් ගෙවුණා .

වංගියක් ටවුමේ පොළට ගියපු මම අතින් කටින් බඩුත් එල්ලගෙන බස් එකක් එනකල් බස් නවත්තන නුග ගහ පල්ලේ ඉඳගෙන පාර බලං උන්නා . පාර දිහා බලාන හිටපු මම කවුදෝ කතා කරන හඬකින් ආපහු හැරිලා බැලුවා .මගෙ පිටිපස්සේ උන්නේ මම ජීවිතේට දැකලා නැති ගෑනු පරාණයක් . අරුමෝසම් බඩු අතේ කරේ පුරෝගෙන හිටි උන්දෑ අඩි උස උල් සපත්තු දෙකක් දාලා ඕනෑවට වඩා තොල් රතු කරගෙන උන්නා . ඇඟේ දැවටුණු සාරිය ඉස්තරම් එකක් වගේම කනේ එල්ලං උන්නු කඩුක්කන් දෙකත් වටිනා එවුවා බව මම එක බැල්මකින්ම තේරුම් ගත්තා .

සල්ලි කාර නෝන කෙනෙක් ! මම හිතෙන් මිමිනුවා

මල්ලිට මාව අඳුනන්න පුළුවන්ද ?

බෑ මිසී කවුද ?

මල්ලියේ මම පොඩි කාලේ උඹලත් එක්ක හිටි වස්තු

මට මගේ ඇස් අදහා ගන්ට බැරි වුණා මගෙ ඉහෙන් කණින් දාඩිය බේරෙන්න වුණා. ඇත්තටම ඒ උන්නේ වස්තු හාමි

ඔහෙපලයං. .! ඌ ගෑනියෙක් වෙලා . කලින් නමට විතරක් ගෑනියෙක් වෙච්චි ඌ මොන දහංගැටයක් දාලා හරි හැබෑවටම ගෑනියෙක් වෙලා. උරහිස ළඟට යනතුරු කඩා හැලෙන කොණ්ඩේත්. කන් දෙක පල්ලෙන් එල්ලෙන කඩුක්කන් දෙකත්, ළඟින් හමන කොලොන් සැරත්, ඇඟ වැහිලා තිබුණු සාරියත්, පමණට වඩා ලොකු පියයුරු දෙකත් අමතක කළානම් ඌ පරණ වස්තුහාමිම තමා.

නගරෙට ගිය වස්තුහාමි හාමිනේ වෙලා ඕං ඔහොම ගමට ආවා. උන්දෑ විස්ස විද්‍යාලේ ගිහින් ගමට ගෙනාපු උපාධියක් නම් නෑ. ඒ වෙනුවට ගමේ කිසිදාක නොතිබ්බ විගඩමක් වෙච්චි ගෑනු සැලුන් එකක් පටන් අරං ගෑනුන්ගේ කොණ්ඩෙ, ඇහිබැම් හැඩ කරන්න පටන්ගත්තා. ගමේ කෙලිච්චියෝ ටික වස්තුහාමි වටේ හනිකට එකතු වෙච්ච හන්දා උගේ සැලුන් එක ජයටම නැගලා ගියා . හැබැයි ඒ නැගලා ගිය වේගෙන්ම බැහැලා ගියා .මුලදී කෙල්ලෝ ඒ සැලුන් එකට යන්න ගත්තත් ගෙවල් වලින් උන්ට දඬුවම් කල හන්දා ටිකෙන් ටික වස්තුහාම්ගේ සැලුන් එක පාළුවට ගියා .

රටට ලෝකෙට වැඩි අරුමයක් නොවුන ඔය ලිංග විපර්‍යාසය කියන දේ අපේ මේ වැවුගම්පත්තුවට නම් අරුමයක්ම වුණා. ඉතින් අලුත් වස්තු හාමිනේව පිළිගන්න ගමේ කිසි කෙනෙක් සූදානම් වුණේ නෑ. ගමේ කවුරුත් වස්තු හාමිනේට බය වුණා ඉතින් උන්දෑ සැලුන් එක වහලා දාලා ආයෙත් නගරෙටම පරන්දු වුණා.

වස්තු හාමිනේ දැන් නම් කොයි ලෝකේ ඉන්නවද කියන්න මම නම් දන්නෙ නෑ .ඒත් මම හිතෙනවා මම මැරෙන්න කලියෙන් ආයෙමත් වංගියක් ඌව දැකගන්න හැකි වේවි කියලා . කාට කොහොම වුණත් මට නම් ඌ තවම අපේ එදා උන්නු වස්තුහාමි අයියාම තමා

නම මනංකල්පිතයි

කෘතීම රසකාරක කිසිත් නොදා ඇති කතාව ඇත්තයි .! 

සිත්තම නිරෝෂන් කරුණාතිලක

රැජින පත්තරේට ලියවුව කතාවක්.



86 comments:

Dinesh said...

සිරා කතාවක්නේ සදරුවෝ.. ඔය විපර්යාසය ගැන ඕන තරම් ලිපි මාත් කියවලා තියෙනවා.. හැබැයි ඒ මෙහෙට ආවට පස්සේ..

මුලින්ම උඹ අර වස්තුහාමි අයියා කියන්නද අක්කා කියන්නද කියලා හිතාගන්න බෑ කියද්දි හිතුවේ ඌ කරපු චීත්ත වැඩක් වත් නිසාදෝ කියලා..

ලොකු පුතා said...

උඹ දැන් පෝස්ට් දාන්නේ යක්කු ගස් නගින වෙලාවල් බලලද....;)

කතන්දර Kathandara said...
This comment has been removed by the author.
Anonymous said...

මම ඔය මොණරාගල පැත්තෙ ඉන්න කාලයේ වගේම අනුරාධපුරයෙන් තරමක් ඈත සමහර ගම් වල අය මේ භාශාවෙන් කතා කරනව අහල තියෙනවා. ඒ අය හදුන්වන්න ''බයියා''යනවදන යොදාගන්නවා

ලොකු පුතා said...

හැමදාම වගේ අදත් මරු කතාවක්....
ඔය වගේ වස්තුහාමිලා ඇති පදම් ඉන්නවා බං කොලොම්පුරේ...
සමහර විට උඹලගේ වස්තුහාමි අයියත්(අක්ක) කොළඹ දිහාවට වෙලා අනිත් උන්දලා කරන බඩරස්සාවම කරනවා වෙන්නත් බැරි නැහැ.
ලොකු ලොකු වාහන වලින් එන මහත්තුරු මේ වගේ වස්තුහාමිලව ඒ වාහන වල දාගෙන යනවා මම ඇතිපදම් දැකල තියෙනවා බං...

ඒ අයත් අපි උඹල වගේම මිනිස් පරාණ නිසා එයාලටත් මේ සමාජයේ යහතින් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ.
ඒත් අපේ සමාජයේ ඒ වගේ අය බහුතරයකට තියෙන්නේ හොඳ පිළිගැනීමක් නෙමෙයි.

මේ කතාව කියෙව්වම මටත් පොඩි කතාවක් මතක් උනා,,, :(

විමුක්ති said...

සුපිරියි,වෙනද වගේම

ඉඳුනිල් said...

වස්තු හාමිනේලටත් ඉල්ලුමක් තියෙනවා. මේ පැත්තේ ඉන්නවා එක පවුලේ දෙන්නෙක්.එක්කෙනෙක් ගණික(කා) වෘත්තියේ.අනිකා සපත්තු රෙපෙයාර් කරන් ඉන්නවා..

Kenji @ Japan said...

Aththa kathawakda? Pattama Patta.

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

ඉතා විවුර්තව ලියලා තියෙනවා. අපේ රටේ අගනුවර උනත් ඕවා කතා කිරීම අඩුයි නෙව. සමහර දවස් වල රෑට ට්‍රැෆික් ලයිට් කනු ලඟ ඉන්නෙ ඔය ජාතියෙ "වස්තු" තමා

චතුවී said...

ඔය පෙර කල අකුසල් තමයි.. පිරිමියෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඕනෙලු.. පිරිමියෙක් වෙලා ඉදල ගෑනියෙක් වෙන්න කොච්චර පව් කරන්න ඕනෙද කියල හිතා ගන්න පුලුවන්නේ නෙද..

Miyuru said...

අළුත් වචන ටිකකුත් ඉගෙන ගත්තා.... වස්තුහාමි අයියා සඳරුලා පුංචි කාලෙ නිතරම ෂර්ට් එකක් එහෙම ඇඳෙගෙනද හිටියෙ.... මනුස්සයා යුනි ගිහිනුත් නැත්නම් කොළඹට ඇවිල්ලා මොනවද දන්නෑ කළේ.... මේ වගේ දෙයක් උනාම ගම්වලින් එන ප්‍රතිචාර ගැන හිතා ගතහැකි.... පව් හැබැයි.... සඳරු උඩ යන්නැති පළමුවතාවට මිනිහව අරම දකිනකොට නේද....

මං වැඩ කරන තැනත් වැඩ කරනවා මෙහෙම කෙනෙක්... අඳින්නෙ පළඳින්නෙ ගෑණු ඇඳුම්... ගමනත් ගෑණියෙකුගෙ වගේ.... කොණ්ඩෙ වවලා ගොතලා.... හැබැයි කටහඬ පිරිමියෙකුගෙ වගේ ගොරෝසුයි..... පාවිච්චි කරන්නෙ පිරිමි ටොයිලට් එකයි, ලොකර් රූම් එකයි.... මෙහේ නම් ඉතින් කිසිම වෙනසක් නෑ... ඒ මනුස්සයත් හරිම හොඳයි... මට ඇහිලා තියෙනවා කට්ටිය කතා වෙනවා "She's a good man..." කියලා....

Anonymous said...

වස්තු එයාගෙ නියම අනන්‍යතාවය හොයාගෙන නම් හොඳයි.

අවාසනාවකට වගේ ඔය ලිංග විපර්යාසයට ලක්වෙන ගොඩක් උදවිය නතර වෙන්නෙ ලිංගික ශ්‍රමිකයන් විදියට. මොකද එයාලට තමන් දන්න ‍රැකියාවක් කරගෙන ජීවත් වෙන්න සමාජය ඉඩ තියන්නෙ නෑ!

සයුරි said...

අප්පේ මේක ඇත්ත කතාවක්ද? මට මතකයි ඩොක්ට කෙනෙක්ටත් ඔහොම උනා. ඒ සිද්ධිය පත්තරෙත් ගියා.

Anonymous said...

දැන් එවගේ මිනිස්සු ගොඩක් වැඩිවෙලා. කාමය වරදවා හැසිරෙන පිරිමී ඉලග ආත්මයේ නපුංසක වෙනවා

පවනි said...

හපොයි දෙයියනේ......
පව් වස්තුහාමි අයිය....

මටත් මේ ළඟදි ඔය වගෙ අසික්කිත කතාවක් කිවුව වගෙ මතකයි... අවුරුදු උත්සවේදි ද කොහෙද....
;)

Gimhani said...

පව් මේ වගේ අය නම් . මෙහෙම වෙන්නේ කර්මයක් නිසාද මන්ද ?

පොඩ්ඩා said...

හෆොයි මචං විස්වාසකරන්නත් අමාරුයි බන් ...!! සිරාවට උබ හීනයක් එහෙම දැක්කේ නැහැ නේ ..!!

Unknown said...

එයා ලිංග පරිවර්තනයකට ලක් වෙලාද එහෙම නැත්නම් බාහිරින් විතරක් ගැහැනූ ඇදුම් ඇදලාද?

මේ මට්ටක්කුලිය පැත්තෙත් ඔහොම අය හරියට.ගස්සලා පද්දලා යන විදිහට ගෑණු පරාදයි.බස් ඩ්‍රයිවර්ලානම් අනම් මනම් කියනවා අවුස්සන්න. එතකොට ගස්සගෙන යනවා.

Unknown said...

මරු කතාව සදරුවෝ... එක හුස්මට කියෙවිවා. ඔය කතාව කියවන් යනකොට ගමෙි බාසාව නිසා එකේ රසය නමි පංකාදුයි. වස්තු හාමිනේ කොලඹ පැත්තේ සැලුන් එකක ඇතියි කියලා නමි අන්තේටම විස්වාසයි මට නමි දැන්...!!!

රත්ගමයා said...

මට කියන්න නම් ගොඩක් දේවල් තියේ...ඒවා කිව්වොත් මගේ කට කුප්පයි කියනවා නෙව

Harshana said...

පිරිමි උන ගෑනු දැකලා තියනවා, ඒ වගේම ගෑනු විදිහට ඉන්න පිරිමිත් දැකලා තියේ. ඇත්තටම ගෑනු උන පිරිමියෙක් නම් මම දැකලා නෑ මචන් තාම. කතාව නම් පට්ට....

Pisakkaatuwa said...

මං දන්න කොල්ලෙක් දිවිනසාගත්ත. මැරුණට පස්සෙයි දැනගත්තේ මෙයා ලිංගික විපර්යාසයක් වුන නිසා හිත් වේදනාවට දිවිනසගෙන තියෙන්නේ. ළමයි පවා හම්බ වුනාට පස්සේ මෙහෙම වෙනස් වුන අය ගැන පත්තර වල ලිපි තිබුණ.
උඹේ ඇපේට තිබ්බ තැපැල් හැඳුනුන් පත ගන්න, රොමියෙල් මාමලාගේ ගෙදරින් ඩෙක්පීස් එක අපහු ගන්න පුළුවන් වුනාද?

Raj said...

ගැමියන්ගේ සරළ බවත් එක්ක නගරෙන් ගමට එන වසංගත ගැන උඹ අපුරුවට ලියල තියෙනව මචො..

Unknown said...

වෙනද වගේම සුපිරියි....

කථාවේ හොඳම හරිය චිත්තරපටි බලන කෑල්ල... අපිත් ඔය දවස්වල ඔය වැඩේ ගජරාමේට කොලා.. කවදාවත් මාට්ටු වුනේ නම් නෑ.. දවල් දවසම අපේ තාත්තාත් නෑ අම්මත් නෑ. අනේ ඉතින් අපි නම් බැළුවේ චීන හටන්ම විතරක් නෙමේ.. ඒ බැළුවා ඒවා රොමියෙල් උන්නැහේ දැක්ක නම් එහෙම ඩෙක් පොළොවේ ගහලා නවතින්නෑ...

ජයවේවා...

Akash Tharinda said...

ගොඩක් තැන් වල ඔය වගෙ චරිත ඉන්නව.ඒගොල්ලන්ටත් අපිට වගෙම සමාජයෙන් තැනක් ලැබෙන්න ඕනෙ.හැබැ‍ය් වස්තු හාමි අය්යා Hisahasa බලනවද දන්නෙ නැහැ.එහෙම උනොත් නං සදරු අය්ය ඉවර‍ය්
----------DS කොල්ලෙක්---------

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

නියමයි!!
මම රැජින පත්තරේ ලිපියත් කියවූවා. මේකත් කියවූවා. සතුටුයි. ඔබ ටික දිනකින්ම පත්තර කළාව අල්ලාගෙන. සුභපැතුම්.

Sumith Niriella said...

ඔය වගේ ඩයල් එකක් අපේ ගමෙත් ඉන්නවා...අපි මිනිහට කියන්නෙ නංගිමල්ලි කියලා ඌත් ඉන්නෙම කෙල්ලො එක්ක....කෙල්ලොත් ඌට පණ ඇරලා....ඒත් දැන්නම් ටික ටික පුරුෂ ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

Ru_Sirini said...

සමහර වෙලාවට රූලට පිටින් ඇදෙන රූප දිහා මිනිස්සු බලන්නෙ වෛරයකින්, කුහක කමින්..
සඳරුගෙ කතාවෙන් ඒක හොඳට පැහැදිලි වෙන්න ලියලා තියනවා..

හිතන්න අළුත් දෙයක්..

Bindi said...

නියමම ගමේ බසින් ලියලා මේ පාර . පත්තරේට ලිව්ව එක නම් කොච්චර හොඳද . අපේ රටේ බ්ලොග් කියවන්නේ කි දෙනාද . මට හරිම සතුටුයි සඳරුගේ නිර්මාණ පොදු ජනයා අතරට යනවා නම් . තායිලන්තේ ඉන්න ඔය වගේ වස්තු අය්යලා ගැන ලඟදි වැඩ සටහනක් ගියා . එහෙ නම් සම්පුර්ණයෙන්ම සැත්කම් මගින් සියල්ල වෙනස් කරනවලු . එයාලට වෙනම රු රැජින තරඟ පවා තියෙනවලු . සඳරුගේ ගමේදී වස්තුට වෙච්ච දේ හිතා ගත්තහැකි . මොනවා වුනත් අත්මශක්තියක් ඇති මනුස්සයෙක්

ඉන්ද්‍රජිත් said...

මාර කතාවක්නෙ බං..

Praසන්ன said...

වස්තුහාමි අක්ක ආයෙ පිරිමියෙක් වෙලා ගමට එය්ද දන්නෑ.

MR. KING said...

අෆ්ෆටතිලි....මම දන්න සර් කෙනෙක් ඉන්නවා..
දැන් ඌ මිස් වෙලා..
බැදලත් එක්ක. ඇඩෙනවා මේවා අහද්දි :-)

geeth said...

ලියවිල්ල නම් හැමදාම වගේ සුපිරි...පත්තරේ ලිපි ටිකත් ආසාවෙන් කියවනවා...

ජය වේවා මල්ලි...

Subha said...

හැබෑවටම බැලුවේ චීන හටන් ද කියලා මටනම් සැකයි බයේ ගැහි ගැහි බලලා තියෙන හැටියට...

සුදීක said...

ඒ වස්තුවට තිබ්බේ මහණ වෙන්න. එතකොට සඟ සතු වස්තුවක් වෙනවනේ.

සරත් ලංකාප්‍රිය said...

සඳරු.. මේ කතාව අපහාසයකින් තොරව ලිවුවත් සමහර ප්‍රතිචාර අදහස් නම් එකඟ වෙන්න බැරි දේවල් .. අසාමාන්‍ය විදිහට වෙනසක් ඇති පුද්ගලයා තමයි ඒකෙ වේදනාව දන්නේ. අපි කවදාද බුදු හාමුදුරුවෝ කියල තියෙන විදිහට "අත්තානං උපමං කත්වා " මට එහමදෙයක් උනානම් කොහොමද ? කියල හිතලා ඒ මිනිස්සු දිහා බලන්නේ ?

රන් සමනළියක් said...

ගුඩු කරපු පොල් ගෙඩි වගේ කියන්නේ මොකද්ද?

මාතරේ said...

පට්ටයි බං.. මැවිල පේනව උඹ ලියන විදිහට...!

රැඩිකල් කොල්ලා- said...

බලධාරියා විසින් කපා හරින ලදී

Anonymous said...

ඔව් ඔව් උඔ චීන සටන්ම බලන්ට ඇති. අනෙ නිකා හිටහන්.
කතාව නම් එලයි. ජය වේවා කිව්වා.
JH

පරිකල්පන said...

/*කාලෙ ගතවෙද්දි බාල කාලේ හිමිදිරිය ගෙවමින් උන්නු අපේ ජීවිතත් මද්දහනෙට ලං වුණා . ඇඟ පත, කර දඬු උස් මහත් වෙද්දී පැට්ටු වගේ උන්නු අපිත් හාල් දන්ඩෝ වුණා . හරි හැටි ඉගෙන ගත්ත එවුන් විස්ස විද්‍යාලෙට පද්දන අතරේ යන්තම් බේරිච්චි එවුන් පුංචි පහේ රස්සා කරන්නත් , යලටත් නැති මහටත් නැති එවුන් විතරක් ගමේ පාරවල් කඩ පිල් වලත් ඉතිරි වුණා .*/

මේ කොටස හිතට අල්ලලම ගියා. ජීවිතේ මුල් අවුරුදු විස්ස විසි දෙක ගැන නියමම පැහැදිලි කිරීමක්.

කිරිපුතා said...

ඔය වගේ කතා පත්තරවල හෙම දැකල තියෙනවා. තායිලන්ත ජාතිකයො ගොඩක් සැත්කම් වලින් ගෑණු බවට පත්වෙනවලු.

ගැමියාගේ පත් ඉරුව said...

එක හුස්මට කියෝගෙන ගියා අයියේ මාර ලස්සනට කතාව ලියලා තියෙනවා ඇත්තටම මැවිලා පේනවා කියෝනකොට... සඳරු අයියා නොලියා හිතේ හංගගෙන ඉන්න කතා කොයිතරම් ඇතිද කියලා හිතෙනවා මෙහෙම කතා කියවනකොට..

Anonymous said...

නියමයි සඳරු... කතාව ටිකයි බං කියවන්න හම්බුනේ. ඉතුරු ටික ගෙදර ගිහිං...!

BLOG ගඩොල් said...

සුපිරියි මචෝ!!! මට ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි වුණා. අනිත් ලිපි ටිකත් කියවන්න ඕනෙ. වස්තුහාමි ගමට එන්නෙ නැතුව කොළඹටම වෙලා උන්නනං තමයි හොඳ. මොකද ගමේදි අනිවා ඔය ප්‍රතිචාරෙ තමයි හම්බ වෙන්නෙ කියලා එයා දැනගෙන නොහිටියා නෙවෙයිනෙ.

උඹ දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට ලියන එක ගැනත් ගොඩක් සතුටුයි. මගේ උණුසුම් සුභපැතුම් සහෝ!!!

Unknown said...

ගැමියට වගේ මට නම් එක හුස්මට කියවන්න බැරි උනා.[ ප්‍රාණයාම හොදින් ප්‍රගුණ කරපු යෝගියෙකුටත් වඩා ධාරණ ශක්තියක් ගැමියට තිබීම පිලිබදව පෞද්ගලිකව මා ගොඩාක් සතු‍ටු වෙනවා.]මට එහෙම එකක් නැති එක ගැන මට කනගා‍ටුවක් නැති නිසා උබත් ඒ ගැන වැඩිපුර හිතන්නෙපා.සදරූ.. ලස්සනයි.! උබ නෙමේ බං.. පෝස්‍ටුව.. මේ වචන රටාවට මම කැමතියි.

සොඳුරු සඳවතී said...

මේක කියවද්දි රූපයක් රූපයක් ගානේ හිතේ මැවුනා හරියට ෆිල්ම් එකක් වගේ.හරිම රසවත් මේඅවත් ඉතින් මේ සමජයේ අද සුලබව වේ දෙවල්නෙ.

Kannangara said...

සඳරු මල්ලී ලිවීම නම් විශිෂ්ඨයි. රැජිණ පත්තරේ ලිපි පෙලත් බලනවා. පත්තර කලාවෙනුත් දිගු ගමනක් යෑමට සුභ පතනවා...

Kasun said...

මාත් අහල තියනවා ඔය වගේ සීන්. කර්මය තමයි ඉතින් නේද. හැබැයි මොනවා වුනත් හිත හයිය මනුස්සයෙක්, නැත්තන් ආයෙත් ගමට ඒවිද?

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අමුතු ආරෙක කථාවක්.. වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා.. කියවන කොට කථාව ඔලුවෙ මැවෙනවා..

ජේ හෝ..

Anonymous said...

Excellent.....

Anu

රාජ් said...

නියම කතන්දරයක්. ඒත් මට හිතෙන්නෙ ඌට/ඈට විදින්න වෙන කරදර ගැන. මේවගේ අයට අනුකම්පා කරනු වෙනුවට උන්ව කොන් කිරීමයි සමාජය කරන්නෙ.
මම කියවපු පරිවර්තන කෙටි කතාවක තිබුන පල්ලියක ජීවත් වුනු මේවගේ කෙනෙක් ගැන. කියවල තියනවද?

Sindu said...

ලිංග විපර්යාසය කියන්නෙ අමුතු දෙයක් වත් විහිලුවට ගන්න ඕනා දෙයක් වත් නෙමෙයි. (සඳරු මල්ලි අපහාසයක් කිරීමේ අදහසින් නොලිවුවට මේකෙ සමහර ප්‍රතිචාර නිසයි මෙහෙම කියන්න හිතුනෙ) ස්ත්‍රී පුරුෂ බව තීරණය කරන ජාන වල ප්‍රශ්න නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හරියට නිකම් ජාන වල වෙනස් වීම් නිසා ඇති වෙන අනිකුත් ලෙඩ රෝග වගේමයි.

ඒ වගේම තමන්ගෙ කැමැත්ත නිසා වෙනස් වෙන අයත් ඉන්නවා. නමුත් ඒ අයගෙ දක්ෂතා වලට මේක බලපානෙ නෑ. ලංකාවෙ එක්තරා ප්‍රසිද්ධ නාට්‍ය කරුවෙක් ඉන්නවා, ඔහු "ඇය" විදියට ඉන්න කාලෙ කරපු නිර්මාන වලට වගේම තවමත් ඉහල පිළිගැනීමක් තියනවා දැන් ඔහු අතින් බිහි වෙන නිර්මාණ වලටත්. තවත් උදාහරන ඕනෑ තරම් තියනවා.

අරුණ හෙට්ටිආරච්චි said...

ඔය වගේ අය ගං පළාත් වල ඉදලා ටවුමකට ආව ගමන් උන්ට සිද්ද වෙන්නේ පහන් කණුවක් යට ජිවිතේ පටන් ගන්න තමයි. හොද ඉල්ලුමක් තියෙන නිසා උනුත් ඇබ්බැහි වෙනවා ඒ ජීවිතේට. සමාජේ පුරුදු වෙලා ඉන්නෙත් එහෙම අය දිහා අමුතු විදියට බලන්න. ඒත් උන්ට මෙහෙම වෙලා තියෙන්නේ උන්ගේ වරදක් හින්ද නෙවෙයි. මට කියන්න තියෙන්නේ කොහොම උනත් මොන දේ කලත් මොනදේ උනත් උනුත් මනුස්සයෝ කියන එක හැම දෙනාම තේරුම ගන්න ඕන කියල ...

රයිටර් said...

මේ විදිහට උභය ගති, චරිත ලක්ෂණ තියන අය දැකල තියනවා. දහම් පාසලෙත් එහෙම කොල්ලෙක් හිටිය. ගොඩක්ම ආශ්‍රය ගෑල්ලමයි තමයි. යන්නෙත් පද්ද පද්ද. කතා කරන්නෙත් පද්ද පද්ද. මේකව ගොඩක් කොල්ලොන්ගේ කොලොප්පමට හේතු වුණා. එත් මේවගේ සම්පුර්ණ විපර්යාසයකට මුහුණ දුන්න කෙනෙක් නම් මං ජීවිතේට දැකල නෑ. කතාවනම් මී රහයි. සුපිරියි.

කලාකාරයා said...

කතාවනම් හරි ලස්සනට ලියල තියෙනවා,මවා ගන්න පුලුවන්

Dilshan said...

මෙන්ටේරියා කොළ කියන්නෙ මක්කැයි බං? අපිනං ගාන්නේ කැපුංකීරිය කොළ. කොහොම වුණත් වස්තුහාමි කියන්නේ අනුකම්පා කළ යුතු චරිතයක්. චිත්තරූප මැවෙනවා බං උඹ ලියන විදියට.

දිනුක said...

ඔහොම උනාම මිනිස්සු හරියට අසරණ වෙනවා බං.ඔක්කොටම වඩා අවුල මේ කියන ධර්මද්වීපෙනෙ ඔහොම අයට ගොඩක්ම අවුල්

හිස් අහස said...

@Dinesh=මෙහාට රෑ දෙකයි කියන්නේ ඔහාට හැන්දෑ වරුව වෙන්නැති නේද අයියා . ඒකනේ මේ හීල් පාන්දරම ආවේ
.............................................................................................................................
@ලොකු පුතා = මල ගෙදරක ගිහින් ආපු ගමන් මේක පබිලිස් කරලා බුදිය ගත්තා මචෝ . උඹට මතක් වෙච්ච කතාවත් අපි කියවන්ඩ බලාගෙනයි ඉන්නේ ඉතින් ඒකත් විජහට ලීව නම්. උඹ ඔය කියන වස්තුහාමිලා විකිනෙන සීන් එක මම ෆිල්ම් වල විතරයි දැකලා තියෙන්නේ
.............................................................................................................................
@කතන්දර = එයි අප්පා කොමෙන්ට් මකනවා !
.............................................................................................................................
@nautilusly = බයියා කියලා හඳුන්වන්නේ වෙල්ලස්සේ කැරැල්ල පැරදීමෙන් පස්සේ ගේ දොර ඉඩකඩම් අතෑරලා දාලා බයෙන් වනගත පෙදෙස් වලට ගිහින් සැඟවෙච්ච උදවියටලු .
.............................................................................................................................
@විමුක්ති = ස්තූතියි
.............................................................................................................................
@ඉඳුනිල් = සපත්තු රෙපෙයාර් කරන කෙනාගේ වැඩේ කොච්චර උතුම්ද ඔය අනික් වැඩේ නම් සපත්තුවක් තරමටවත් වටින්නේ නෑ නේද මචං
.............................................................................................................................
@Kenji. Japan = කතාව සම්පූර්ණ ඇත්ත . තව නොලීව දේවල් මේකේ එමටයි මේ බෝම අඩුවෙන් ලීවේ
.............................................................................................................................
@ඊ මේල් කවි කාරි = මම අහලා තියනවා කොළඹ නුවර වගේ පැති වල ඔය කියන වස්තුහාමිලා එලි පිටම ඉන්නවා කියලා මේ පලාත් වලත් ඇති ඒත් මුලු ගැන්නිලා ඉන්නේ
.............................................................................................................................
@චතුවි = ඉපදීමත් අකුසලයක් කියන්නේ යාළු !
.............................................................................................................................
@Miyuru = අපි වගේම වස්තු අයියත් සරම් කමීස ඇන්ඳා මට කවදාවත් මතක නෑ ඌ කමීසයක් නැතුව ඉන්නවා . ඌ ඒ තරමටම හැදිලා වැඩියි නඟා . ඌව ඒ දැක්ක දවසේ මගේ ඉහිං කනින් දාඩිය බේරෙනවා දැකලා ඌට බය හිතුනා .
.............................................................................................................................
@විසිතුරු = මම හිතන්නේ වස්තු එයාගෙ තැන අඳුනගත්තා . ඒත් ඒ වෙනස් වීමෙන් ඒ වස්තුහාමි අයියගේ අම්ම තාත්තා ගොඩක් දුක් වින්දා
.............................................................................................................................
@සයුරි = සහතික ඇත්ත යාළු මේ සිද්දියත් පත්තරේ ගියා හැබැයි
.............................................................................................................................
@අටර්‍මපහුර = මගේ පෝස්ට් ගොඩාක් එක දවසින් කියෙවුවට ස්තූතියි . ! ඔයාගේ නමේ තේරුම මොකක්ද ?
.............................................................................................................................
@පවනි =මොකක්ද ඔයාට හැදිච්ච කතාව අපිටත් දැනගන්න කියන්ඩකෝ යාළු ‍
.............................................................................................................................
@Gimhani = මේකයි මයෙ සුදු අක්කේ වෙලා තියෙන්නේ අම්මට ඕනෙ පුතෙක් තාත්තට ඕනෙ දුවෙක් දෙයියෝ ඒ දෙන්නවම සතුටු කරන්න එක්කෙනෙක් දෙනවා !
.............................................................................................................................
@පොඩ්ඩා = නැත මේ උතුරු වැවුගම්පත්තුවේ ප්‍රචලිත කතාවකි
.............................................................................................................................
@නිසූපා = ඒක නම් මම දන්නෙම නෑ නිසූ ඇදුම් වලට අස්සෙන් මොනා හරි ඔබාගෙන් ගෑනු බව මවා ගත්තද දන්නෙම නෑ අනේ නිසූ උඹත් අහන කතා !

හිස් අහස said...

@Nadun Shiwantha = මමත් හිතන්නේ දැන් හොඳ ජොබක් කරනවා ඇති මොකද බං ඌට හොඳට ඉගන ගන්න හැකියි
.............................................................................................................................
@රත්ගමයා = මට කෝල් එකක් දීල කියහංකෝ මලයා
.............................................................................................................................
@හර්ෂන = කතාව මතක් කලාට උඹට පිං අයියන්ඩි
.............................................................................................................................
@Pisakkaatuwa = ඕ ඕ පීස් එක ආයෙ හරිම අමාරුවෙන් අරං ඒක බාරදීලා තැපැල් හැඳුනුම්පත ගත්තා ඒක නැති වුණා නම් ගෙදරින් මාව පන්නන වා බං
.............................................................................................................................
@Raj = ඔය සපෝර්ට් එකට ස්තුතියි රජෝ
.............................................................................................................................
@තාරක = තොත්තුවක් දැකලා රොමා මාම ඩෙක් පෙට්ටිය පොලේ ගැහුවා නම් උඹලා බලාපු ඒවා දැක්කොත් ඌට නූල් බඳින්න වෙනවා සිකුරුයි
.............................................................................................................................
@Akash tharinda = යකෝ මමත් ඩී එස් ගියා කාලයක් ලොකු සෑර් මාව එලවන්න කලින් . ඉතින් මගේ ඉස්කෝලේ එකෙක් මට දුන්නු කමෙන්ටුව මට වටිනවා . මට උඹව බලන්ඩ ඕනෙ මලේ උඹ මේ පාර ඕලෙවල් බැජ් එකේ එකෙක් නේද ?
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = පත්තරේට ලියන්න මට මං සලසා දුන්නු වෙද මාමේ ඔබට පිං කවදාවත් ඔබ කල උදවුව අමතක කරන්නේ නෑ මං
.............................................................................................................................
@Sumith Niriella = අපේ ගමෙත් තව බුවෙක් ඉන්නවා බං අපි ඌට කියන්නේ නංගි මල්ලි අයියා කියලා . ඌටත් හෙන ආතල් අපි එහෙම කියද්දී
.............................................................................................................................
@රූ = ස්තුතියි රූ අදහසක් දීලා හිස් අහසේ පාලු කැපුවට
.............................................................................................................................
@Bindi = මම ගමේ බසින් ලීවට ඉස්සර මේ විදිහට කතා කලා හිටන් ඒත් දැන් මම මේ විදිහට කතා කරන එක අඩුයි . මම වගේම තව බොහෝ දෙනා ගමේ කතාව අතෑරලා දාලා .
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ස්තූතියි ඉන්ද්‍රේ කියෙවුවට
.............................................................................................................................
@Praසන්ன = එහෙම ඌව දැකෝතින් මට නූල් බඳින්න වෙනවා අයියන්ඩි
.............................................................................................................................
@අඩවි රජා = උඹත් මරු මරු සෑර්ලව තමා දන්නේ :)
.............................................................................................................................
@geeth = ස්තුතියි ගීත් මට කියවලා සප් එක දෙනවට
.............................................................................................................................
@Subha = සත්තයි චීන් හටන් බැලුවේ අපි වෙන දෙයක් බලලා අහු වුණානම් රොමියෙල් මාමට නූල් බඳින්න වෙනවා සිකුරුයි
.............................................................................................................................
@ඇවිද්ද පය = ඒක නම් ඇත්ත තමා හෙක් ස්තූතියි අයිඩියාවට
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = ඇත්තටම මම මේ කතාව ලීවේ තව බොහෝ දේවල් ඉවත් කරලා දාලයි මම ඒම කලේ වස්තු හාමිගේ අනන්‍යතාව යන්තම් හරි එලියට එනවාට අකමැති හන්දයි .මම කිසිම අපහසයක් කරන්න හිතුවේ නෑ අයියා . ඔයා කියන කතාව හරි තුවාල කාරයාට නේන්නං ඒකේ වේදනව තියෙන්නේ අපිටත් තුවාල වුණාම තමා ඒක දැනෙන්නේ

හිස් අහස said...

@රන් සමනලියක් = දෙයියන්ට පූජා කරන පොල් ගෙඩි ජාතියක් නඟේ ඒවා බාර ඔප්පු කරනකම් නොසෙල්වී තියන්න ඕනෙ අපිත් නොසෙල්වී උන්න හන්දයි මම ඒ උපැහැරනේ ගත්තේ
.............................................................................................................................
@මාතරේ = ස්තුතියි මාතරේ සපෝර්ට් එකට
.............................................................................................................................
@රැඩිකල් කොල්ලා = කොහේද කපා දැම්මේ බං ?
.............................................................................................................................
@JH = සත්තයි මචා මම වෙන හටන් හුටන් බලනවා දැක්කා නම් රොමියෙල් පොලවේ ගහන්නේ ඩෙක් එක නෙවේ මාව
.............................................................................................................................
@පරිකල්පන = ස්තූතියි මචෝ ඔන්න ඔහේ ලීවා
.............................................................................................................................
@කිරි පුතා = ඒක නම් මාත් අහලා තියනවා රට ටීවී චැනල් එහෙක මම ඒක දැක්කා
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = කතා නම් බෝමයක් තියනවා එවුවා තව තව කල් ගිහිල්ලා එවුවට අදාල කට්ටියගේ අවසරේ එහෙම හෙමින් අරං කියන්න පුලුවන් මල්ලියා .
.............................................................................................................................
@prasanna86k = ස්තුතියි මචෝ
.............................................................................................................................
@BLOG ගඩොල් = එහෙම්ම කියලා නෑ බං ඔය හිතේ සතුටෙන් මම පත්තර වලට ලියා දෙනවා එච්චරයි ආයෙ දැකීම සතුටක්
.............................................................................................................................
@Sarath Chandrasiri = ඌ ඉතින් ආතල් එකට බං ඒම කීවේ අනේ බං මේම ගමේ උන්නට අපිත් ලස්සයි බොල . පැත්තට හැරිලා ඉන්නකොට නිකම් සමම නිකම් ලොරෙන්සෝද අල්මේදා වගේ කියලා ගමේ උන් කියන්නේ . ස්තුතියි මචෝ
.............................................................................................................................
@කාව්‍යා = ඉස්සරත් මේව තිබ්බ ඒත් හැංඟිලා දැන් ඉතින් ඔවුවා සාමාන්‍යයි නේ . ස්තුතියි නඟා
.............................................................................................................................
@Kannangara = උඹලා ඒ ලිපි පෙල බලන එකම මට ලොකු ගැම්මක් සහෝ
.............................................................................................................................
@Kasun = මම හිතනවා වස්තු ආයේ ගමරට බලා ඒවි කියලා උගේ හිත අපිට වඩා හයියයි
.............................................................................................................................
@මල්සරා මගේ ජීවිතය = ස්තුතියි මචෝ
.............................................................................................................................
@Anu = ස්තුතියි අනූ
.............................................................................................................................
@රාජ් = නෑ මචෝ එහෙම කතාවක් නම් මම කියවලා නෑ ඒත් උඹ කීවට පස්සේ බලන්ඩ ආසයි මොකක්ද ඒ පොතේ නම ?
.............................................................................................................................
@සිඳු = ඇත්තටම මම මේක අපහාසයකට ලීවෙ නෑ අක්කා . මම මේකේ නොලියපු දේ තව එමට තියනවා අනික වස්තු කියන්නේ පුදුම දක්‍ෂයෙක් ඌ එක පාර කැම්පස් ගියා ඒකම මදෑ උගේ හැකියාව මනින්න ඕවා සිද්ද වෙන්නේ කෝමද කියලා නම් මම පොඩ්ඩක්වත් දන්නේ නෑ අක්කේ
.............................................................................................................................
@රෙප් මහත්තයා = කතාව ඇත්ත . මේ වගේ උදවිය සමාජයෙන් කොන් වෙන එක අදට යන්තම් හරි සිද්ද වුණාට ඉස්සරහට එහෙම වෙන එකක් නෑ . අද වුණත් අපේ ගමේ මේ වගේ දෙයක් දිහා බලන්නේ මහ අමුතු විදිහට . මම දන්නේ නෑ මොකක්ද හරි කියලා ඒත් මමත් හිතන්නේ මොකටද කාව වත් කොන් කරන්නේ කියලයි

හිස් අහස said...

@පැතුම් [සිතුම් පැතුම්]= වස්තු සම්පූරන විපරිතයෙක් වුණාද කියලා මම දන්නේ නැ . සමහර විට ඒක ඇඳුමෙන් පැලඳුමෙන් වෙච්ච දෙයක් විතරක් වෙන්නත් ඇති . සමහරවිට සැත්කමක් වත් කරගත්තාද මන්දා ?
.............................................................................................................................
@කලාකාරයා = ස්තුතියි මචෝ
.............................................................................................................................
@Dilshan = මෙන්ටේරිය කොල කීවේ මචෝ සමහරු ඒවට පටන් කොල කියලත් කියනවා ටිකක් විතර බුලත් කොලේ හැඩේ පොඩි පඳුරු තමා තියෙන්නේ තුවාල වල තියවුවාම හොඳ වෙනවා කියලා මතයක් තියේ .
.............................................................................................................................
@දිනුක = මොනා කරන්නද බං අවමන් විඳින්නේ ගැරහුම් ලබන්නේ අපි පතාගෙන ආ හැටියට කියලා හිතාගෙන හිත හදාගෙන නොසැලී ඉන්නයි තියෙන්නේ .

ලහිරු said...

වෙනද වගේම අදත් පස්ට කතාවක්! මෙහේ අපිට ඕක අරුමයක් උණාට වෙන රටවල නම් ඕක සාමාන්‍ය දෙයක් මචෝ!

අසරණයා said...

මම දැකල තියෙනවා අනන්තවත් බම්බලපිටියේ හරියේ ඉන්නවා සෙට් එකක්ම.බයේ බෑ අපිත් එක්ක කතා කරයි කියල.වලතක්ම හිනාවෙනවා උන් අපිත් එක්ක කතා කලොත්.

සෙන්නා said...

අපේ සංස්කෘතියට ඕක මහා දෙයක් වුනාට.. නවීන විද්‍යාවත් එක්ක දැන් දැන් සම්පූරණ වෙනස් වීමක් කරනවලු. වස්තුහාමිත් ඒ වගේ සැත්කමක් කරගන කියලා හිතන්ඩ අමාරුයි, මොකද ලංකාවෙ තවම ඔයවගේ සැත්කම් වෙනවද කියලා සැකයි.

මොනවා උනත් සරත් කිවා වගේ අපි ඒ මනුස්සයො දිහා මධ්‍යස්තව බලන්ඩ ඕනා මොකද ඒ ගොල්ලො ඕවා හිතා මතා කරගන්න ඒවා නෙමේනේ. ඒවගේ අයව සමාජයෙන් කොන් කරන එක වැරදියි..ඒත ප්‍රායෝගික තත්ත්වය ඕක තමා.

උඹේ බාසාව දැන් දැන් දවසින් දවස ගැමි ආරට යනවා. ඒක මාර ගති කියලා තමා කියන්ඩ තියෙන්නෙ.

sAm (සෑම්) said...

මරු සිදුවීමක්..

චිත්‍රපට සීන් එක දැක්කම මට මතක් වුනේ අපේ ගමේ හේමසිරි (හේමේ) මාමා. එයාගෙ පෝස්ටුවක් මෙන්න. සිදුවීම එකම වගේ. ඒත් ලිවිල්ල තමා වෙනස්. සදරුගේ ලිවිල්ල සෑමාගේ ලිවිල්ලට වඩා උඩින්... :)

http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_26.html

ජය !

හිතහොඳ පිස්සා said...

මේ වගේ උන් කොච්චර ඉන්නව ඇද්ද.....සඳරු අයියට එයා අඳුන්වල දුන්න මොහොතෙ ඇතිවෙච්ච හැඟීම් අල්ලල කවි පොඩ්ඩක් ලිව්ව නම් මොකෝ වෙන්නෙ.......

පිණිබිඳු... said...

අර පොතක් තියෙන්නෙ අමුතු ඉලංදාරියා කියලා. අන්න ඒ පොත මතක් උනා මට මේක කියවද්දි

Anonymous said...

Hmm... eka saamanya deyak kyla math ahala thynawa. Eth thaama eka lankawata aluth, e nisai samajayen kon wenne. Samajaya danuwath krnna wada piliwelak sakasanna oone, mokada mea ayatath nidahase jiwath wenna ida denna epai...

Kathawa nm niyameta liyala thiyenawa ayye, wenada wagema. Eka husmata kiyewwa...

~~Daga Malla**~~~

Madri said...

කතාව කියෙව්වා නෙමෙයි බැලුවා....
නියමයි .......

Buru Babe said...

බොහෝ වෙලාවට සඳරුගේ කතා කියවලා විතරක්ම නතර වෙනවා මම.
මට හිතෙන්නේ මේ වගේ අයට සමාජයෙන් ලොකු කරදර වලට අපහාස වලට මුහුන දෙන්න වෙනවා කියලා. විශේශයෙන්ම ලංකාව වගේ රටක.
මේ වගේ රටවල නම් ඔය වගේ ලිංග විපර්යාශ වලට ලක් වෙච්ච අය පට්ට මාකටින් බුවාලා.ළඟින් ගියත් ඇහැක් නෑ. මෙහේ නම් නංගිලා වගේ ලස්සනට ඇඳලා හැමදේම පෙන්වගෙන අපිට අගේ කරනවද මන්දා... ඒත් ඒ බොහෝ අය අන්තිමට ලිංගික ශ්‍රමිකයෝ වෙන්න සමාජය මෙහෙත් බලකරනවද මන්දා. මෙහේ නම් ඒ අයටම වෙන් වුන පාරවල් මසාජි සෙන්ටර්ස් හිටන් තියෙනවා. ඔය බොහොමයක් මිනිස්සු නිතරම ඒවට යනවා එනවා.

වීපොකුරෙ වීයා said...

බොහොම සුලභයි මේ චරිත . විසේසයෙන් ඕපාදුප හොයන එක එහෙම වැඩි..
ටිකක්. රුපලාවන්ය පැත්තට තමයි බර.
ලස්සන කතාව..ඒත්...පත්තරේට ලියන විදියට නිසා..රස අඩුද..? මන්දා... ( අමනාප වෙන්න එපා බොක්කෙන්ම නිසයි.. එහෙම කීවෙ.
ජය වෙවා..!

ක්සැන්ඩරයා said...

මටනම් මෙහෙම කෙනෙක් දෙන්නෙක් එක්ක වැඩ කරන්න හම්බුනා. උන් නම් පිලිපින් ජාතිකයෝ. පිලිපීනෙ මේ තත්වය සුලභව තියනවා කියල ඒ අයම තමයි කිව්වේ. ඒත් ලංකාවේ තත්වේ වෙනස් කියන එක සඳරු කතාවෙන්ම කියල දීල තියෙන්නේ. අපුරුයි සහෝදරයා.. උඹට ජය..

Dude said...

ඔහොම කෙනෙක් මම නම් පුද්ගලිකව දැනගෙන ඉඳලා නෑ. නමුත් ඔය මනමාලියන්ට අන්දන්න එන පිරිමි හුඟදෙනෙක් ඔය වගෙයි කියලා මට හිතෙනවා.

henryblogwalker the Dude

ගොඩගමයා said...

බොහොම කාලයක සිට ඔබගේ බ්ලොග් එක බොහොම අසාවෙන් කියවනවා.
නමුත් මේක තමි මගේ පළමුවෙනි කමන්ට් එක.
ඇත්තටම ලස්සනයි.ඔබට ජය.

ස්කූබි ඩූ. said...

හැක් හැක් පස්ට පට පට..

Charith Samarakoon said...

වල් බැල්මට හරි අවඥාවට හරි ලක්වෙන අහිංසකයන්.... අපූරුයි කතාව... කවුරුත් මිනිස්සුනෙ...

මාධව විදුරංග said...

මචං! වස්තුවා කෙලින් වැඩ කරලා තියන එකෙක්! හම්! ගමේ මිනිස්සුන්ට වරදක් කියන්න බැරි නොදැනුවත්කම නිසා! ඒත් ඌ එහෙම කරගත්තු එක හොදයි! නියම කතාව බං! උඹේ හිස් අහසේ කතා ටික නියමයි! මරු!! ඉස්සරහටත් මේ වගේ කතන්දර ඕනි!

ජීවිතේ මල් said...

ඕන් අදයි සඳරුවෝ කාලෙකට පස්සෙ ආයිත් හිස් අහස කියවන්න ගත්තෙ. එක හුස්මට අදින්න තියනවා මාස කීපයක් ! හැම කතාවම එක වගෙ රස නිසා ඔන්න පොඩි කොමෙන්ට්ස්. දිගු රසවිඳීම් :)

චමී4යූ~chami4u said...

මාර සිඉන් එකනේ...අනේ ඒ අක්කා දැන් කොහේ ඇද්ද?..

ලිලංක රවිනාත් said...

මම ටැබුගේ පරණ ලිපි ගොනුව අවුස්සද්දි ඔය වගේ කතාවක් අහුවුනා...
ඒක කියෙව්වේ ඊයේ රෑ අද ඉතින් සඳරු ගේ මේ ලිපිය කියෙව්වා

අනේ මන්දා කවලම් වගේ මෙවා කියෙව්වම

Anonymous said...

aiyoooooooooo..............blog ekak danne nadaaaaaaa.......

rachi said...

කැම්පස් එකේදී ගෑනියෙක් ගෑනියෙක් කරලා තියෙනවා. වස්තුහාමි හැදෙන්න ඇත්තේ රැග් එකෙන් වෙන්න ඕනේ මම හිතන විදිහට නම්.

Unknown said...

Adaa aluth blog ekak damapan

Sajith Lab said...

අළුත් මුකුත් නැද්දෝ......?
කෝ මේ සදරුවා කොහෙද ගිහින් තියෙන්නේ......... :පී

සංකල්ප said...

අද උදේ හිටන්ම මල්ලිගේ කතා සෙට් එක කියවනවා. හරියට නවකතාවක් කියෙව්වා වගේ.

වස්තුහාමි ගැන කිව්වම මතක් උනේ මේ ලඟදි ගොසිප් සයිට් එකක තිබ්බා කෙල්ලෙක් වෙච්ච කොල්ලෙක් ගැන !!!

Post a Comment

තැන්කූ බං