1.6.12

ඉබි මසට ලොල් වූ මුතුබණ්ඩා



මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය වුණත් ඕනෙ තාලෙට නවලා හැඩ ගන්වන ක්‍රමය මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන උන්නා. ඒ හැකියාව නිසාම මිනිහගේ අතේ මිටේ නිතර සල්ලි බාගේ ගැවසුණා

මුලින් තිබුණු පොල් අතු හෙවිලි කළ වඩු මඩුව කාලයක් ගත වෙද්දී ඇස්බැස්ටෝස් හෙවිලි කළ වඩු මඩුවක් බවට පත් කරගන්න මුතුබණ්ඩා මාමට හැකි වුණේ අහල ගං හතක මිනිස්සු පවා ලී බඩු හදාගන්න මුතුබණ්ඩා මාමව හොයාන ආපු හන්දා වෙන්නැති. කාගෙ කාගෙත් හිතේ කොහු තියන්නේ නැතුව එන මිනිස්සු ඉල්ලන විදිහටම ලී බඩු හදා දෙන්න මූතුබණ්ඩා මාම හැමදාමත් සමතා

වැස්සකටවත් ඉස්කෝලෙයකට ගොඩ වැදිලා නොතිබ්බා වුණත් මුතුබණ්ඩා මාමාට ජීවිතේ වැරදුණේ නෑ . උන්දැට කවුරුවත් වඩු වැඩ කරන්න කියලා මග පෙන්නලත් නෑ . තමන්ට හිතූ දේ කරන ජාතියේ එකෙක් වෙච්ච මුතුබණ්ඩා මාමා දවසක් ගෙදර මිදුලේ පොල් අතු මඩුවක පටන් ගත්තු වඩු මඩුව ටිකෙන් ටික විශාල කරගෙන ගමේ සල්ලි කාරයෙක් වුණේ අනික් මිනිසුන්ගේ ඇස් වහ කටවහ මැදිනුයි

හාමුදුරුවනේ මේ වතාවේ පන්සලේ ලයිට් බිල් එක ගෙවාගන්න මා ගානේ ආ රුපියල් දාහක්ම .”

අතේ මිටේ සල්ලි තිබුණත් කවදාකවත් ලෝභ කුණෙක් විදිහට ජීවත් වෙන්න නොහිතපු මුතුබණ්ඩා මාමා පිං අතේ වැඩ වලට නොමසුරුව සල්ලි විසි කළේ නිකම් අනාථ පිණ්ඩික සිටු තුමා වගේමයි .ගමේ දුප්පත් මිනිස්සු කොයි කවුරුත් අතමාරුවක් කරගන්න ඕනෑ වුණාම මුතුබණ්ඩා මාමා ගාවට දුවගෙන ගියා . සල්ලි දෙන්න ඕනෙ කාටද නොදී අරින්න ඕනෙ කාටද කියලා මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන හිටි හන්දා ගමේ උන්නු කම්මැලියොන්ටයි හොරුන්ටයි කවදාවත් මුතුබණ්ඩා මාමව තම්බන්න නම් බැරි වුණා



හැම හොඳක් එක්කම බැඳිච්ච පුංචි නරකක් මේ ලෝකේ කොතැනත් තියනවා . අපේ මුතුබණ්ඩා මාමා ළඟත් දාහක් හොඳ තිබුණට ඒ හැම හොඳක්ම මැකිලා යන ජාතියේ පුංචිම පුංචි නරකක් තිබුණා ඇත්තටම කීවොත් ඒක කැත පුරුද්දක් හෙවත් ඇබ්බැහියක් .

අතේ මිටේ කොයිතරම් සල්ලිය තිබුණත්,ලී කැටයම් කොටන්න ඉහළ කලාත්මක හැකියාවක් තිබුණත් මුතුබණ්ඩා මාමාගේ ඒ කැත පුරුද්ද ඒ හැම දේටම වඩා උඩට මතුවෙලා තිබුණා. ඒ නොහොඹිනා කැත පුරුද්ද තමයි තුන් වේලටම ඉබිමස් කන්න මුතුබණ්ඩා මාමා ඇබ්බැහි වෙලා උන්නු එක .

ඇල ඉවුරෙන්, කැලෙන් ගල් ඉබ්බෝ ඇන්න ඇවිදින් උන්ව මස් කරලා උයාගෙන තලු මරමින් කන ගමන් ඉතිරි වෙන ඉබි කටු වලින් අරුමෝසම් බඩු හදන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ . සල්ලි එකතු කරන කැට, සෙල්ලම් කරත්ත, තෙල් දාල පත්තු කරන පහන් මුතුබණ්ඩා මාමා ඉබි කට්ටෙන් හදන නිර්මාණ වලින් කීපයක් විතරයි.


කට්ටක් ඇතුළේ අට්ටං වෙලා පණ ගැටගහගන්න අහිංසක සතෙක් වෙච්ච ඉබ්බා අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්න වාසනාව තියන සතෙක් . ඒත් මුතුබණ්ඩා මාමගෙ ඇහැ ගැටෙන ඉබ්බට ජීවත් වෙන්න වාසනාව තිබුණේ තත්පර කීපයක් විතරමයි

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එක වංඟියක් මුතුබණ්ඩා මාමට කරුණාවෙන් කතා කරලා ඉබිමස් නොකන්න කියලා අවවාද කළා..! බණ දේශනා කළා . ඒත් ඒ වෙලාවේ විතරක් ඔළුව හොලෝලා හාමුදුවන්ගේ කකුල් දෙක ගාව වැඳ වැටුණ මුතුබණ්ඩා මාමා පන්සල් වත්තෙන් එළියට බැහැපු හැටියේම හමුවෙන ඇල ඉවුරේ හබරල ගස් අස්සේ මඩ කමින් උන්නු ගල් ඉබි තඩියෙක්ව සරමේ දවටගෙන ගෙදර ඇන්න ගියා .

හාමුදුරුවන්ට නම් ඉතින් කන්න කැමති හැම ජාතියක්ම අපි ගෙනද්දෙනවා අපිට කවුරු කන්ට ගෙනද්දෙන්නේ ? අපේ කෑම ඉතින් අපිම හරිගස්සා ගන්ට එපැයි


එදා පන්සල් වත්තෙන් එළියට බැහැපු මුතුබණ්ඩා මාමා ඉබි තඩියාවත් ඇන්න ගෙදර ගියේ හාමුදුවන්ට මග දිගටම බණිමින් සහ ඉබ්බාව සුරතල් කරන අතරෙයි. ආවාසගේ ඇතුළට වෙලා ලොකු හාමුදුරුවොත් බොහෝම දුකින් මුතුබණ්ඩා මාමා ගැන අපිත් එක්ක කියමින් දුක් වුණේ පන්සලේ ප්‍රධානම දායකයා ඉබිමස් කන කෙනෙක් වෙච්ච නිසා හිතේ උපන් අවංක දුක හින්දයි


තමන්ගේ මහන්සියෙන් ඇලවල්, දිය කඳුරු, ගස්, ගල්, අස්සේ බඩ ගාලා ඉබ්බෝ හොයාගන්න මුතුබණ්ඩා මාමා බොහෝම දක්‍ෂයා ! . ඒ විතරක් නෙවෙයි තමන්ට වැඩ වැඩි දවසට ගමේ පොඩි කොල්ලොන්ට සල්ලි දීලා ඉබ්බෙක් දෙන්නෙක් අල්ලා ගන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ .රුපියල් හැටක් හැත්තෑවක් දුන්නාම ගමේ කොල්ලෝ ඕනෙ එකෙක් පවු පින් බලන්නේ නැතුං මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හොයමින් කැලෑ වදින්නේ දෙමවුපියන්ගේ ගුරුවරුන්ගේ ඇනුම් බැණුම් කනකටවත් නොගෙනයි

සල්ලිද වටින්නේ ඉබ්බද ?


ගමේ කොල්ලෝ ඔහොම කියමින් මඩවගුරු වැසිකිළි වළවල් ගානේ ඇවිදිමින් මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හෙවුව කාලයක් තිබුණා . මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක් පාළු ළිඳකට වැටිලා ඉන්දෙද්දී ගමේ උදවිය ඌව බේරාගත්ත හැටි



එක වතාවක් පළාතේ ගොවිජන සේවා එකේ ලොකු මහත්තයා මුතුබණ්ඩා මාමා හමුවෙන්න ඇවිදින් ඉබ්බා වගාවන්ට කොයිතරම් වටිනා කියන සතෙක්ද කියලා මුතුබණ්ඩා මාමට කියාදුන්නා. ඒත් මුතුබණ්ඩා මාමා ඒ මහත්තයාගේ වචන කනකට වත් නොගෙන ගොයිජන සේවා එකේ ගේට්ටු කණුවේ ඉබි කට්ටක් එල්ලලා ආවේ ගොයිජන සේවා එකේ ලොකු මහත්තයා නෙවේ සක්කරයා ඇවිදින් කීවත් තමන් වෙනස් නොවෙන බව කියාපාමිනුයි

ඔය සක්කරයා ඇවිදින් කීවත් මගේ හිත වෙනස් කරන්නේ නෑ මම . මගේ කෑම බීම ගැන තීන්දු ගන්නේ මම ! මගේ හිතත් ඉබි කට්ට වගේ තදයි බොලවු
කවුරු හරි ඉබි මස් නොකන්න කියලා මුතුබණ්ඩා මාමට කීවොතින් උන්දෑ දක්වන ප්‍රතිචාරය ඕකයි .

ඇහුවට කේන්ති ගන්ඩ එපා මාමා ගල් ඉබි මස් හැබෑටම රහයිද
කුතුහලේ වැඩි කමටම මම දවසක උන්දැගෙන් එහෙම අහපුහාම උන්දැ මට මහ පුදුම හිතෙන උත්තරයක් දුන්නා .

කොල්ලෝ ගල් ඉබි මස් කියන්නේ අවුසදයක් අපෙ අත්තල මුත්තල හිටන් ගල් ඉබි මස් කෑවේ සාගින්දරේට නෙවෙයි ඇඟ පත හයිය කොරගන්ඩ !”

ගල් ඉබි මස් කෑවහම ඇඟපත යකඩ වගේ හයිය වෙනවාය කියලා කතාවක් ගමේ උදවිය අතරේ තවම තියනවා. ඒ කථාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මුතුබණ්ඩා මාමා බුරුත නැදුං වගේ හයිය ලී කඳන් පැය ගණං එක දිගට ඉරන්නේ ගල් ඉබිමස් කාලා අරගත්තු හයිය හත්තිය හින්ද දෝ කියලා මට වෙලාවකට හිතුණා


ඉබ්බෙක් අල්ලන්න කුණු ඇළේ බැහැලා දඟලාපු දවසක කකුලේ මලකඩ කාපු බෙලෙක්කයක් ඇනගෙන පිටගැස්මට බේත් විදගන්න ඩිස්පෙන්සරියට ගියපු මුතුබණ්ඩා මාමට ඉන්ජෙක්‍ෂන් විදින්න දොස්තර මහත්තයා දහ දොළොස් පාරක්ම දැඟලුවා කියලා ගමේ කොයි කවුරුත් දන්නවා . ගල් ඉබි මස් කන හන්දා මුතුබණ්ඩා මාමාගේ බාහු හරිම හයියි ඉන්ජෙක්‍ෂන් කටු පවා ඒ බාහුව විදගෙන යන්න බැරුව කලු ගලේ ඇන්නා වාගේ නැවිලා යන විත්තියත් කාටත් රහසක් නෙවේ

ඕක බොරු කතාවක් මුතු බණ්ඩේ තමුන් ලී ඉරන හන්දා තමා තමුන්ගේ අතපය හයිය වෙලා තියෙන්නේ එහෙම නැතුව ඔය ඉබ්බෝ කාලා නෙවෙයි අයිසේ !
ගමේ දාස ලොකු ඉස්කෝලේ මහත්තයා දවසක් එහෙම කීවේ මුතුබණ්ඩා මාමාව අනුගමනය කරමින් ඇඟපත හයිය කරගන්න කියලා ඉස්කෝලේ ළමයිනුත් ඉබ්බෝ අල්ලන් කාවි කියලා හිතේ උපන්න බයට වෙන්නැති .

අනේ යන්ඩ සෑර් යන්ඩ ගුරුවරු කවද්ද කටට රහට කෑමක් කෑවේ ? ඉස්කෝල ගුරාලා පඩිය ඉතිරි කරගන්ඩ ගූ පුච්චං කන්න වුණත් ලැහැත්තිනේ !
කට කැඩිච්චි වචනෙන් මුතුබණ්ඩා මාමා ලොකු සර්ට බැණ වැදුණා . පහුවදා ඉස්කෝලේ ගිය ලොකු සර් ළමයි හැමෝවම ඉස්කෝල වත්තේ තිබුණු මහ විශාල කහට ගහ යටට ගෙන්නලා ඉබ්බන්ට අනතුරක් කරන හැම ළමයෙකුටම දැඩි දඬුවම් දෙන විත්තිය කීවේ වේවැල දකුණු අතින් වනන ගමන් .
ගමේ කොනක වාඩියක හොරට පෙරෙන කසිප්පු වඩියක් සප්පායම් වුණ දාට තුම්මං හන්දියේ තේ කඩේ ගාවට එන මුතුබණ්ඩා මාමා ඉබි මසේ රහ ගුණ ගැන ගමේ උදවිය දැනුවත් කරන්නත් අමතක කළේ නෑ .

ඉරිඟු තලප ගෙඩියක් එක්ක දුවාබාපු ගල් ඉබි මස් නම් පංකාදු පහයි ඕං !


මුතුබණ්ඩා මාම මේ උතුරු වැවුගම් පත්තුවේ මුල් පදිංචි කාරයෙක්. ඒ වගේම හණමිටි අදහස් කරපින්නා ගත්ත මුග්ධයෙක් . ඉබි මස් ඇඟට පතට සවිය ගේනවා කියලා උන්දැ හැම මොහොතකම විශ්වාස කළා. ඒ විතරක් නෙවේ ඉබි මස් කෑමට ගමේ ඉන්න තරුණ කොලු ගැටවුන්ව වත් උසි ගන්වන්න මුතුබණ්ඩා මාම අමතක කළේ නෑ .! 



ඉබ්බා කියන්නේ මෙලෝ වැඩකට ඇති සතෙක් නෙවෙයි ඌව කෑවට පාඩු නෑ . බලහල්ලා කොල්ලනේ අපි මෙච්චර වයසට ගිහිල්ලත් තවම කොන්ද කෙළින් තියාන ඇවිදින්නේ ඔය ඉබි මසේ ගුණ නිසා තමයි” 

වැවුගම් පත්තුවේ එමට තිබුණු වැවු, දිය කඳුරු, ඇල පාරවල් වල නොසෑහෙන්න ඉබ්බො හිටියා.ඉතින් කවුරු මොන දේ කීවත් මුතුබණ්ඩා මාමට හැමදාමත් ඇති පදම් ඉබි මස් ලැබුණා .කොයිතරම් ඉබ්බෝ ලැබුණත් මුතුබණ්ඩා මාමා සෑහීමකට පත් වුණේ නම් නෑ . උන්දැගෙ ගෙදර පිටුපස සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි ටැංකියේ කොයි වෙලේ බැලුවත් බියෙන් හැකිළුණු, සාගින්දරෙන් දැවුණු ඉබ්බෝ හය හතක් උන්ගේ වෙලාව එනතුරු බලන් හිටියා

කැඩුණු ටීපෝ එකට කකුලක් හයිකරගන්න මුතුබණ්ඩා මාමගේ වඩු මඩුවට ගිය දාක මට උන්දෑගේ ඉබි වදකාගාරය සියැසින්ම දැකගන්නත් ලැබුණා . සමහරු කටුව ඇතුළේ හංඟිලා ඉද්දී සමහරු සිමෙන්ති ටැංකියේ බිත්ති දිගේ උඩට නැඟිලා නිදහස හොයාගෙන යන්න නිමක් නැති උත්සාහයක් ගන්නවා .මරණයට කැප වුණ ඒ අහිංසක ඉබ්බෝ කීප දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ මහ අමුතුම දුකක්. ඉතින් මුතුබණ්ඩා මාමට මගේ කටිනුත් පුංචි උපදෙසක් දීලා මේ ඉබ්බෝ නිදහස් කරගන්න මට එදා හිතුණා

මාම මේ . . මේ”
මොකක් පුතේ කීවේ !

අර ඉබ්බො පවු . . . නේ ද මා . . මේ උන් .. . “

කටයි පුකයි වහගෙන මෙන්න මේක ඇන්න පල !”

මුතුබණ්ඩා මාමා ටීපෝ එක මගෙ දිහාවට විහික් කළේ මහ රකුසු මූණක් මවාගෙනයි . ඒ මූණේ ඇඳිලා තිබුණු පෙනුමට මම ටිකක් බය වුණා ඒ හන්දා මමත් හනි හනිකට එතනින් පිට වෙලා ආවේ ගල් ඉබ්බෙකුගේ කට්ට වගේ අතපය හයිය මිනිහෙක් එක්ක මම කොහොමද හැප්පෙන්නේ කියලා මග දිගටම හිතමිනුයි



මුතුබණ්ඩා මාම වෙනදා වගේම ඉබි මස් කමින් ලී බඩු හදමින් තමන්ගේ පාඩුවේ උන්නා . ගමේ අනික් එවුනුත් මුතුබණ්ඩා මාමට බණ දෙසන එක පැත්තක තියලා තමන්ගේ වැඩක් පලක් කරගෙන ඔහේ ජීවත් වුණා . ඉතින් මුතුබණ්ඩා මාමත් කාගෙන්වත් බලපෑමක් නැතුව උන්දැගෙ ගෙදරට වෙලා ඉබ්බො ගිලිමින් සතුටෙන් උන්නා

දවසක්දා මුතුබණ්ඩා මාමාගේ අසල් වැසියා වෙච්ච මුදියන්සේ මාමා දවසක් හති දාගෙන දුවගෙන ඇවිත් ශාන්තගේ බාබර් සාප්පුව ළඟ රට කොට්ටම්බා ගහ ඉස්සරහා ගාල් කරලා තිබුණ ආටා එක ගාව නතර වුණා. ඒ මොහොතේ මම හිටියේ ශාන්තගේ බාබර සාප්පුවේ තිබුණු පත්තරේ කියවමින් .

අනේ කොල්ලෝ හනික ආටා එක ඉස්ටාට් කරගෙන යමු මුතුබණ්ඩේ සැටල් හන්දියේ බෝක්කුව අස්සේ හිර වෙලා !

ඒ කතාව ඇහැහුණ හැටියේම බාබර් සාප්පුව ගාව කාලෙ කන්න ඇවිදින් හිටි කොල්ලො කවුරුත් තමන්ගේ බයිසිකල් වළ නැගිලා ඇඟේ පතේ තිබ්බ හයිය හත්තිය කකුල් වලට දීලා බයිසිකලේ උපරිම වේගෙන් පාගාගෙන සැටල් හන්දිය පැත්තට ගියේ විදුලි වේගෙන් ! . උන් එක්ක එක්කාසු වෙච්ච මමත් විනාඩි කීපයකින් නතර වුණේ සැටල් හන්දියේ තිබුණු බෝක්කුව ගාවයි



සැටල් හන්දියේ බෝක්කුව දිගේ තමා පුංචි ඇළෙන් කුඹුරු යායට වතුර ගලා බහින්නේ . නිතරම වතුර ගලා බහින නිසා ඔය බෝක්කුව කොයි වෙලේත් රොන් මඩින් පිරිලා හිර වෙන වෙලාවල් එමටයි . ඒ වගේ වෙලාවට ගොවියෝ දිග උණ ලීයක් ගෙනත් ඒ බෝක්කුව සුද්ද කරලා ආයෙමත් වතුර ගන්නවා . මිනිහෙකු තියා බල්ලෙකුටවත් රිංඟන්න බැරි ඒ බෝක්කුව අස්සේ මුතුබණ්ඩා මාමා කොහොම ඉන්නවා ඇත්ද ? ඒ ගැන හිතනකොටත් මගේ ඇඟපත හිරි වැටිලා ගියා

මම බෝක්කුව ගාවට කිට්ටු වෙද්දී එතන තිහක හතළිහක විතර සෙනගක් වට වෙලා පස් කපමින් බෝක්කුව කඩා දමමින් එතන යකා නටනවා . ගෑනු වගයක් එතන වට වෙලා ඇඳන් උන්නු සාය හැට්ට වළ හොටු පිහිමින් ලතෝනි දෙනවා ! මමත් හනි හනිකට එතනට කිට්ටු වුණා

මම එතනට කිට්ටු වෙනකොට දැක්ක දසුනෙන් මගේ බඩ පපුව හීතල වෙලා ගියා . ගමේ උන් කුළුගෙඩි පාරවල් දීලා පැත්තක් කඩා දාපු බෝක්කුව අස්සෙන් මුතුබණ්ඩා මාමාගේ කකුල් දෙක මම දැක්කා . දම්පාටින් දිලිහෙන රොන් මඩ අතරේ මුතුබණ්ඩා මාමා තදින් හිරවෙලා . උන්දැ හෙලවුනේවත් නෑ . ගමේ එවුන් හනි හනිකට කකුල් දෙකෙන් ඇදලා මුතුබණ්ඩා මාමව ගොඩට අරං තුන්සක් රියේ පටවාගෙන මහ ඉස්පිරිතාලෙට ගෙනිච්චා

පැයක් යන්න මත්තෙන් මුතුබණ්ඩා මාමා මියැදිලා කියන ආරංචිය අපි කාගෙ කාගෙත් කන් වළ දෝංකාර දුන්නා . ගමේ කවුරුත් කොඩිවැල් අදින්න , හට් ගහන්න එකතු වුණා . කවුරු කවුරුත් මුතුබණ්ඩා මාමා උන්නු කාලේ කළ හොඳ වැඩ ගැන මෙනෙහි කරන්න වුණා . කටින් උන්දැගෙ ගුණ වැයුවත් හිතින් අපි කවුරුත් ඇත්ත දැනං උන්නා . මුතුබණ්ඩා මාම මැරුණේ .ඉබ්බෝ හොයමින් බෝක්කුව ඇතුළේ බඩගාමින් යන අතරතුරේදි ඉස්මොළේ මඩ ගිහිල්ලයි.

ගමේ කාටත් මුතුබණ්ඩා මාමව අහිමි වුණේ ඔන්න ඔහොමයි . ගං හතකට හිටි දක්‍ෂ වඩු බාසුන්නැහේ උන්දැගෙම කරුමෙ පඩිසං දීම හන්දා මියැදුනා . ගමේ වැදගත් මිනිසුන්ගේ අවවාද පිළිගත්තානම් අදත් මුතුබණ්ඩා මාමා මේ ගමේ වඩු බාසුන්නැගේ වෙලා ඉන්නවා . ඒත් කෑදර කමට ගිහින් මුතුබණ්ඩා මාමගේ වළ උන්දැ විසින්ම කපා ගත්තා

මේ ජීවිතේදී කරන පවු මේ ආත්මේදිම පඩිසං දෙන බව ඔය පිංවත්තු කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි . ! අනුන්ගෙන් පින් ගන්ට බලාගෙන මැරෙන්නැතුං යනකොට ගෙනියන්න තමන්ගේ පින් තමන් විසින්ම කර ගන්න ඔහෙලත් හිතට ගන්නවා හොඳයි” 

මුතුබණ්ඩා මාමගේ අවසන් කටයුතු වලට ඇවිදින් උන්නු පන්සලේ ලොකු හාමුදුරුවෝ එහෙම කියලා පැන් වඩන ගතාව කියන්න පටන් ගත්තා . මල ගෙදරට ඇවිදින් උන්නු කවුරුත් පැන් වඩන්න එකතු වෙද්දී මමත් පැන් බාජනේට අත ලං කළේ මොන දේ කළත් මුතුබණ්ඩා මාමා ගමට කල එක හොඳක් හරි මුල් වෙලා උන්දැ හොඳ තැනක උපත ලබන්න කියලා හිතෙන් මතුරන අතරෙයි



සිතුවම- නිරෝශන් කරුණාතිලක ගෙන්
රැජින පතරේට මම ලියූ කතාවක්

96 comments:

සෙන්නා said...

අධික ආසාවම උන්දැගෙ විනාශයට මුල් වුනා.

cjgayan said...

දුක්බර කතාවක්.. ගන්න ආදර්ශයකුත් තියේ..

පුබුදු said...

ඉබිමස් කෑවම ඇඟේ හය්ය හත්තිය වැඩි වෙනවා කියල නම් මාත් අහල තියනවා,
මොනවා කොරන්නද සඳරුවෝ අපි කරන පව් ගොනා පිටිපස යන කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවා කියල බුදුහාමුදුරුවොත් කියල තියෙනවා නේ...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඉබ්බ අන්තිම අහිංසක සතෙක් තමයි. ඒ වගේම ඉතාම දීර්ඝායුෂ විඳින සතෙක්. කොයි සතා මැරුවත් පව්. ඒ කියන්නේ සතෙක්ගේ හරි ජීවත් වීමේ අයිතිට අපි ගරු කරන්න ඕනෙ. වටිනා කථාව. වෙනද වගේම ඔබේ හැකියාව මෙහිදීත් මතු වී පෙනෙනවා. අගෙයි!!!

Anonymous said...

එකනෙ ඇත්ත දෙනගෙන සදරු මල්ලි තාම යන්න හදනවනෙ දඩයමෙ...:(

Raj said...

ම්...ඇත්ත බං උන්දැ කොරපු හොඳ වැඩවලින් උන්දැට නරකක් වෙන එකක් නෑ..හැබැ ඉබිමස් ආසාවකට වෙලක් දෙවෙලක් කැවත් පුරුද්දක් විදිහට හැමදාම කන එකනම් මාත් අනුමත කොරන්නෑ...මොකෑ ඉබිමස් නොකැවත් කුකුල් මසක් හරි අපිත් කනව නේව..මොනව උනත් කිව නාහන ගුරු උඩට ගොයොත් එහේමයි පහල ගියොත් එහේමයි කියන්නැහේ...උන්දැට ලැබෙන්න තිබුන දඬුවම ලැබුන නේව..දැන් ඉතින් එලොවටවත් හොඳක් වෙන්ඩ කියල පිංදෙන එක විතයි අපට ඉතුරු...සඳරුවෝ

අහවලා said...

මචං සඳරු, කොයි සතාත් මරං කන එක පව්... ඉබ්බ තියා අපි කන මාළුත් එච්චර තමයි... තමන්ගෙ අප්පිරියාව නිසා සමහර මස් ජාති නොකන එක වෙනයි... පව් කියල ඉබ්බො නොකා, ගෙදර ගිහින් කුකුල් මස්, මාළු දෙසාබාන උන්ට පව් නැද්ද...
හරියට බැලුවොත්, මාළුව තමයි අමාරුම විදිහට මැරෙන්නෙ... මොකද, ඌ මැරෙන්නෙ හුස්ම ගන්න බැරිව...
ඇත්තම කියනව නම්, අප්පිරියාව නිසා මොනව හරි මසක් නොකා හිටියොත් මිසක්, පව් කියල නම් මං මස් නොකා ඉඳල නැහැ... එහෙම පවට තියෙන බය නිසා මස් නොකා ඉන්න එක උනත්, ඒ පව තමන්ට පඩිසන් දෙනව කියල හිතෙන නිසා නොකා ඉන්නව මිසක්, ඒ සතා විඳින වදය ගැන හිතල මස් නොකා ඉන්න අය බොහොම අඩුයි...

Anonymous said...

පාසලකට නොගියපු උදවියට නම් උපදෙස් දෙනවට වඩා හොඳයි කට බිම උලාගන්න එක.

ජයශ්‍රී said...

---------------ප්‍රචාරක දැන්වීමකි------------------

පහත ඇත්තේ ද ඉබ්බා ගැන සටහන් දෙකකි.වෙලාව තියේ නම් කියවන්න.

http://meeghaya.wordpress.com/2012/02/24/ඉබ්බා/

http://meeghaya.wordpress.com/2012/03/03/ඉබ්බා-2කොටස/

ස්තුතියි!

වැසි දැරිය - The Rain Girl said...

මම වෙජීටේරියන්.ඉතින් මට සාධාරණ දුකක් තියෙනවා මිනිස්සුන්ගෙ දිව පිනවන්න මරණෙට කැප වෙන අහිංසක සත්තු ගැන.කොහොම වෙතත් දිට්ඨධම්මවේදනීය කර්මය ඇස් පනාපිට ඔප්පු කරපු කතාවක්.

එක ද මන්දා..

අරුණ හෙට්ටිආරච්චි said...

ම්හ්හ් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. කෑදර කමට පුරුද්දක් විදියට වැරද්දක් කලාට හිත හොද මුතු බණ්ඩා මාමා කොහේ හරි හොද තැනක ඇති ...

Anonymous said...

මා කියවූ අගනා ලියමනක්.මට මායා රන්ජන් සිහිවේ

උමා said...

වෙනදා වගේම ලස්සන කතාව මලේ. දෙයියෝ සාක්කි! තුන් වේලටම ඉබ්බෙක් මරනවා කිව්වම මොන පවක්ද? ඉබි වදකාගාරය ගැන කිව්වම හරි දුකයි. ඉබ්බා කියන්නෙ කාටවත් කදරයක් නැති අහින්සකම සතෙක්නෙ.
දුකයි නන් තමා, ඒත් මුතු බණ්ඩ මාමාට මේ ආත්මේ පළ දීපු හරිය තමා ඔය.ඒත් එතනින් ඉවර වෙයි කියලා හිතන්න නම් අමාරුයි...:(

Pisakkaatuwa said...

මිනිස්සු ඇති වෙන්න හොඳ දේවල් වගේම, මිනිස්සු නැති වෙන්නත් මොකක්හරි නරකක් පිහිටනවා. අර ඉස්කෝලේ ගුරුවරු පුච්චන් කනවා කිව්ව කෑමනම් ශික් යකෝ. ලියවිල්ල වෙනද වගේම සුපිරි.

Prabath said...

දිට්ඨ ධම්ම වේදනීය කර්ම. පුදුමේ තියෙන්නේ කොච්චර ඉබි මස් කෑවත් එපා වෙන්නේ නැති එක මේ මනුස්සයට

ටින් ටින් said...

හුරේ !! අද ටිකක් කලින් කොමෙන්ටුවක් කෙටුව !!!

සොඳුරු සඳවතී said...

හනේ දෙවියනේ මෙහෙමත් පව්කාර මනුස්සයෙක්. තුන් වේලටම ඉබි මස් ???කොහොම හරි අන්තිමට කලකම් පල දුන්නා.

Unknown said...

එල එල

චතුවී said...

දිට්ඨධම්ම වේධනීය කර්මේ කියන්නේ ඕකට තමා.. කොච්චර හොද කලත් වැඩක් නෑ.. කරන්න පුලුවන් ලොකුම පවෙන් එකක් කරනවනේ... ප්‍රාණගාතය..

සුදීක said...

මේ කතාව කියෙව්වාම මට එක දෙයක් පසක් වුනා. අවුරුදු සීයක් ජීවත් වෙනවා කිව්වාම කෙනෙකුට හිතෙන්න පුළුවං ඉබ්බ හරි වාසනාවන්ත සතෙක් කියලා. මට හිතෙන්නේ ඉබ්බ හරි පව්කාර සතෙක්. ඒ පව් ගෙවන්න තමයි කට්ටකට හිර වෙලා අවුරුදු 100ක්ම ඉන්න වෙන්නේ. මිනිස් ආත්මයක අවුරුදු 100ක් ඉන්න ලැබුනොත් ඒක් පෙර භවයන්ගේ කල කුසල කර්ම නිසාමයි. මොකද මනුෂ්‍ය ආත්මයේදී තමයි කෙනෙකුට වැඩියෙන් පින් කරන්න ලැබෙන්නේ. ඉතින් "හිර" වීම ඉබි කටුවක් තුල වුවත් බෝක්කු පල්ලේ වුවත් හිර වීමමයි. මුතුබංඩාට හිර වෙලා මැරෙන අතරේදී දැනෙන්න ඇති තමන් කරපු පව් කාර වැඩේ තරම. මේ කතාව ඇත්ත එකක් නම් මුළු රටටම ආදර්ශයක්.

ගැමියාගේ පත් ඉරුව said...

කතාව මාර ලස්සනයි සඳරු අයියේ මැදක් වෙද්දි මට හිතුනා ඉබ්බා මැරුනු විදියටම මෙයත් මැරෙයි කියලා.... ඔය ඉබි මස් කේස් එකනම් මාත් අහලා තියෙනවා... අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක් නම් ඉබ්බෙක්ව ලිඳේ දාගෙන ඉන්නවා මොකෝ දන්නෑ හැබැයි....

ලිවිල්ල උපරිමයි අයියේ ආයේ කියන්න දෙයක් නෑ

දිනුක said...

අනේ මන්දා ඉබ්බා ගැන කඳුළු හලන ඈයො හාල් මැස්සා ගැන ඔහොම හිතන්නැති එකනෙ අරුමෙ.ඒකා මැරෙන්නෙ හුස්ම ගන්ඩ බැරුව විඳවලා.ඉබ්බට ඉතිං එක පාරක් දුන්නම ඉවරයිනෙව.අනික ඉබ්බෙක් වේල් දෙක තුනකට ඇති.එක වේලකට හාල් මැස්සොම කීයක්ද?

මේ සඳරුවො සතා ලොකු වෙන්ඩ ලොකු වෙන්ඩ පවු වැඩිද???

පුබුදු said...

දිට්ඨ ධම්ම වේදණීය කර්ම... රජ කම් කලත් කලකම් පලදෙනවා කියනවනේ...

meegodaya said...

අනේ මන්දා මොන එකද කියන්න මට මුතු බණ්ඩා මාමා ගැන තරහක් වත් කලකිරීමක්වත් ඇඉ උනේම නෑ... සඳරු මුලින්ම හොඳ කියපු හින්දා වෙන්න ඇති..

අද ලෝකේ මිනිස්සු කරන අපරාධත් එක්ක බැලුවහම එ මනුස්සයා කරල තියෙන්නේ පුන්චි වැරැද්දක්

Praසන්ன said...

යකෝ තුන් වේලටම ඉබි මස් කන්න තරං බොලැයි පැත්තෙ ඉබ්බො ඉන්නවද?
කොහොම උනත් කරුමෙ පටිසං දෙන එකනං මේ ආත්මෙම වෙනව තමයි.

ලස්සනට ලියල තියෙනව.

වීපොකුරෙ වීයා said...

මේ කතන්දරය කියවාගෙන යනකොට, මීට කාලෙකට කලින් මට අවුරුදු.. 12දී විතර කාලෙදි මම හරිම කෙට්‍ටුයි..හුලඟටත් වීසිවෙන සයිස්.. ඒක නිසා ගමේ ආච්චිලගෙ ගෙදර බාප්ප කෙනෙක් ඉබිමස් කවන්න ෆුල්ට්‍රයි කලා ..මම නෙවෙයි බැලුවෙ . අප්පිරියාවෙ.අන්තිමට හොඳටම ගුටිත් කෑව. ‍තෝ..දර පෙනෙල්ල වගේ හි‍ටු..කීව.
දැන් සෝයි එකට මේ තඩි වෙල ඉන්නෙ...
(හිස් අහස බලන හැමෝටම ආරාධනා කරනව.. අපේ පැත්තටත් ඇවිත් යන්න කියල...)

ගාමිණී විජිත් සමරකෝන් said...

ඉබි කතාව අපූරුවට ලියවිලා තියෙනවා සඳරූ පුතේ. මුතු බණ්ඩා උන්නැහේ ගමට උගන්නලා ගිය පාඩමත් අපූරුයි.

Anonymous said...

පව්..වැඩි තණ්හාවට ගිහින් ජිවිතේ න් වන්දි ගෙව්වේ..

දිනේෂ් තරංග said...

"..උඹත් ඉන්නේ පට්ටම පැත්තක සහෝ.. ඔහෙ නැති එකෙක් නෑනෙ බලං ගියාම .. තව පොඩ්ඩෙන් කනව නේද මාමාගෙං බීපු කිරි මතක් වෙන්න උපදෙස් දෙන්න ගිහිං ... ඉතිං දිට්ට ධම්මවේදනීය දඩුවම කාටත් ලැබෙනවා අඩු නැතිවම ... ඒක නිසා දැං ඉන්න කෙලි පොඩිත්තට අවලං වැඩ එහෙම කොරනව නෙවේ ඔන්න .. ඉතිං සහෝ කතාව පට්ට පට පට හැමදාම වගේ .. දිගටම ලියපං ඔය විදියටම .. අපි හැමදාම ඉන්නව උඹ එක්ක වෙන රටක හිටියත් මම දැං ... බුදු සරණයි උඹලගෙ සෙට් එකටම ..."

~ChAnDiKa~ said...

වගා කොට ගත් දේ නෙලාගත් අපූරුව

Terence Kahapola Arachchi said...

දිට්ඨ ධම්ම වේදනීය කර්ම

``` Outsider``` said...

ඉබ්බො මරන්න තහනම් නේද?

ඉඳුනිල් said...

සුපුරුදු පරිදි සුපිරි ලිවීම. ඔය ඉබි මස් කාපු කෙනෙක් මාත් එක්ක කිව්වනේ ඇඟපත හයි වෙන එක බොරුවක් කියලා, මේ ළඟදී මට පිටගැස්ම එන්නත විදින්න ගිය නර්ස් නංගිලා දෙන්නේකුටම මගේ බාහුව විදගන්න බැරි වුනානේ, ඉබි මස් තියා ඉබ්බෙක් දැකපු කාලයක්වත් මතක නෑ .. :D

YashoK said...

අහිංසක ඉබ්බොත් පවු, වැරදි තේරුම් නොගත්ත මනුස්සයත් පවු...

තරු said...

කොච්චර හොඳ මනුස්සයෙක්ගෙ වුනත් නරක පොඩ්ඩකුත් තියනවා.
හොඳ ගොඩක් තියන, නරක පොඩ්ඩක් තියන කෙනාට වුනත් හොඳයි කියන්නෙ ඒකනෙ ඉතින්.
හැබැයි නියම කතාව.ඉබ්බොන්ට වෙච්ච දේම තමය් දැන් තලගොයන්ටත් වෙලා තියෙන්නෙ.

දම්මි said...

රසවත් ලෙස විස්තර කර ඇති හුඟක් ආදර්ශමත් කතාවක් මල්ලී....ළමයින්ගේ පාඩම් පොතකට දාන්න වටී..

ඉස්සර ලඟ ගෙදරක පොඩි එකෙක් ඉබි මස් කෑවා...ඒවා කාලා ආව දවසට අමුතුම පිළී ගඳක් දසත හමා එනවා....

කතන්දර Kathandara said...

ඉබි වධකාගාරය ගැන සඳහන දැක මං ලඟදී කියවු එලියකන්ද වධකාගාරය ගැන පොත සිහිවුණා!

ලකී සිරි said...

හැමදාමත් වගේම අපූරු කතාව සදරූ...

ප.ලි.
මල්ලි උඹලගෙ පැත්තෙ තවම ඔය වගේ ඉබ්බො ඉන්නවද ..අනේ උන්ට කියපං ටිකක් පරිස්සම් වෙලා ඉන්න කියලා..

අලුත් බුවා said...

ඉබ්බා කට්ට අස්සේ හිර වෙලා ඉන්නවා වගේම පොරත් බෝක්කුවේ හිර වෙලාම මැරිලා.....ඉබි මස් වල සීන් එක නම් මාත් අහලා තියෙනවා. ලිවිල්ල සුපිරිය් සඳරුවා...

A.Wickz said...

මගේ බොක්ක සඳරු......

මචං මේ කතාවට මට ඇඬෙනවා හොඳද...අපේ ගෙදරත් ඉන්නවා සෝයි ඉබි පැටියෙක්.ඌ මගේ පණ.ඒ වගේ අහිංසක සත්තු මොන හිතකින් කනවද බං.උඹලැයි පැත්තේ පොලීසිවල මිනිස්සු ඔව්වට මුකුත් කරන්නේ එහෙම නැද්ද?

උඹටම ආවේණික ශෛලිය රැකගත්තු තවත් අපූරු දුක්බර කතාවක්.ජය!!!

MR. KING said...

හොද වැඩේ ඕකට... කරන පව් වැඩ වලට
(ඒ උනාට පව් අප්පා)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

kasun said...

ඔව්..තමන් කරන දේවල් වල හැටියට තමා ඉතින් විපාකෙත්..
ඔන්න වෙනද වගේම එක හුස්මට කියෙව්ව..!!!

රයිටර් said...

වැසිකිලි වලවල්වලත් ඉබ්බෝ ඉන්නවද සඳරු අයියේ.? තුන්වේලටම ඉබි මස් කන්න සඳරු අයියලාගේ පැත්තේ ඉබ්බෝ වැලි කැට වගේ ඉන්න ඇති නේද ?

පට්ට සුපිරි කතාව. කියල වැඩක් නෑ. තමන් කරපු අකුසල කර්මයක් කවද හරි තමන්ට පලිසන්දෙනවා.

ඉන්ද්‍රජිත් said...

අමුතු කතාවක් බං...

Dinesh said...

ඉබි මස් කෑවම ඇග හයිය වෙනවා කියලනම් මමත් අහලා තියෙනවා.. ඒත් කවදාවත් ඉබි මස් කාලා නෑ..

කොයිතරම් දක්ශයා උනත් තමන්ගේ තිබුන එකම වරද නිසා ඒ වැරැද්ද කරමින්ම අවසන් ගමන් ගියා...

Anonymous said...

machn meka pattare man kiyeuwa poddak mita wada wenas widihata..pattara walin wenas karanawada ban liyala dunnama ?

අසරණයා said...

මස් වැද්දන් ඒ කාලේ ඉඳලම ඔහොමයි වැඩිපුර මැරෙන්නේ තමන් අටවපු උගුලකින් නැත්නම් දඩයමට ගිහිං වෙන කරදරයකදී.

DDT said...

කතාව නම් ඉතින් ඔයාටම ආවේනික ශෛලියෙන්ම අපූරුවට ලියල තියනව. හැම මිනිහෙකුගෙම මොකක් හරි දුර්වලතාවයක් තියනව. කොච්චර ලක්ෂෙට කොඩිය දාගෙන හිටියත් කවද හරි ඒ මිනිහ නැතිවෙන්නෙත් තමන්ගෙ වීක් පොයින්ට් එකනිසාම තමා.

හසී said...

කල කල දේ පල පල දේ කියනවා නේ.....

දූපත් වැසියා said...

ඔහේ ඉබ්බෝ හිටියට මෙහේ උන් නෑ. මෙහෙ ඉන්නේ කැස්බෑවෝ..
හැබැයි පුතෝ කැස්බෑවෙක් තියා, එක බිත්තරයක් තියාගෙන අහු උනොත් බිත්තරේට රුපියල් පන්දාහ ගානේ දඩ.

මුතුබණ්ඩා මාමා ගැන නම් මගේ දුකක් නැත. සමහර විට ඉබ්බෙක්ම වෙලා උපදින්නත් බැරි නෑ.

Nishan de siva said...

ඔච්චර ඉබ්බෝ තොගයක් කාපු මිනිහෙක්ට ඔය වගේ දෙයක් වුනා කිව්වම පුදුම නැහැ මොකද මම ලිව්ව ලිපියක් තියෙනවා අපේ ගමේ එකෙක් එක ඉබ්බෙක් කාලා වෙච්ච දෙයක්

http://sinhalaya-lokayata.blogspot.com/2011/11/blog-post_24.html

Dilshan said...

ඉබි මස් කන එවුන්ට ඉන්ජෙක්ෂන් කටු ගහන්න බෑ කියලා මමත් අහලා තියනෙවා. මම නම් හිතන්නේ ඒක බොරු කතාවක් වෙන්න ඇති. මොකද "වලු, වලු" කියලා අහලා තිබ්බට ඇහින් දැකලා නෑ. මුතු බණ්ඩා මාමාට දිට්ට ධම්මවේදනීය කර්මය පටිසන් දුන්නා මම හිතන්නේ.

කම්බි කූරු said...

එල කතාවක් මචං,,,මේකයි වැඩේ පොඩි ඉබ්බෙක්ගේ කන්න දෙයක් නෑ බං.. තුන්වේලක් කන්න දඩ ඉබ්බෙක් ඕන වෙනවා.බලාගෙන ගියාම පට්ට පව් කාරයෙක් වෙන්න ඕන හැමදාම කන්න.මම නම් කාල නෑ ඕකුන්ව මොකද ඉබ්බත් මලජරාව කන සතෙක්..

සයුරි said...

හ්ම්ම් දිට්ට ධම්ම වේදනීය කර්ම

පූසා said...

මෙතන ඉතිං පව් පිං ගැන කතාකරන්න ගියොත් මට හැමෝගෙන්ම බැණුං අහන්න වෙනවා. සරලවම කියනවනං මටත් පව් පිං ගැනනං අගන්න තියෙන්නේ දිනුක ඇහැව්ව ප්‍රශ්නෙම තමයි.
හරි එව්වා පැත්තකිං තියමුකෝ. හැමදාම උඹේ ලියවිල්ල පට්ටයි කියන්න තමයි තියෙන්නේ. ආ.... තව වැදගත්ම දෙයක් පොඩ්ඩෙං අමතක වෙනවා! මං තාම ඉබි මස් කාලා නෑනේ බං! :D

හිස් අහස said...

@Senna = ඒක නේන්නම් සතුන්ට දැනුන මරන බය උන්දැටත් දැනුනා
.............................................................................................................................
@cjgayan = ස්තුතියි ම්ත්‍රයා
.............................................................................................................................
@පුබුදු = ඉබිමස් කෑවම ඇඟ හයිය වෙන කතාව ඇත්තක් ඒක මමත් හරියටම දැනගත්තේ අද
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = ස්තුතියි වෙද මාමේ ඔබගේ දිරි ගැන්වීම හන්දා ලියැවුණ කතාවක් තමා මේක .
.............................................................................................................................
@Anonymous = සොරි බොස් කොලු කමට ආතල් ගන්ඩ ආයේ ඒ වගේ දඩ කෙලියේ නම් යන්ඩ හිතන්නේ නෑ
.............................................................................................................................
@Raj = මොන මස් ජාතිය කෑවත් පවු තමා . ගමේ උන් කීව දේ ඇහුවා නම් අදත් උන්දැ යසට ඉන්නවා
.............................................................................................................................
@අහවලා = වැදගත් කමෙන්ට් එකක් මචං කොයි මස කෑවත් පවු . මාලුවා විඳින දුක ගැන මාළු කනකොට නම් මම යන්තම්වත් හිතුවේ නෑ බං .
.............................................................................................................................
@කෞශි = සහතික ඇත්ත යාළු .. උන් දන්නවා වැඩියි
.............................................................................................................................
@ජයශ්‍රී =ස්තුතුයි මම අනිවා කියවන්නම් මිත්‍රයා
.............................................................................................................................
@වර්ෂා = එක නොවුණත් ඔයාගේ කමෙන්ට් එක වටිනවා අපිට කොච්චර ට්‍රයි කලත් වෙජි වෙන්න අමාරුයි අනේ
.............................................................................................................................
@රෙප් මහත්තයා = මමත් එහෙම හිතනවා රෙප් මහත්තයෝ
.............................................................................................................................
@Anonymous = ස්තුතියි ම්ත්‍රයා මාව දිරිමත් කලාට
.............................................................................................................................
@උමා = එලු දෙනක් මරාපු ගෑණු කෙනාට එලුවාගේ බූලක් බූලක් ගානේ දුක් විඳින්න සිද්ද වුණාය කියනවා නේ
.............................................................................................................................
@Pisakkaatuwa මොනාද බං පුච්චං කනවා කීවේ ගූ නේ ? ස්තුතියි මචා ‍
.............................................................................................................................
@Prabath = ඒකනේන්නං බං ගහක් කොලක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ ?
.............................................................................................................................
@ටින් ටින් = ඒක නේනං ස්තුතියි මචෝ
.............................................................................................................................
@කාව්‍යා = අපිට වුණත් ඔයි ටික දවසක වෙනවා යාලු
.............................................................................................................................
@IP MAN = අලුත් පොරක් වගේ ! ස්තුතියි මාස්ටර්
.............................................................................................................................
@චතුවී = අර එලු දෙනගේ හිස කැපුව ගෑනු කෙනාට වෙච්ච දේම මෙයාටත් වේවිද

හිස් අහස said...

@අමුතු ඉලංදාරියා = මේ කතාව ඇත්ත බොලේ නම් ගම් බොරු වුණාට කතාව නම් සහතිකම ඇත්ත ඒක හන්දා මම අතින් පයින් මොනවත් දැම්මෙත් නෑ
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = ඉබ්බව ලිඳේ දාගෙන ඉන්නේ ආතල් එකට වෙන්නැති බං ඒක නෙවෙයි මෑන් ඒකෙන් වතුර බොනවද ?
.............................................................................................................................
@දිනුක = හත්තිලවුවේ මගෙ ඔලුව අතගාලා ටොක්කක් ඇනලා මට ගොඩක් දේ කියාදුන්නු උඹට පිං මචං
.............................................................................................................................
@පුබුදු = කර්මය පස්සෙන් එනවා කියන්නේ සසර පුරාවටම ඒකෙන් හැංඟිලා ඉන්නත් බෑ කියන්නේ
.............................................................................................................................
@Mee Godayaa = ඒ මිනිහාගේ පැත්තෙන් බැලුවෝතින් මිනිහා කරලා තියෙන්නේ වරදක් නෙවේ ඔයිට වැඩිය පවු කරන අය කොයිතරම් ඉන්නවාද
.............................................................................................................................
@Praසන්ன = මේක වැවුගම්පත්තුව අයියේ . එලියේ කක්කා දාලා පැයකින් බැලින්නං ඉබ්බෙක් ඒකට වැඩේ දෙනවා සුවර්
.............................................................................................................................
@වීපොකුර = පිළිගන්නවා සාදරෙන් ඔයාවත් ඔන්න අපිත් ඒ පැත්තේ ගිහින් ආවා . දැන් ඉතින් මහතයි කීව නේද සතුටුයි සතුටුයි
.............................................................................................................................
@Gaminie Vijith Samarakoon = ඔයාගෙන් කමෙන්ටුවක් එනකම් තමා මම බලාන උන්නේ
.............................................................................................................................
@නිම්ශා = දුක තමයි නඟේ පෙරේත කම නිසයි මේ සේරම
.............................................................................................................................
@දිනේශ් තරංග = ඉන්න පැත්ත ගැන නම් කතා කරලා වැඩක් නෑ බං කාලෙකට ඉහතදී නම් මම හිතාන උන්නේ මම ඉන්නේ හිර ගෙයක කියලයි ඒත් මම දැන් දන්නවා මේ පලාතේ මම උපන්න එකේ වාසිය
.............................................................................................................................
@.ChAnDiKa. = හැබෑමයි සහෝ
.............................................................................................................................
@Terence Arachchi = ආයෙත් අහලා පවට දඬුවම
.............................................................................................................................
@Outsider = සපුරා තහනම් මචං කෙලින්ම උසාවි දාලා හෙන සයිස් දඩයක් ගහනවා පොලීසියට එහෙම මාට්ටු වුනොතින් නම්
.............................................................................................................................
@ඉඳුනිල් = ඒ කියන්නේ අපේ ඉඳුනිල් මිත්‍රයාගේ බාහු හයියයි මගෙත් එක්ක ගැටුමකට සෙට් වෙමුද ? :)
.............................................................................................................................
@Frozen Heart = සහතික ඇත්ත ස්තුතියි කියෙවුවට
.............................................................................................................................
@Tharu = ඒකනම් ඇත්ත දැන් තලගොයා නැඟලම යනවා
.............................................................................................................................
@දම්මි = ඒක නම් ඇත්ත ඉබ්බගේ මහ අමුතු ගඳක් එනවා ඉබිමස් උයාපු ඇතිලි පවා දවස් ගානක් ගඳ ගහනවා
.............................................................................................................................
@කතන්දර = එලිය කන්ද වදකාගාරය ගැන මම කවදාවත් අහලා නෑ ඒ පොත අරන් කියවන්නඕනෙ මම අහලා තියෙන්නේ බට ලන්ද ගැන විතරයි
.............................................................................................................................
@සිරි = ස්තුතියි ලකි අයියා දැක්ක කල් මාර හැපී . අපෝ ඔය ඕන තරම් ඉන්නේ මගෙ ඇඳ යටත් බුවෙක් උන්නා මේ ඊයේ පෙරේදා

හිස් අහස said...

අලුත් බුවා= කට්ට ඇතුලේ හිර වුණඉබ්බන්ට වෙච්ච දේම මුතුබණ්ඩා මමටත් වෙච්ච හැටි නම් අදහගන්නත් අමාරුයි
.............................................................................................................................
@A.Wickz = බොක්ක ! මේක දැනට අවුරුදු හයකටත් එහා වෙච්ච කතාවක්. පොලීසියෙන් දන්නවා නම් මුතුබන්ඩා මාමව උස්සං යනවා ඒත් පොර හෙමීට ගේම දීගෙන ගියා ස්තුතියි මචෝ
.............................................................................................................................
@අඩවි රජ = ස්තුතියි මචං කිං සුබ වේවා මහජන සම්පත ඇදේවා
.............................................................................................................................
@චතූ=ස්තුතියි මචා
.............................................................................................................................
@පැතුම් (සිතුම් පැතුම්) = අප්පා ඉබ්බාගේ ජාතික ආහාරය තමා ගූ ඒවා කන්න ඉබ්බා මාර ආසයි
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ස්තුතියි ඉන්ද්‍රෙ
.............................................................................................................................
@Dinesh = අපෙ පැත්තේ ආවොත් ඉබිමස් රසැති සෝයා එකක් දෙන්නම්
.............................................................................................................................
@Anonymous = නෑ මචං මම ලියාදුන්නේ පත්තරේ පිටු බාගෙකට ගැලපෙන්න මේ කතාව පොඩ්ඩක් සාරාංශ ගත කරලයි ඊට පස්සේ මම සම්පූර්ණ කතාව මෙතන ලියනවා . ඒකයි වෙන්නේ
.............................................................................................................................
@අසරණයා = ඒක නම් ඇත්ත එහෙම මැරිච්චි උන් ගැන මට මතකෙන් කිව හැකි
.............................................................................................................................
@DDT = ස්තුතියි මචං කතාව කියෝලා වර්ණනා කරලා ගියාට
.............................................................................................................................
@හසී = ඉබ්බි !
.............................................................................................................................
@දූපත් වැසියා = මම කැස්බෑවෙක් හැබැහින් තාම දැකලා නෑ මචං ඌ හෙන සයිස්ලු නේ
.............................................................................................................................
@මඩිස්සලේ නිශාන් = මම ඔයි පැත්තට එන්නම් ඔයි ලිපිය කියෝලා යන්න ස්තුතියි බෙදා හදා ගත්තාට
.............................................................................................................................
@Dilshan = ඔය කටුගහන්න බෑ කියන කතාව නම් මචං ඇත්ත මම ඒක දැනගත්ත කතාව වෙන දවසක ලියාදාන්නම්
.............................................................................................................................
@කම්බි කූරු = ඉබ්බෙක්ගේ කන්න දෙයක් නෑ ඒක වැරදියි බොස් හොඳ ඉබ්බෙක් ඇල්ලුවාම එකෙක්ට තනියම කන්න බැරි තරම් එතන මස් තියනවා තුන් වේලටම නම් ඒ මස් මදි තමා . ඒත් ලාවට කන එකෙක්ට ඇති ඒකනේ මේ බුවා ඉබ්බො ගෙනල්ලා තියාගෙන කෑවේ
.............................................................................................................................
@සයුරි = අනේද කියන්නේ
.............................................................................................................................
@පූසා = මචං උඹට මම ඉබි මස් ටිකක් ගේන්නම් ඊගාව වතාවේ කොළඹ ආවාම . උඹට ඕන කොයි ජාතියෙන්ද තාරකා , ගල් , ලාටු , මල් ඔයි කොයි ඉබ්බත් කක්කුස්සි වලකින් මට අල්ලගත හැකියි බං :)

ගම හාමිනේ said...

සමහර මිනීස්සු වෑරදි කරන්නේ දෑනගෙනමයී....එහෙම අයට හොද පාඩම.

Gimhani said...

ඉබි මස් කන්න මෙතරම් ආසාවක් තිබුන කෙනෙක් ගැන ඇහුවමයි .
හොද ආදර්ශමත් කතාවක් අප කාටත් .

පැන්ඩා said...

ඔන්න ඕකනෙ මම පොඩි කාලෙ ඉඳන්ම මාස් මාලු කෑම අත ඇරියේ..ආයෙ ඉබ්බ වුනාත් මොකො කුකුලා වුනත් මොකො...

ක්සැන්ඩරයා said...

සහ මම එන්න පරක්කුයි නොව.. එත් ඉතින් මට මතක් වෙන්නේ අර කවියක්
පෙර අඟනක් එළුවෙක්ගේ හිස සිඳා
ඉස ලොම් ගණනේ ඇය හිස් කැපුම් ලදා

වගේ කියවෙන එක..

(එකෙත් එක ප්‍රශ්නයක්.. දැන් ඒ ගෑනු කෙනාගේ හිස කපන එකාටත් පවු නේ? එතකොට ඌටත් එහෙම්ම වෙයි නේ.. එහෙම උනොත් පවු චේන් එකක් වෙනවනේ)

වර්ණ said...

ඉබි මස් වලට ඇඟ හයිය වෙනවා කියන කථාව වැව් ගම් පත්තුවෙ විතරක් නෙවෙයි.හුඟක් පලාත් වල ප්‍රසිද්ධ කථාවක්.ඒත් ඉතින් ඒකට තව ඕන තරම් කෑම තියෙද්දි අහිංසක ඉබ්බො මරන්නෙ මොකටද?

ලහිරු said...

ලොකු හාමුදුරුවෝ අවසානයට කිව්ව කතාව හැමෝටම පාඩමක්!

Weni said...

ඉබි මස් කෑවහම ඇඟ ඉන්ජෙක්සන් කටු ගහන්නවත් බැරිතරම් හයි වෙනවා කියන කතාව මිථ්‍යාවක් විය යුතුයි, ඒත් ගොඩක් අය ඇත්ත කියලා පිලි ගන්න..ඒක හිත යටටම කා වැදිලා වෙන්න ඇති එහෙම වෙන්න ඇත්තෙ..ඔය සිද්ධිය දැකලා අහලා ඉබි මස් කන අය ඒක නැවත්තුව නම් තමයි ඒ මුතු බණ්ඩගෙ ජීවිතේ කතාවෙන් වැඩක් වෙන්නෙ..ඉබ්බො කන්නෙ මිනිස්සුන්ගෙ මළ ආදී අපද්‍රව්‍ය නේද වැඩියෙන්ම..ඒ කතාව හරියට කන අයගෙ ඔළුවට එබුව නම්..මිනිස්සුන් තමන්ගෙ ගූ තරම් අප්පිරියා වෙන දෙයක් ඇත්තේම නැති නිසා..සමහර විට එහෙම ඉබි මස් කන අය වෙනස් කරන්න පුළුවන් වෙයි මයෙ හිතේ..

මාධව විදුරංග said...

සදරුවට කියන්න අපේ ගමෙත් ඉන්නවා පොරක් ඉබ්බො මරන එකෙක්! ඌ තාම දන්නේ නෑ අපේ ගේ ඉස්සරහ ඇල ගාව ඉන්න ඉබ්බෝ කන්දරාව ගැන! අපි ඉබ්බෙක් දැක්ක ගමන්ම කරන්නෙ ඔය ඇල ගාවට ගිහින් දානවා! ඉතිං උං ආරක්ෂිතයි! වෙනදා වගේම ආසාවෙන් කියෙව්වේ බං! නියම කතාව!

Anonymous said...

ඔය වගේ පුරුදු අත්හැරවන්න මාර අමාරුයි බං...

Sindu said...

සඳරු මල්ලිගෙ ලිවීම එන්න එන්නම පරිණත වෙනවා. මුල් කාලෙ ලිවුව ඒවා විශිෂ්ටයි. දැන් ලියවෙන ඒවා අති විශිෂ්ටයි.

Bindi said...

අපේ පැත්තේ හිටියා දඩ බල්ලන් අරන් හාවෝ තලගොයි දඩයමේ ගිය අය්ය මලෝ දෙන්නෙක් . අන්තිමට බඩේ පිළිකා හැදිලා දෙන්නම මලේ . කර්මය පැත්තකින් තිබ්බත් ඕනවට වඩා මස් කෑම කොහොමත් නරකයි . බඩවැල් වල පිළිකාඇති වෙන්න ලොකු හේතුවක් ඒක. මිනිහෙක් ප්‍රෝටීන් අවශ්‍යතාවයට මස් කෑල්ලක් කන එකයි පෙරේත කමට තුන් වේලම මස් කන එකෙයි ලෝකේ වෙනසක් තියෙනව . මෙහෙ උනුත් ඉබිමස් කනවා . බා බා කියල කියන්නේ .

jhothishalanka said...

කලෙකින් මේ පැත්තේ ආවේ.පහුගිය දවස් ටිකේම හදහන් වැඩ හිරවෙලා ඔලුව අවුල් වෙලා හරි මානසික පීඩාවකින් හිටියේ අම්මප මල්ලියේ මේකේ මුල් හරිය කියෙව්වේ තනියෙන් හිනාවේවි.සේරම අමතකයි..ලිවිල්ල ටිකක් වෙනස් වෙලා.ඒකෙත් පොඩි අමුතු ගතියක් තියෙනවා.
ඉබි මස් කාපු මුතු බණ්ඩා මාමට මේ ආත්මෙදිම කරපු පව් පල දීල වගේ.

Anonymous said...

Ela ah..man mita kalin meka pathare kiyewwa.

Anonymous said...

"DIGAMADULAY sita Blog liyana MAYARANJAN lage parpuray SADARU" ........(Lakbima)
ubage liwimay hakiyawa mawa Blog walta hirakrala.
wendawagema..Supiri..Jayawewa..
Sajith

Anonymous said...

sandaru,
hamadamath oyage lipi kiyewwata kalekin ada comment karanne.
lankadeepa paththare prof.Ganganath ge "pani walalu" kyl article ekak yanawa kiyawanawada oya?miniha hari ugathek.eth oyage blog post ekakata kittu karanna eyata thawath dura yanna thiyanawa kiyalai mage pudgalika adahasa.
ithin mama e gana liwe minihage theeru lipi tika dala pothak gahala.potha ru 450.00 lu.
eth eken propa ge gana ru 45.00 da koheda kiwa.
ithin kathawe saranshaya mekai.api hamoma kiyanawa oyata "sandaru,liwilla nam supiriy..gahamuko pothak" kiyala.
mamath me tharam kal hithan unne pothak liwoth
sandaruta amathara keeyak hari hoya gaththaki kiyala.
eth kollo Ganganathge pani walalu kiyewwata passe monawa kiyannada kiyala hitha ganna ba

Harshana said...

කල කම් පලදේ කියන්නේ ඕකටනෙ ......

සෝරෝ said...

අපි හැමෝටම එක එක ජාති වල හොඳ හෝ නරක පුරුදු තියෙනවා බං.. කවුරු කිවුවත් අපිට ඒවා අතාරින්න බෑ...

ලොකු පුතා said...

මේ ලෝකේ ඉන්න හැම මිනිහටම අන්තිමට ගෙනියන්න ඉතුරු වෙන්නේ තමන් කරපු හොඳ නරක දේවල් තමා...
මුතුබණ්ඩා මාමාගේ කතාව ඒකට හොඳ ආදර්ශයක්...

Akash Tharinda said...

මුතු බණ්ඩ මාමට මාර පෙරේතකමක්නෙ තිබිලතියෙන්නෙ.මම කලින් ගියපු ඉස්කොලෙත් ඉන්නව ඉබිමස් කනව කියපු කොල්ලෙක්.උගෙ ඈගේ හය්ය නම් කියල වෑඩක් නෑහෑ.පුදුම හය්යක් තියෙන්නෙ.ඉස්කොලෙ පටන් ගත්තම කතා කරමුකො.ඔබට ජය!

Anonymous said...

සඳරුගේ ලිපි දැන් හරිම ඒකාකාරියි.. ගමේ සුන්දරත්වය එක්ක කතන්දර ලියන්න ආයාසයකින් උත්සහ කරනවා කියල දැන් දැන් ලියන ලිපි වලින් පැහැදිලිවම පේනවා.. බාල රසවින්දනයක් තියෙන අයගේ චියර් වලට නිර්මාණ කරන්න ගිහිල්ල සඳරු තමන්ගේ නියම හැකියාවන් විනාශ කරගන්නවා කියලා තමයි කියන්න පුළුවන්..

මොතා

WAGOLLA said...

hoda katawak sadaru....

said...

මට හිතා ගන්න බැරි ඉබ්බෝ මරනෙන කොහොමද කියලා

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

පව් නේද මුතුබණ්ඩා මාමා.. ඇත්තටම ඉබ්බේක් කියන්නේ කොකච්චර අහිංසක සතෙක් ද..?

කථාවනම් වෙනදා වගේම උපරිමයි සදරු අයියේ...

ජය ශ්‍රී...!!

සොමිකොල්ලා said...

දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමයි... ඔය මනුස්සයාගේ පෙරේතකම නිසා අහිංසක සත්තු කී දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවන්ඩ ඇතිද?

ටීම් ට්‍රැවලර්ස් said...

Very Good Post Machan.
Nawoda

Unknown said...

කර්මය පල දීලා තියෙන්නෙ ලෙසටම්...

රවින් said...

ගොඩ දවසකට පස්සේ ආවේ බං.. කතාව සුපිරි. ඒවගේමයි චිත්‍රෙත් ගොඩක් ලස්සනයි.

Dude said...

මටත් අදහාගන්න බැරි ඔයතරම් ඉබ්බො හිටියද කියන එකයි. කොයි හැටි වෙතත් හොඳ ලියවිල්ලක්!
හාමුදුරුවන්ගෙ කියමන නම් කාටත් ගැලපෙනවා.
henryblogwalker the Dude

සංකල්ප said...

අඩේ මලයා දැන් පත්තරේටත් කතා ලියනවද ? සතුටුයි බොලවු !!!

අර කිව්වත් වගේ උන්දෑ හාමුදුරුවන්ගෙන් බණ අහලා හැදුනා නම් ඔය කිව්වා වගේ අකල් මරණකයට ගොදුරු වෙන්නේ නෑ නේ. මොනා කරන්නද කරුමේ පඩිසන් දීලා !!!

කැකිරිහේනේ බඩු ලාල් said...

සදරැ මචං වෙත

මම මේ ලගකදි ඉදලා තමා උඹේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ කථාව කියන්න ගත්තම මෙච්චර ලස්සනට භාෂාව ගලපගෙන කියවන අපේ ඇස් බ්ලොග් එකේම නවත්වාගන්න පුදුමාකාර හැකියාවක් තියෙන්නෙ... එය කලාතුරකින් කෙනෙකුට පිහිටන එකක් නිසා මම බොක්කෙන්ම ඔන්න ඒකට සුභ පතනවා... හිස් අහස හින්දා ඔන්න මටත් දැන් කාලෙකට ඉස්සර සුව උනු නමුත් නිට්ටාවට සුව නොවුනු බ්ලොග් අමාරැව ආයෙත් අලුත්වෙලා ඇවිල්ලා ... ඉන්නම බෑ කකියනවා, නලියනවා, නරක හීන පේනවා.

තව මාස 2 කින් විතර වැඩේ පටන් ගන්නයි කල්පනාව, ඔන්න අපේ පැත්තෙත් ඇවිල්ලා හොද නරක විචාරය කරලා යන්න ඕනෙ..... හොදද ?
ඔබට ජය!

චමී4යූ~chami4u said...

ආදර්ශමත් කතාවක් ]
ජය

Unknown said...

සදරු සහෝ... උඹට ජය....!!

සිරාගෙ කාමරේ said...

සදරැ මචං... ලගදි ඉදන් තමා මේ බ්ලොග් එක දැක්කෙ.. ආයෙ කියන්න දෙයක් නෑ පට්ටෙට තියෙනවා... නිවාඩු පාඩුවෙ මගෙ කාමරේ පැත්තෙත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න එන්න.

Anonymous said...

//මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක් පාළු ළිඳකට වැටිලා ඉන්දෙද්දී ගමේ උදවිය ඌව බේරාගත්ත හැටි . //උඹලගේ පැත්තේ ඉබ්බන්ට දුවන්නත් පුවන්ද බන් ? එක්කෝ ඇත හිටපු ඉබ්බෙක්ව දැකල උව ඉක්මනට අල්ලගන්න හිතල දිව්ව එකෙක් ද මේ කියල කොල්ල?

දුකා said...

කතාව නම් සිරාවට මැවිලා පෙන විදිහට ලියලා තියෙනවා . .

ඉබ්බෝ ගැන මහා ලොකු දුකක් නොහිතෙන්නත් මුතු බන්ඩා ගැන ලොකු තරහක් ඇති නොවෙන්නත් පුලුවන් තරම් චරිත වලට සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා . ..

මේ ඒක නෙමේ වෙනස් විදිහක කතා මොනව හරි ලිව්ව නම් මොකෝ වෙනසකටත් එක්ක . .

mandarama said...

සදරු අයියෙ අලුතෙන් post දාන්නෙ නැද්ද

පිස්සා පලාමල්ල said...

උබේ ලියවිල්ල පට්ට බන්...

Anonymous said...

අඩෝ උඹත් කනව නේද ඉබ්බො මරං? මතක තියා ගනිං උඹටත් ඔය ටික තමා

Post a Comment

තැන්කූ බං