12.10.11

ගුස්ති ඇල්ලීම සහ රෙදි ගලවං පාරේ යාම




උතුරු වැවුගම්පත්තුව ..!

ඒ තමයි මම ජීවත් වෙන ඉසවුව. ඔය ඉසවුවේ ජීවත් වෙච්ච මිනිස්සු හැමදාමත් තනි වචනයක් තියාන උන්නු මිනිස්සු..! ගලේ ගහලා ඇහුවත් කටේ තිබුණෙම එක වචනයයි !. මේ ඉසවුවේ මිනිස්සු කවදාවත් කරන්න බැරි දෙයක් පොරොන්දු වුණේ නැ ! ඒ වගේමයි දුන්නු වචනයක් කිසිමදාක වෙනස් කළෙත් නෑ !

අපේ ගං තුලානේ හිටි තනි වචනේ මිනිස්සු අතරේ නිතරම දකින්න ලැබුණු ලක්‍ෂණයක් තමයි දිවුරිල්ල !

"
අම්මපල්ල" , "තාත්තා පල්ල" , "මැරිච්චි කිරි අත්තා පල්ල !”"මයෙ දරු දෙන්නා පල්ල" "සීවරං දෙයි හාන්දුරුවන් පල්ල"

ඔය වගේ නේකවිද දිවුරීම් අතරේ තවත් එක් කියමනක් මගේ ගමේ මිනිස්සුන්ගේ මුවග නිතරම රැඳිලා තිබුණා .තවකෙකුට අභියෝග කරන්න යොදාගත්තු ඒ කියමන මීට පෙර කීප දෙනෙක්ම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වලා ඇති බවත් මට මතකයි . ඒ තමයි "රෙදි ගලවං පාරේ යාම"”

"
හරි උඹ ඒ එහෙම කළොත් මම රෙදි ගලවං පාරේ යනවා ! මයෙ අම්ම පා ! සත්තම් පා ,දෙයියං පා ! “

ඔන්න ඔය වගේ නානාප්‍රකාර වදන් යොදමින් අපේ ගමේ මිනිස්සු දිවුරන , පොරොන්දු දෙන හැටි නම් අහං ඉන්න ආසයි . එක එක ගම්මාන වලට ආවේණික ගති පැවතුම් අතරේ මගේ ගමේ මිනිසුන්ගේ කැපිලා පේන එක සුන්දරම සුන්දර ගතියක් තමයි දිවුරන එක .යන්තම් බහ තෝරන්න පටන්ගත්තු කිරිසප්පයෝ පවා හුරතල් විදිහට දිවුරන හැටි බලන්න නම් අපේ ගමට එන්න වෙනවා .

කොයි තරම් දිවුරුවත් ඒ දිවුරිල්ල කඩ කරන්න තරම් අමන මිනිස්සු නම් මගේ ගමේ හිටියේ එකෙක් දෙන්නෙක් විතරයි .ගමේ කෙනෙක් දිවුරලා කියන දෙයක් අනික් පුද්ගලයා ඉහටත් උඩින් විශ්වාස කළා.


ඒ මොකද කීවොතින් දිවුරීමක් කඩ කෙරුවොත් ඒ බොරුවට දිවුරුව පුද්ගලයට සහගහනවා කියලා අපේ ගං තුලානේ හැමෝම ඉහටත් උඩින් විශ්වාස කෙරුවා .ඉතින් ඒ නිසා වැඩි දෙනෙක් බොරුවට දිවුරන්න උත්සහ කරලා නෑ ! .

ගමේ උදවිය කතා වෙන විදිහට පරම්පරා හතරකට උඩදී ගමේ හිටපු මැම්බර් මහත්තයා මියැදුණේ බොරුවට දිවුරීමේ ප්‍රතිඵලයක් විදිහටලු .එදා ඇස් පනාපිටම බොරුවට දිවුරීමේ ආනිසංස දැකපු ගමේ ඇත්තෝ ඉන් පස්සේ දිවුරීමක් කළේ සියක් වාරයක් හිතලා මතලා විතරමයිලු. ඉතින් මේ ලියවෙන්නේ දිවුරීමක් ඉටුකිරීම නිසා වෙච්ච පුංචි කතාවක් .

රංගන තමයි අපේ ගමේ හිටපු චණ්ඩියා !

මගේ සම වයසේ එකෙක් වෙච්චි රංගන ගම හොල්ලගෙන හිටි එවුන්ගෙන් හොඳම එකා .ඌ කිසිම දවසක දීපු වචනයක් වෙනස් කළේ නෑ . ! ගහනවා කීවොත් ගැහුවා , බනිනවා කීවොත් බැන්නා ! ඉස්කෝලෙදිත්, ගමේදිත්, ටවුමෙදිත් "රංගන" කියන නමට හැමෝම බයයි !

දවස ගානේ මඩ කඩිති වල ලගින ගල් ඉබ්බෝ අල්ලගෙන ගිහිල්ලා උයලා කන එක රංගන ගේ දින චරියාවේ එක් අංගයක් . ඉබි මස් නිතර දෙසාබාන රංගනයගේ ඇඟපත නිකං සිමෙන්තියෙන් හදලා වගේ සවිමත් .ඇඟපතේ හයිය හත්තියෙන් වගේම පිරිස් බලයෙනුත් රංගන ඉදිරියෙන් හිටියා .! ඒක නිසා ගමේ කාක්කෙක්වත් රංගනගේ ඔළුවට උඩින් පියාඹන්න ගියේ නැහැ ! ඔන්න ඔය වගේ බලයෙන් සහ සවියෙන් අග තැන් වූ රංගනත් එක්ක මගේ කෝන්තරයක් ඇදුණේ නම් හරි පුදුම විදිහට .

ඉඳලා හිටලා වලියක දෙකකට සම්මාදම් වුණාට මම ගමේ කැපිලා පේන චණ්ඩියෙක් නම් නෙවෙයි ! ඒත් තහරා ගියාම තැන නොතැන බලලා වචන පිට කරන නිසා මම බොහෝ දුරට ගමේ ප්‍රචලිතව හිටියේ කටින් චණ්ඩියෙක් විදිහටලු .

කාලෙකට ඉහතදී රංගනලෑ ගෙදෙට්ට ඩීවීඩී යන්තරයක් ගෙනාවා . හෙන දොඹ සයිස් සෙටප් එකක් සහ පත ටීවී රාජයෙකුත් එක්ක . ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ මගේ ළඟ, මගේ වටේ හිටි යාළු මිතුරු සේනාව මගෙන් ඉවත් වෙලා ටිකෙන් ටික ඒ රංගනගේ ඩීවීඩී පහස හොයාන ගියා .

වෙනදා හැන්දෑ වරුවේ අපේ ගෙදෙට්ට රිංගලා පරිගණක ක්‍රීඩා කරපු කොල්ලෝ , ෆිල්ම් බලාපු කොල්ලෝ,පරිගණක පාඩම් අහගත්තු කොල්ලෝ ඔය හැමෝම වාගේ රංගනලෑ ගෙදරට පොදි ගැහුණේ මගේ පිරිස් බලය බින්දුවටම බස්සවමිනුයි

 වටේ හිටපු පිරිවර නැතිව ගිහිං කිරුළ අහිමි වූ රජෙකුට දැනෙන දුක්ඛ දෝමනස්ස හැඟීම් මාලාවම මටත් ඒ දවසේ නම් අඩු නැතිව දැනුණා . ඒ හින්දා දවසක්දා මධුවිතෙන් මත් වෙලා උතුරු දකුන මාරු වෙච්ච මොහොතක මම උගේ ගේ ඉස්සරහට ගිහින්

"ඇඩෝව් උඹගේ මහ ලොකු ප්ලේයරේ වළක් කපා වළදාපාං !”

කියලා මහ හඬින් කෑගෑවා කියලා යාළුවෝ කීප දෙනෙක් මට කීවා මතකයි .ඒත් මට අමතකයි ! අනිත් මොහොතේ මොහොතකින් මම හිටියේ මඩ වළක් මැද හතරගාතේ දාලා වැටුණාලු .! විනාඩි පාලොහකින් විතර පසේ එතනින් නැගිට්ට මම ගෙදර ගිහින් මඩ පිටින්ම බුදියගත්තාලු. කට්ටිය කියන්නේ එහෙමයි .

අන්න එදා ඉඳලා මම ඔය රංගනගේ යන්තම් තරහා කාරයෙක් වුණා .එදා ඉඳන් මගේ නැතිවෙච්ච තැන ආයේ ලබාගන්න මම පුදුම උත්සහයක් ගත්තා. හීනෙන් පවා මම රංගනත් එක්ක සටන් කළා .ඒත් හැබැහින් නම් රංගනත් එක්ක සටන් කරන්න මට බැරි වග මම හොඳාකාරවම දැන හිටියා .


"එකෙක් එක්ක ගහ ගන්න එක වීරකම ඒත් ගොඩක් එක්ක ගහගන්න යන එක ගොබ්බ කම .

ඔන්න ඔය රුවන් වැකිය කීවේ කවුද කියලා මම නොදැන හිටියත් .ඒ වැකිය මගේ හිතේ රැවු පිලි රැවු දෙනකම් මම මෝඩයෙක් වගේ රංගනත් එක්ක සටනට යන්න නම් හිතුවේ නෑ ! ඔය අතරේ රංගනව පාච්චල් කරන්න කල් මැන මැන හිටි මට මගේ වාරය ලැබුණේ නොහිතපු විදිහට .

දවසක් මගේ මිතුරෙක්ගේ නංගියෙකුගේ කොටහළු මගුලක රෑ යාමේ සාදයකට මට සහ තව මිතුරන් කීප දෙනෙකුට අරාධනා කෙරුණා . අම්මගෙන් ඉල්ලගත්ත රු 500ක් ලියුම් කවරයක දමාගත්තු මමත් අඳුර වැටෙන වෙලාවට එතනට එකතු වෙද්දී ගමේ කොල්ලෝ බොහොමයකුත් එතන එකතුවෙලා උන්නා .රංගනත් හිටියා !

අපි දෙන්නගේ කෝන්තරේ ගැන දැනං උන්නු යාළු මිත්‍රයෝ අපි දෙන්නව ඈත් කරලා තියන්න ලොකු උත්සාහයක් ගත්තා . රංගනත් එක්ක ආයේ කොක්ක දාගන්න මගේ හිතේ නම් තිබුණේ පුදුම අකමැත්තක් . වලියකදී තමන්ගේ තරමේ එකෙක්ව තෝරගන්න එපෑය . රංගනත් හැප්පෙන්න මට ඒ දවස් වල කොහෙත්ම ඇඟපතක් තිබුණේ නෑ .ගල් ඉබි මස් කන රංගනත් එක්ක හැප්පෙන්න හතර දෙනෙකුට පවා අමාරුයි .ඉතින් බොරුවට බය නැති වග මවා පාමින් මමත් මගේ තැන තියාගෙන පරිස්සම් වෙලා උන්නා . !

කාලය ගතවෙලා ගියා බෝතල් හිස් වුණා පිරුණු වීදුරු එකට ගැටුණා . කට්ටිය වැටුණා සමහරු කෙළින්. ඔය අතරේ එක්කෙනෙක් නොබී හිටියා ! ඒ තමයි මම

ඔය කියන කාලෙත් මගුල් ගෙවල් දානේ ගෙවල් වගේ අවස්ථා වලට ගිහින් නොබී ඉන්න මම ගත්තු තීරණය වෙනස් නොවී ඒ විදිහටම පැවතුණා . ගමේ උත්සව වලදී බොහෝවිට ගැනෙන්නේ ගමේම පානයන් වීමත් ඒවා පානය කිරීමේ ආනිසංස මම හොඳටම අත් විඳ තිබීමත් නිසා . මම කාලයක් තිස්සේ ගමේ උත්සව අවස්ථාවකට ගියොත් මතින් තොර වෙනවා . එදානම් රංගන හිටි නිසා මම බොන තැනට ලං වුනේවත් නෑ .

පොඩ්ඩ පොඩ්ඩ රෑ වෙන්න ගත්ත නිසා උන්නු තැනිත් නැගිටගත්තු මමත් ගෙවල් අසල කොලු රැලත් ගෙවල් බලා යන්නයි හැදුවේ ! ඒත් එකපාරම

"
ඒයි සඳරු උඹ කොහා යන්නද ඔහොම හිටු !

මට ඇහුණේ බීමත් රංගනගේ හඬ .මයෙ බඩ පපුව හීතල වෙලා කකුල් දෙක මැඩ්ලිං ගහන්න ආවත් අම්මා පොවපු කිරිවල හයිය මට තියන නිසා තනි එකෙකුට බයේ දුවන්න නම් කීයටවත් හිත හදාගන්න මට බැරි වුණා .

"
මොකෝ ?

ඒ මොහොතේ මගේ කටහඬේ තරමක වෙවුලන ගතියක් තිබ්බා වගේ මතකයි . ඒත් ඒක පිට මිනිස්සුන්ට නොදැනෙන්න ඇති .

"
උඹ. වරෙං මාත්තෙක්ක ගුස්තියක් (Hand Fight) අල්ලන්න !”

මතින් මත් වෙලා හිටපු රංගන මගෙත් එක්ක ගුස්තියක් අල්ලන්න කතකරනවා . මිනිහට හොඳටම වැඩියි . කෙළින් ඉන්නත් බෑ ළඟ පාත තිබුණු පුස් බයිසිකල් කීපයකුත් උගේ ඇඟේ පැටලිලා බිම වැටුණා .

කරකියාගන්න දෙයක් නැතිව මම දෙලොවක් අතර අතරමං වෙද්දී වැලි කෙළියේ පටන් මගේ මිතුරා වෙච්ච ජනා මගේ සහයට ආවා .

"
ඕකා බීලා ඉන්නේ බං ගිහිං අල්ලපං ! තව උන් පැන්නොත් මම බලාගන්නම් .!

ඒ වදන් මට පුදුම හයියක් වුණා . "ඇයි බයදෝ ?" කියන හඬවල් පිරිස අතරින් හෙමිහිට නැගෙනවා .ඇල්කොහොල් බිඳක්වත් නැති මගේ ඇඟපතේ ඒ මොහොතේ හයිය හත්තිය උපරිමයි . ගල් ඉබිමස් කන රංගන නම් ගමේ පානවලින් නැහැවිලා .! ඉතින් ඒ යකඩ ඇඟපත තව සවිමත් වෙලාද මන්දා ?

"
ඇයි උඹ බයද ? හා හා බයයි නම් පලයං පැඟිරියා පලයං !

තවත් ඒ කතා ඉවසාගෙන ඉන්න මට බැරි වුණා ඒත් ගුස්තිය අල්ලන්න කලින් මම තව සියක් වාරයක් හිතන්න වුණා . මූ මගේ අත කඩාවිද ?

"
උඹ බීලනේ බං ඉන්නේ උඹත් එක්ක මොන ගේමක්ද මට මේ වෙලාවේ ?

"
ආ ඒමද පුතා ? උඹ අද මාව පැරදුවොත් මම රෙදි ගලවං පාරේ යනවා !! මයෙ හතර වරිගේම පල්ලා ! යකෝ මට බීවත් එකයි නැතත් එකයි උඹලා වගේ වැනෙන්නෑ අපි . “ඔය අතරේ ජනා කටහඬ අවදි කළා !

"
රංගන..! සඳරු උඹව පැරදුවොත් උඹ රෙදි ගලවං පාරේ යනවා ? අනේ පල යන්න උඹට මේක හෙට වෙද්දී අමතකයි .

"
උඹ ඉඳහන් දෙන්නැතුව . මම දැං කියපු කතාවට මෙතන උන් සේරමලා සාක්කි හරිද ? තොපිට ඇහුණද #$@#$ නේ ! තොපි ඔකෝම සාක්කි .මං කීවොත් කීවා . ඇබැයි මම දින්නොත් සඳරු උඹට මම කවදාවත් රෙද්දක් ඇදං පාරේ යන්න දෙන්නෑ හරිය ?රංගන පිස්සුවෙන් වගේ කියෙවුවා 

වලියට නිතරම බර අපේ ගමේ හිටිය රුක්මන් මහත්තයා මේසයක් උඩ තිබ්බ කෑම බීම සේරම බිමට දාලා පුටු දෙකකුත් තියලා අපේ ගුස්තියට පිටිය සකස් කළා. සමහරු හරි පුදුමයි වලියක් ඇතිවෙන්න ගියොතින් ඒක වළක්වන්නේ නැතිව කළත්තන්න සමහරු හරි කැමතියි. රුක්මන් මහත්තයත් ඒ වගේ කෙනෙක් ..!

ගෙදර උන්නු ගෑනු පවා ජනේල රෙදි උස්ස උස්ස මේ සිදුවීම දිහා බලනවා.සමහරවිට අලුත වැඩිවිය පැමිනුණු කෙල්ලත් බලං ඇති ! . මම කෝමද පස්ස ගහන්නේ . ? මම ගිහින් පුටුවේ ඉඳගත්තා . ලොකූ හුස්මක් මගේ පපුව පිරෙන්නම අරගත්තා ! විනාඩියක් විතර ඒ හුස්ම මගේ පපුවට හිර කරගෙන හිටියා . ආයේ මුදා හැරියා . මම ලැහැත්තියි .

මේසේ මත බාං ගාලා වේගයෙන් තියාපු රංගනගේ යෝධ අත එකපාරටම මගේ අත තදකරලා අල්ලගත්තා . රංගනගේ අත නිකම් ගෝරිල්ලෙකුගේ වගේ..! නිතර කැත්තේ උදැල්ලේ වැඩ කරන නිසා උගේ අත පය මනාව වැඩිලා තිබුණා . යතුරු පුවරුවේ යතුරු සමග නිතර ගැටෙන මගේ අත නම් ඒ තරම් වැඩිලා තිබුණේ නෑ . ඒත් ඉස්කෝලේ යන කාලේ කැඩෙට් ටීම් එකේ හිටි නිසා මගේ අතත් ගැහැනියකගේ අතක් වගේ සියුමැලිත් නෑ! අලවංගුවේ උදැල්ලේ වැඩට මගේ අතත් හොඳට හුරුයි.

"
දෙන්නම වම් අත පස්සට කරගන්න ! මේස පුටු අල්ලන්න එහෙම බෑ !” ඒ රුක්මන් මහත්තයාගේ අණ !
 
අපි පටන්ගත්තා !

විටෙක වමටත් , විටෙක දකුණටත් අපේ අත් හෙමිහිට වැනුණා . රංගනගේ අත වමට බර වුණොත් මම දිනුම් ! දකුණට බර වුණොත් මගේ රෙදි ගැළවෙනවා ! .නෑ අත කැඩුණත් මම අතාරින්නේ නෑ .!
විනාඩියකට වැඩි කාලයක් මේ අත් හටන පැවැත් වුණා මම මගේ උපරිම හයිය යෙදුවා රංගනත් තම උපරිමයෙන් හයිය යොදන බව උගේ මූණ විරූපී වෙන විදිහෙන් මම තේරුම් ගත්තා .උගේ මූණ විරූපි වෙන වාරයක් පාසා මම දිරිමත් වුණා !. මම මගෙ මුලු හයියම යෙදුවා ! ටිකෙන් ටික මගේ අතේ ග්‍රහණය වැඩි කරලා රංගනගේ අත ටික ටික තද කළා . ඇල්කොහොල් රංගනේ සිරුරේ ඉබිමස් මෙළෙක් කරලද කොහෙද උගේ හයිය හොඳටම බැහැලා ..!

"
බාං ! බාං !”
 
රංගනගේ අත දෙවරක්ම වම් පැත්තේ මේසය මත දමා ගහන්න මට පුළුවන් වුණා .! මම දිනුවා .! මම ජයගත්තා !

ජය ගත්තා වගේම එතනින් නම්බු පිට ඉවත් වෙන එක හොඳ බව මට ඉවෙන් වගේ තේරුම් ගිය නිසා යාළුවෝ කීප දෙනා සමග මම එතනින් අයින් වුණේ සෑහෙන පිරිසකගේ විසිල් හඬ සහ පිටට දාපු සුහඳ තට්ටු බට්ටු මැදිනුයි . ඒ විදිහට ගමේ හයිකාරයෙක් වෙච්ච මම එදා නිදාගත්තේ සුබ සිතිවිලි ගොන්නකුත් තුරුල් කරගෙනයි .

පහුවදාට එළි වුණා . ! උදේම වැඩට යන්න ලක ලැහැත්ති වුණු නිසා මට රංගනගේ ඔට්ටුව ගැන හාංකවිසියක්වත් මතකේ තිබුණේ නෑ . හවස වැඩ ඇරිලා ගෙදර ඈවිල්ලා නාලා එහෙම යාළුවෝ ටික බලන්න පාර පැත්තට යද්දී මට ඔය ඔට්ටුව ආයෙමත් මතකෙට ආවා .එදා ගමේ ඉස්කෝලේ පිට්ටනියට එකතුවෙලා හිටපු කොල්ලෝ හැම දෙනාගෙම කතාව වුණේ රංගනගේ ඔට්ටුව .

"
ඔන්න බලාපල්ලකෝ ඕකා මොනාහරි කියලා ඕක කණපිට ගහලා දායි" සමහරු එහෙම කීවා

"
නෑ නෑ ඌ කීවොත් කීවා !තවත් අය එහෙමත් කියනවා .

"
ඒ නරුමයා නෑවිත් හිටියොත් හොඳයි" මගේ හිත ඉඳන් කියනවා ! .

වෙලාව ටිකෙන් ටික ගෙවිලා ගියා අපිත් ගෙවල් බලා යන්න පිටත් වුණා .මග දිගට අඹ ගස් වලට ගල් පොලු ගහමින් ගියපු නිසා ඔය ඔට්ටුව අපිට අමතක වෙලාම ගියා . ඉර රතුම රතු පාටින් බැහැලෑ යන හැටි බලමින් අඩිපාරක් දිගේ ආපු අපි මහපාරට වැටුණා . මහපාර දිගේ අමුත්තෙක් බයිසිකයෙන් යමින් හිටියා . ඒ ගියේ රංගන !

"
අඩෝ රංගේ දැං ඉතිං පැදහං !

කොල්ලෙක් හයියෙන් කෑගැහුවා . මම හූ කිවුවා කලින් තිබුණු බය දැන් මගේ හිතින් මැකිලා ගිහිල්ලා අමුතු හයියකුත් දැනෙනවා සමහරවිට හැන්දෑවේ ඉර අවුව මගේ ඇගට වැටීම හේතුවෙන් සම මත නිපදවුණු විටමින් සී නිසා වෙන්න ඇති !

පාර දිගේ සයිකලේ පැදං ගියපු රංගන මීටර් තුනක් විතර යනකම් අපි කියාපුවා නෑහුණු ගානට සන්සුන්ව ඒ පුස් සයිකලේ පැදගෙන ගියා . ඒත් එකපාරටම බයිසිකලේ අයිනකට තල්ලු කරපු රංගන ඇඳං උන්නු සරම ගලවලා අකුලකට විසික්ක කරලා කමිසයත් එකපාරටම ගලවා පාර මැද්දෑවේ දාලා අපිට පිටුපාලා පාර දිගේ දුවන්න ගත්තා .

ඒ වෙච්ච දේ හිතාගන්න බැරුව අපි මොහොතක් ගල් ඉබ්බෝ වගේ ගල් ගැහිලා බලං හිටියා ..

ලාවට පායපු රාස්සිගේ අවුව රංගනගේ තට්ටමකට වැටිලා දිලිසුණා .!!

පාර දිගේ දුවං ගියපු රංගන කුණු ඇල ගාව වංගුවෙන් නොපෙනී ගියා .! රංගන ඌ දුන්න වචනේ ඒ විදිහටම ඉටු කළා .! ඒත් මගේ හිතේ කිසිම සතුටක් තිබුණේ නෑ .

රංගන කෙළින් කතාවක් ඇති, කීදේ කරන සිරා ඩයල් එකක් කියලා කොල්ලෝ කතාවෙන්න පටන්ගත්තා. ඒ කතා බහ මගේ කනට කටු වලින් අනින්නා වාගේ හැඟීමක් දැනෙවුවා ..

මම කල්පනා කරා...!

මම එදා ගුස්තිය පැරදුනානම් . මම මේ වගේ රෙදි ගලවං පාර දිගේ දුවයිද ? නෑ නෑ ! මම නම් එහෙම කරන එකක් නෑ කටට ආපු මොනවා හරි දෙයක් කියලා ඒක මම මග හරිනවා නේද ? එතකොට මගේ හිත රංගනගේ හිත තරම් සවිමත් නැත්ද ? කොහෙන්ද ඌට ඒතරම් සවිමත් හිතක් ලැබුණේ ?ඌ නිතර දෙවේලේ කන ගල් ඉබිමස් උගේ ඇඟ වගේම හිතත් සවිමත් කළාද ? මට ප්‍රශ්න ගොඩයි .!

ඒ ප්‍රශ්න වලට උත්තර හිතාගන්න බැරි වුණාම ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා මම කාඩ්බෝඩ් වීරයෙක් වත්දෝ ? කියලා.


Image from - http://us.123rf.com/

6.10.11

පේදුරු මුත්තාගෙන් ලද අරුම පුදුම තෑග්ග !


මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි .

දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි

පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම දිග මුල් නිසා ඒ ගහට තිබුණේ හරියට වයසක රැවුල තියන මන්තර කාරයකුගේ පෙනුමක් .හැන්දෑ කළුවර වැටුණාම හිත හයිය මිනිහෙක් ඔය නුඟේ ගාවින් ගියේ නොගිහින්ම බැරි ගමනක්ම වෙතොත් විතරමයි . ඒ ගියෙත් "ඉතිපිසෝ" ගාථාව සද්ද නගා කියන ගමන් .ඒ වගේම නුගේ දිහෑ යන්තම්වත් නොබලා ඉවත බලන් .

සත්තු සෑහෙන ගාණනකට නිවහන වෙලා තිබුණු මේ විසල් නුඟේ පෙන්වන්න අපි පුංචි සන්දියේදී ඉස්කෝලෙනුත් එක්කරගෙන ගියා මතකයි . ඒ දවස් වල එක වසර අච්චු පොතේ තිවුණු අප හා පරිසරය පාඩම ගැන කියාදෙද්දී මේ මහ නුගේ ගැන නිතර කියන්නත් අපේ චීචර් අමතක කළේ නැහැ.

සත්තුන්ට සරපයින්ට අයිති වෙච්චි ඔය මහ නුඟේට අරක්ගෙන මනුෂ්‍යයෙක් නොවන තවකෙක් උන්නා !

ඒ උත්තමයගේ නම රතු අප්පු !

රතු අප්පු. දෙවියෙක්ද , යක්‍ෂයෙක්ද කියලා මම නම් හරියට දන්නෑ . සමහරු කියන විදිහට රතු අප්පු කරදර දෙන යක්‍ෂයෙක් . ගමේ සමහරුන්ට නම් ගමට සෙත ගේන දෙයියෙක් !

මහ නුඟේ යට සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි දේවලයක හැඩ හුරුකම් කියපු කුටිය ඇතුළේ . සමහර දින වල බිං කරුවල වැටුණහම පොල්තෙල් පහනක් දැල්වෙනවා . තවත් දින වල සුවඳ දුම් ගලා යනවා. එහෙමත් දිනක කෙසෙල් කොළේක තියාපු, නුගේට පුදකරාපු කැවිලි පෙවීලි ගහේ ජීවත් වුණු දඬුලේනුන්ගේ, මයිනන්ගේ, පලා ගිරවුන්ගේ, බෝදිලිං කටුස්සන්ගේ බඩගෝස්තර පිරෙවුවා! පොල්තෙලින් පෙඟිච්චි නිච්චි පහන් තිර බෙදාගන්න කපුටු හැතිකරේ පොර කෑවා !

කෙම්මුර දාට මහ නුඟේ දිහාවින් අලෝක ගුලි විසි වෙන හැටි ගැන ගමේ හිටපු සීයලා කතා කළේ හරිම ගෞරවයෙන් . කවදාකවත් ඒ ආලෝක ගුලි මම දැකලා නොතිබුණත් මම මගේ ඒ වැඩිහිටියන්ගේ කතා ඉස් මුදුණෙන්ම විශ්වාස කළා .

"දේවතා එළි"

හිටි ගමන් අහසට නගින දේවතා එළි දකින්න මම සෑහෙන්න ආස කළා . ඒත් ඒව දකින්නත් පින තියෙන්න ඕන කියලයි මගේ සීයා නම් නිතර කීවේ . ජනේලයෙන් එපිට ඈත මහ නුගේ දිහා බලාගෙන පැයගණන් ගත කළත් මම කිසිම දවසක දේවතා එළියක් නම් දැකලා නැහැ .

මට යාන්තමට මතකයි .මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා. ඒ නුග ගෙඩි අතරේ කපු රෙදි කෑලි වලින් ගැටගහපු පඬුරු ගොන්නකුත් ඒ නැමුණු නුග අතුවල එල්ලිලා තිවුණ හැටි මට තාම මතකයි . හරිහමං මතකයක් නැත්තේ තාත්තගේ අතේ එල්ලිලා මහ නුගේ ගාවින් යනකොට මම ඒ දිහා නොබලා ඇස් තදකරලා පියාගන්න නිසාමයි .

එක වැහි දවසක පාන්දර ජාමේ ගම දෙවනත් කරගෙන මහා "හූ" හඬක් ඇහුණා !

අසල්වැසි ගෙවල් වල උදවිය ඇඳන් හිටි ඇඳුම් පිටින්ම ඒ දිහාට දීවේ ගමේ කෙනෙකුට කරදරයක් වුණාම නෑහුණා වගේ ඇස් කන් පියාන ඉඳලා පුරුද්දක් නැති නිසාමයි . ග්‍රාම සේවක වෙච්ච මගේ තාත්තත් කඩිමුඩියේ ඒ පැත්තට දිවුවා .

අම්මත් මමත් තාත්තා එනතුරු බලාන් හිටියේ පුදුම කුතුහලයකින් .ගම් වැදුණු අලියෙක් කාව හරි පාගලා මරා දාලා වත්ද ?, වැස්ට කාගේ හරි ගෙදරක් කඩාන වැටිලා වත්ද ? , රණ්ඩුවක් වත්ද ? හිතින් හිත හිතා මමත් ජනේලෙන් එපිට හීනිවට වැටෙන වැහි බින්දු දිහා බලාන හිටියා . තාත්තා එනතුරු !

"සුසිරිපාලට රතු අප්පු වැහිලාලු ! අන්න බෙරිහන් දෙනවා. පිස්සු යක්කු !”

තාත්තා එහම කියාගෙන ඔළුවට වැටිච්ච වතුර අතින් පිහදන ගමන් ගෙට ගොඩ වුණා . මගේ තාත්තා කවදාවත් ඔය අමනුෂ්‍ය කතා විස්වාස කළේ නෑ

"දැන් මොකද කරන්නේ ?එහෙම ඇහුවේ මගේ අම්මා !

"පේදුරු සීයට එන්න කියනවාය කීවේ ! පුතා එක්ක මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඕන"

මගෙ හිතට දැනුණේ පුදුම සතුටක් !

"පුතා එක්කරගෙන යන්න එපා මේ මහ වැස්සේ !

"ඔය පොඩ්ඩ තෙමුණට කාරි නෑ කොල්ලත් ඕව දැකගන්න ඕන"

"පේදුරු" මගේ සීයගේ තාත්තා . මගේ මුත්තා. හරිම ආඩම්බරෙන් මම අදටත් සිහිපත් කරන මගේ ගමේ හිටි මගේම නෑදෑයෙක් . වයසට ගිහින්ම කොන්ද ටිකක් නැමිලා කුදු බවක් පෙනුණත් .කිසිම දවසක කෙනෙකුට නැමිච්ච කෙනෙක් නම් නෙවේ පේදුරු මුත්තා. මනුෂ්‍යයෙකුටවත් අමනුඅෂ්‍යයෙකුටවත් . පේදුරු මුත්තා නෙවේ බය වුණේ. දිෂ්ටියක් වැහුණාම , බැල්මක් වැටුණාම , නූල්බඳින්න වුණාම පේදුරු මුත්තා ඇරුණහම වෙන සමතෙක් ඒ වැඩේට හිටියේ නැහැ .

නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ පොත් ගණනාවක් පේදුරු මුත්තා ගාව තියනවාය . උන්දෑ බය නැතුව යක්‍ෂයින් සමඟ ගනු දෙනු කරන්නේ ඒකය කියලා .මගේ තාත්තත් සීයත් නිතර කතා කරනවා මම අහලා දැකලා තිවුණා .

අපි සුසිරිපාල ලෑ ගෙදරට යනකොට උදේ දහයත් පහු වෙලා . වටේම තිබුණු වැහි අඳුර නිසා කැලේට වට වෙච්ච ගමේ තිබුණේ මහම මහා මූසල මුස්පේන්තු ගතියක් .වෙනදා වගේ ක්‍රියාශීලී බවක් නොපෙන්වාපු ගමේ උදවියත් . තැම්බුම් හොඳි බීලා ආපු එවුන් වගේ කම්මුල් වල අත ගහගෙන තැන් තැන් වල ඇන තියාන උන්නා .

ගේ ඇතුළෙන් එකපාරටම ඇහෙන මහ හූ හඬ සහ ගෙරවීම් හඬ එන්න එන්නම වැඩි වුණා ! . සුසිරිපාල අයියා මර හඬ දෙනවා ඒත් ඒ ඇහුණ හඬ එයාගේ නෙවේ ! . අහස ගොරවන හඬට සමාන වූ දරුණු හඬක් එදා මෙදා තුර කිසිම දවසක මම මිනිහෙකුගේ උගුරකින් ඒ වගේ හඬක් පිට වෙනවා නම් අහලා නෑ ! . යන්තම් සුසිරිපාලයියාගේ කාමරේට මම එබිලා බැලුවේ තාත්තගේ අත අත නොහැරම තදින් අල්ලං ඉන්න අතරේදී. සුසිරිපාලව ඇඳට තියලා ගැටහලා තිබුණු හැටි මම යාන්තමට දැක්කා

එකපාරටම ගං හබරල කොළයක් ඉහලාගෙන අමුත්තෝ දෙන්නෙක් වත්තට ඇතුළු වුණා ! එක්කෙනෙක් පේදුරු මුත්තා . ආනිකා මුතූ මුදලාලි 

කඩුල්ල පැනලා වත්තට ආපු පේදුරු මුත්තා වත්තේ තිබුණු කෙහෙල් ගහක මුදුනට කොටලා ඒ ගහ දෙපළු කළා . ගෙට ඇතුළු වෙද්දිම උළුවස්සට ඇණයකුත් ගැහුවා ගහලා මොන මොනාදෝ මැතිරුවා !. ඒ ඇයි කියලා කියන්න මම තවම දන්නෑ . ඒත් මම ඒ දේවල් දිහා බලාන උන්නේ පුදුම කැමැත්තකින් , ගෞරවයකින් .

"පේදුරු එනකොට අමනුෂ්‍යයෝ දුවනවා !!

ගේ ඇතුළේ හිටි උදවිය එහෙම කතා කරද්දී මටත් ඕන වුණේ පේදුරු මුත්තා වගේ වීරයෙක් වෙන්න . මගේ තාත්තා නම් ඒ ඇහුණු හැම වචනයකටම ඔලොක්කුවට හිනා වෙච්ච හැටි මට තාම මතකයි .
කුප්පි ලාම්පුවකුත් අරගෙන සුසිරිපාල හිටි කාමරේට පේදුරු මුත්තා ඇතුළු වෙනකොට ගේ ඇතුළේ හිටි හැමෝම පොද වැස්ස නොසලකා එළියට බැස්සා . කුඩෙ ඉහළගත්ත තාත්තත් මමත් ඒ අය පිටිපස්සෙන් එළියටම ඇවිදින් බලාන හිටියා .

ගේ ඇතුළෙන් මට ඇහුණේ විලාපයකුත් ඒ විලාප හඩට වඩා උස් හඬින් මන්තර මතුරන හඬකුත් විතරමයි . පළාතම හීතල කරගෙන මහා හුළඟක් ආවා වැහි පොදත් කැටි කරගෙන ආ ඒ හුළඟේ හීතල ගතිය මට මේ දැනුත් දැනෙනවා වාගේ ! . විලාපයයි හීතලයි පොඩි එකෙක් වෙච්ච මාව හිරි වැට්ටුවා !

"ඕං නමෝ .”. කියමින් පේදුරු මුත්තා මතුරන හඬ ටික ටික වැඩි වෙනවා . මොහොතකින් හැම දේම ආයෙත් සාමාන්‍ය අතට හැරුණා .කුප්පියක් අත්ල මැද හිර කරගෙන රටක් රාජ්ජයක් දිනුවා වගේ ආඩම්බරෙන් ගෙදරින් එළියට බැස්සේ පේදුරු මුත්තා !

වත්ත පිටියේ හිටි හැමෝම මුමුණන්න වුණා .

උළුවස්සේ ඇනපු යකඩ ඇනේ ගලවාගත්තු පේදුරු මුත්තා . අත්ලේ සඟ්වාගෙන හිටපු පුංචි කුප්පියක් අතට අරගෙන ඒ යකඩ ඇනේ බෝතල කටේ ගැට ගැහුවා .වත්ත පිටියේ හිටි අපි හැමෝම ඒ කුප්පිය බලන්න එක් වුණේ සීනි බෝතලේට වහන කූඹි වගේ !

බෝතලේ ඇතුළේ හිරවෙච්ච රතු අප්පු යක්‍ෂයාව දැකගන්න මමත් බෝතලේ ගාවට එබුණා ඒත් හිස් බෝතලේ ඇතුළේ හිරවුණු ගැට දාපු නූල් කෑල්ලක් විතරමයි මම දැක්කේ .

"ගැට දොලකින් මම රතු අප්පුවාව ඇල්ලුවා ! හෙහ් හෙහ්..! මෙන්න මේ කුප්පිය ගැඹුරක වළලනවා හොඳයි ! ඕක බිඳගෙන හෙම ආයේ මට කරදර කරනවා නෙවෙයි !

ඔන්න ඔය විදිහට රතු අප්පු කියන අමනුෂ්‍යයා මගේ ගමෙන් පිටුවහල් වුණා ! ආයේ මම කිසිම දවසක ඒ උත්තමයා ගැන අහුවේ නෑ .මාස කීපයකට පස්සේ මහ නුඟ ගහත් කොල හැලිලා හැලිලා ගිහින් මැරිලා ගියා ! පුදුම හිතෙන විදිහට !

ඒකාලේ පේදුරු මුත්තා නිසා මගේ පවුලට ලැබිලා තිබුණු පිළිගැනීම නම් උපරිමයි .! "අපේ මුත්තා තමයි පේදුරු" මම එක වසර පන්තියේදී නිතරම එහෙම කියනවා මට මතකයි . පන්තියේ හැමෝම එතකොට මගෙ දිහා බලන්නේ බයකින් වගේ

පේදුරු මුත්තාට. මගේ තාත්තා වුණත් සීයේ කියලා කට ඇරලා ගෞරවයෙන් කතා බහ කළා , යනකොටත් කකුල් දෙක අල්ලලා පේදුරු මුත්තට වැඳ වැටුණා . ඒත් එයාගේ මන්තර ගැන තාත්තා කතා කළේ හරිම විහිළුවෙන් . තාත්තා ඒවා තඹ දොහිතුවකට වත් මායිං නොකරන බව දන්න පේදුරු මුත්තත් අපේ ගෙදර ආපු වෙලාවට වැඩිය කතා බහ කළේ නෑ

"මේ ගෙදර භූමි දෝෂයක් තියනවා ! ගෘහ මූලිකයට තමා ඒකෙන් බලපෑම . බලපල්ලා මේ ගෙදර ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් මිදුල පේනවා මෙහෙම උළුවහු තියන්නේ කොයි රටේද ?සිය පාරකට වැඩිය පේදුරු මුත්තා එහම කියන්න ඇති

අපි එතකොට උන්නේ තාත්තට රජයෙන් දීපු කෝටස් එකේ අපිට උවමනා විදිහට ඒ ගෙවල් දොරවල් හදන්න බැරි බව අම්මත් දන්න වචන පාවිච්චි කරලා මුත්තට පැහැදිලි කළා .

"මට මල ගෙදරක එන්න උඹලා ඉඩ ඉඩ තියන්න විතරක් එපා !පේදුරු මුත්තා දබරඟිල්ල උරුක් කරලා අන්තිමට කීවේ එච්චරයි !

ඔය කතාව කියලා ටික කලකට පස්සේ තාත්තා නොඑන ගමන් ගියා . ගල් හිතක් තිබුණු පේදුරු මුත්තත් එදා නම් පොඩි එකෙක් වගේ තාත්තගේ මිනී පෙට්ටිය ගාව වැටිලා ඇඬුවා . ඒක දැකලා ගමම ඇඬුවා.

තාත්තගේ හත් දවසේ දානේ ඉවර වෙච්ච දවසෙම පේදුරු මුත්තත් නිදි පැදුරේම අවසන් ගමන් ගිහින් තිබුණා . මරන පරීක්‍ෂණයට කියැවුණේ හර්ධයේ ලේ කැටියක් හිරවීම කියලයි !

අද මට නිකමට හිතෙනවා පේදුරු මුත්තගේ ශාස්තරේ හරි කියලා . එයා කියපු දෙයක් වැරදිලා නැහැයි කියලා ! එයා කියාපු දේ එදා පිළිගත්තානම් කියලා ! පොඩ්ඩකට හරි හිත හදාගන්න මට පුළුවන් එතකොටයි .පේදුරු මුත්තගේ පුතා වෙච්ච මගේ සීයා අදටත් අපි ගාව ඉන්නවා .එයාට අවුරුදු 88ක් පේදුරු මුත්තා ගාව තිබුණු පෙත්පත් සේරම මගේ සීයට හිමිවුණා . ඒත් සීයා කවදවත් ඒවයින් වැඩක් කළේ නෑ .

"මොකෝ සියේ අර පේදුරු මුත්තගේ මන්තර පොත්, වෙද පොත් අල්ලන්නෙවත් නැත්තේ ! ඇයි ඒවා ට්‍රන්ක පෙට්ටියේ දාලා තියෙන්නේ ?මම දවසක් එහෙම අහද්දී

"වි ගත්තෝ අවියෙන්ම නසිති" කියලයි සීයා මට කීවේ 

පේදුරු මුත්තා ගැන මුල් මතක සටහන මගේ හිතට වැදුණු පළමු දවස වගේම අද දවසත් වැහි බරයි ! . වියළි කාල ගුණයක් හිමි අපේ පළාතම සීතල බවින් පිරිලා ගිහින් . සීයාගේ ට්‍රන්කා පෙට්ටිය ඇතුළේ තිබුණු බොහෝම පැරණි පොත්පත් කීපයක් හා පණ වාගේ ආරක්‍ෂා කරපු පුංචි පිළිමයක් වැඩට නොගිහින් ගෙදර හිටි අද දවසේ මගේ අතට පත් වුණා . අද මම මේ හැම දේකම උරුමක්කාරයා වුණා . !

"අද ඉඳන් උඹ මෙවුවා තියාගනිං උඹට දවසක මෙවුවා දෙන්න කෙනෙක් ලැබුනොත් දීපං නැත්තං ලිපේ දාපං !" පොත් ටික මගෙ අතට දීලා එහෙම කියද්දී සීයගේ කටහඬ වෙවුලුවා !

"මොකද සීයේ මේ හදිස්සියේ මෙවුවා මට දුන්නේ ?

"මට තව වැඩි කාලයක් නෑ .වෙවුලන හඬින් මගෙ සීයා එහෙම කියද්දී එදා තාත්තගේ මරණය දවසේ පවා නොදැනුණ අමුතු වේදනාවක් මට දැනුණා . ඒ දුන්න පොත් වල එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා .

අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි. හරියට ගම් හතකට පේන්න නැගී හිටි මහ නුගේ අද තිබුණු තැනක්වත් හොයාගන්න බැරිවා වාගේ නැත්තටම නැති වෙලා යාවි .!. කොච්චර ලොකු සද්දන්තයෙක් වුණත් හැමදාටම ඉන්නේ නෑ .!

මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?