12.10.11

ගුස්ති ඇල්ලීම සහ රෙදි ගලවං පාරේ යාම




උතුරු වැවුගම්පත්තුව ..!

ඒ තමයි මම ජීවත් වෙන ඉසවුව. ඔය ඉසවුවේ ජීවත් වෙච්ච මිනිස්සු හැමදාමත් තනි වචනයක් තියාන උන්නු මිනිස්සු..! ගලේ ගහලා ඇහුවත් කටේ තිබුණෙම එක වචනයයි !. මේ ඉසවුවේ මිනිස්සු කවදාවත් කරන්න බැරි දෙයක් පොරොන්දු වුණේ නැ ! ඒ වගේමයි දුන්නු වචනයක් කිසිමදාක වෙනස් කළෙත් නෑ !

අපේ ගං තුලානේ හිටි තනි වචනේ මිනිස්සු අතරේ නිතරම දකින්න ලැබුණු ලක්‍ෂණයක් තමයි දිවුරිල්ල !

"
අම්මපල්ල" , "තාත්තා පල්ල" , "මැරිච්චි කිරි අත්තා පල්ල !”"මයෙ දරු දෙන්නා පල්ල" "සීවරං දෙයි හාන්දුරුවන් පල්ල"

ඔය වගේ නේකවිද දිවුරීම් අතරේ තවත් එක් කියමනක් මගේ ගමේ මිනිස්සුන්ගේ මුවග නිතරම රැඳිලා තිබුණා .තවකෙකුට අභියෝග කරන්න යොදාගත්තු ඒ කියමන මීට පෙර කීප දෙනෙක්ම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වලා ඇති බවත් මට මතකයි . ඒ තමයි "රෙදි ගලවං පාරේ යාම"”

"
හරි උඹ ඒ එහෙම කළොත් මම රෙදි ගලවං පාරේ යනවා ! මයෙ අම්ම පා ! සත්තම් පා ,දෙයියං පා ! “

ඔන්න ඔය වගේ නානාප්‍රකාර වදන් යොදමින් අපේ ගමේ මිනිස්සු දිවුරන , පොරොන්දු දෙන හැටි නම් අහං ඉන්න ආසයි . එක එක ගම්මාන වලට ආවේණික ගති පැවතුම් අතරේ මගේ ගමේ මිනිසුන්ගේ කැපිලා පේන එක සුන්දරම සුන්දර ගතියක් තමයි දිවුරන එක .යන්තම් බහ තෝරන්න පටන්ගත්තු කිරිසප්පයෝ පවා හුරතල් විදිහට දිවුරන හැටි බලන්න නම් අපේ ගමට එන්න වෙනවා .

කොයි තරම් දිවුරුවත් ඒ දිවුරිල්ල කඩ කරන්න තරම් අමන මිනිස්සු නම් මගේ ගමේ හිටියේ එකෙක් දෙන්නෙක් විතරයි .ගමේ කෙනෙක් දිවුරලා කියන දෙයක් අනික් පුද්ගලයා ඉහටත් උඩින් විශ්වාස කළා.


ඒ මොකද කීවොතින් දිවුරීමක් කඩ කෙරුවොත් ඒ බොරුවට දිවුරුව පුද්ගලයට සහගහනවා කියලා අපේ ගං තුලානේ හැමෝම ඉහටත් උඩින් විශ්වාස කෙරුවා .ඉතින් ඒ නිසා වැඩි දෙනෙක් බොරුවට දිවුරන්න උත්සහ කරලා නෑ ! .

ගමේ උදවිය කතා වෙන විදිහට පරම්පරා හතරකට උඩදී ගමේ හිටපු මැම්බර් මහත්තයා මියැදුණේ බොරුවට දිවුරීමේ ප්‍රතිඵලයක් විදිහටලු .එදා ඇස් පනාපිටම බොරුවට දිවුරීමේ ආනිසංස දැකපු ගමේ ඇත්තෝ ඉන් පස්සේ දිවුරීමක් කළේ සියක් වාරයක් හිතලා මතලා විතරමයිලු. ඉතින් මේ ලියවෙන්නේ දිවුරීමක් ඉටුකිරීම නිසා වෙච්ච පුංචි කතාවක් .

රංගන තමයි අපේ ගමේ හිටපු චණ්ඩියා !

මගේ සම වයසේ එකෙක් වෙච්චි රංගන ගම හොල්ලගෙන හිටි එවුන්ගෙන් හොඳම එකා .ඌ කිසිම දවසක දීපු වචනයක් වෙනස් කළේ නෑ . ! ගහනවා කීවොත් ගැහුවා , බනිනවා කීවොත් බැන්නා ! ඉස්කෝලෙදිත්, ගමේදිත්, ටවුමෙදිත් "රංගන" කියන නමට හැමෝම බයයි !

දවස ගානේ මඩ කඩිති වල ලගින ගල් ඉබ්බෝ අල්ලගෙන ගිහිල්ලා උයලා කන එක රංගන ගේ දින චරියාවේ එක් අංගයක් . ඉබි මස් නිතර දෙසාබාන රංගනයගේ ඇඟපත නිකං සිමෙන්තියෙන් හදලා වගේ සවිමත් .ඇඟපතේ හයිය හත්තියෙන් වගේම පිරිස් බලයෙනුත් රංගන ඉදිරියෙන් හිටියා .! ඒක නිසා ගමේ කාක්කෙක්වත් රංගනගේ ඔළුවට උඩින් පියාඹන්න ගියේ නැහැ ! ඔන්න ඔය වගේ බලයෙන් සහ සවියෙන් අග තැන් වූ රංගනත් එක්ක මගේ කෝන්තරයක් ඇදුණේ නම් හරි පුදුම විදිහට .

ඉඳලා හිටලා වලියක දෙකකට සම්මාදම් වුණාට මම ගමේ කැපිලා පේන චණ්ඩියෙක් නම් නෙවෙයි ! ඒත් තහරා ගියාම තැන නොතැන බලලා වචන පිට කරන නිසා මම බොහෝ දුරට ගමේ ප්‍රචලිතව හිටියේ කටින් චණ්ඩියෙක් විදිහටලු .

කාලෙකට ඉහතදී රංගනලෑ ගෙදෙට්ට ඩීවීඩී යන්තරයක් ගෙනාවා . හෙන දොඹ සයිස් සෙටප් එකක් සහ පත ටීවී රාජයෙකුත් එක්ක . ඔන්න ඔය සිදුවීමෙන් පස්සේ මගේ ළඟ, මගේ වටේ හිටි යාළු මිතුරු සේනාව මගෙන් ඉවත් වෙලා ටිකෙන් ටික ඒ රංගනගේ ඩීවීඩී පහස හොයාන ගියා .

වෙනදා හැන්දෑ වරුවේ අපේ ගෙදෙට්ට රිංගලා පරිගණක ක්‍රීඩා කරපු කොල්ලෝ , ෆිල්ම් බලාපු කොල්ලෝ,පරිගණක පාඩම් අහගත්තු කොල්ලෝ ඔය හැමෝම වාගේ රංගනලෑ ගෙදරට පොදි ගැහුණේ මගේ පිරිස් බලය බින්දුවටම බස්සවමිනුයි

 වටේ හිටපු පිරිවර නැතිව ගිහිං කිරුළ අහිමි වූ රජෙකුට දැනෙන දුක්ඛ දෝමනස්ස හැඟීම් මාලාවම මටත් ඒ දවසේ නම් අඩු නැතිව දැනුණා . ඒ හින්දා දවසක්දා මධුවිතෙන් මත් වෙලා උතුරු දකුන මාරු වෙච්ච මොහොතක මම උගේ ගේ ඉස්සරහට ගිහින්

"ඇඩෝව් උඹගේ මහ ලොකු ප්ලේයරේ වළක් කපා වළදාපාං !”

කියලා මහ හඬින් කෑගෑවා කියලා යාළුවෝ කීප දෙනෙක් මට කීවා මතකයි .ඒත් මට අමතකයි ! අනිත් මොහොතේ මොහොතකින් මම හිටියේ මඩ වළක් මැද හතරගාතේ දාලා වැටුණාලු .! විනාඩි පාලොහකින් විතර පසේ එතනින් නැගිට්ට මම ගෙදර ගිහින් මඩ පිටින්ම බුදියගත්තාලු. කට්ටිය කියන්නේ එහෙමයි .

අන්න එදා ඉඳලා මම ඔය රංගනගේ යන්තම් තරහා කාරයෙක් වුණා .එදා ඉඳන් මගේ නැතිවෙච්ච තැන ආයේ ලබාගන්න මම පුදුම උත්සහයක් ගත්තා. හීනෙන් පවා මම රංගනත් එක්ක සටන් කළා .ඒත් හැබැහින් නම් රංගනත් එක්ක සටන් කරන්න මට බැරි වග මම හොඳාකාරවම දැන හිටියා .


"එකෙක් එක්ක ගහ ගන්න එක වීරකම ඒත් ගොඩක් එක්ක ගහගන්න යන එක ගොබ්බ කම .

ඔන්න ඔය රුවන් වැකිය කීවේ කවුද කියලා මම නොදැන හිටියත් .ඒ වැකිය මගේ හිතේ රැවු පිලි රැවු දෙනකම් මම මෝඩයෙක් වගේ රංගනත් එක්ක සටනට යන්න නම් හිතුවේ නෑ ! ඔය අතරේ රංගනව පාච්චල් කරන්න කල් මැන මැන හිටි මට මගේ වාරය ලැබුණේ නොහිතපු විදිහට .

දවසක් මගේ මිතුරෙක්ගේ නංගියෙකුගේ කොටහළු මගුලක රෑ යාමේ සාදයකට මට සහ තව මිතුරන් කීප දෙනෙකුට අරාධනා කෙරුණා . අම්මගෙන් ඉල්ලගත්ත රු 500ක් ලියුම් කවරයක දමාගත්තු මමත් අඳුර වැටෙන වෙලාවට එතනට එකතු වෙද්දී ගමේ කොල්ලෝ බොහොමයකුත් එතන එකතුවෙලා උන්නා .රංගනත් හිටියා !

අපි දෙන්නගේ කෝන්තරේ ගැන දැනං උන්නු යාළු මිත්‍රයෝ අපි දෙන්නව ඈත් කරලා තියන්න ලොකු උත්සාහයක් ගත්තා . රංගනත් එක්ක ආයේ කොක්ක දාගන්න මගේ හිතේ නම් තිබුණේ පුදුම අකමැත්තක් . වලියකදී තමන්ගේ තරමේ එකෙක්ව තෝරගන්න එපෑය . රංගනත් හැප්පෙන්න මට ඒ දවස් වල කොහෙත්ම ඇඟපතක් තිබුණේ නෑ .ගල් ඉබි මස් කන රංගනත් එක්ක හැප්පෙන්න හතර දෙනෙකුට පවා අමාරුයි .ඉතින් බොරුවට බය නැති වග මවා පාමින් මමත් මගේ තැන තියාගෙන පරිස්සම් වෙලා උන්නා . !

කාලය ගතවෙලා ගියා බෝතල් හිස් වුණා පිරුණු වීදුරු එකට ගැටුණා . කට්ටිය වැටුණා සමහරු කෙළින්. ඔය අතරේ එක්කෙනෙක් නොබී හිටියා ! ඒ තමයි මම

ඔය කියන කාලෙත් මගුල් ගෙවල් දානේ ගෙවල් වගේ අවස්ථා වලට ගිහින් නොබී ඉන්න මම ගත්තු තීරණය වෙනස් නොවී ඒ විදිහටම පැවතුණා . ගමේ උත්සව වලදී බොහෝවිට ගැනෙන්නේ ගමේම පානයන් වීමත් ඒවා පානය කිරීමේ ආනිසංස මම හොඳටම අත් විඳ තිබීමත් නිසා . මම කාලයක් තිස්සේ ගමේ උත්සව අවස්ථාවකට ගියොත් මතින් තොර වෙනවා . එදානම් රංගන හිටි නිසා මම බොන තැනට ලං වුනේවත් නෑ .

පොඩ්ඩ පොඩ්ඩ රෑ වෙන්න ගත්ත නිසා උන්නු තැනිත් නැගිටගත්තු මමත් ගෙවල් අසල කොලු රැලත් ගෙවල් බලා යන්නයි හැදුවේ ! ඒත් එකපාරම

"
ඒයි සඳරු උඹ කොහා යන්නද ඔහොම හිටු !

මට ඇහුණේ බීමත් රංගනගේ හඬ .මයෙ බඩ පපුව හීතල වෙලා කකුල් දෙක මැඩ්ලිං ගහන්න ආවත් අම්මා පොවපු කිරිවල හයිය මට තියන නිසා තනි එකෙකුට බයේ දුවන්න නම් කීයටවත් හිත හදාගන්න මට බැරි වුණා .

"
මොකෝ ?

ඒ මොහොතේ මගේ කටහඬේ තරමක වෙවුලන ගතියක් තිබ්බා වගේ මතකයි . ඒත් ඒක පිට මිනිස්සුන්ට නොදැනෙන්න ඇති .

"
උඹ. වරෙං මාත්තෙක්ක ගුස්තියක් (Hand Fight) අල්ලන්න !”

මතින් මත් වෙලා හිටපු රංගන මගෙත් එක්ක ගුස්තියක් අල්ලන්න කතකරනවා . මිනිහට හොඳටම වැඩියි . කෙළින් ඉන්නත් බෑ ළඟ පාත තිබුණු පුස් බයිසිකල් කීපයකුත් උගේ ඇඟේ පැටලිලා බිම වැටුණා .

කරකියාගන්න දෙයක් නැතිව මම දෙලොවක් අතර අතරමං වෙද්දී වැලි කෙළියේ පටන් මගේ මිතුරා වෙච්ච ජනා මගේ සහයට ආවා .

"
ඕකා බීලා ඉන්නේ බං ගිහිං අල්ලපං ! තව උන් පැන්නොත් මම බලාගන්නම් .!

ඒ වදන් මට පුදුම හයියක් වුණා . "ඇයි බයදෝ ?" කියන හඬවල් පිරිස අතරින් හෙමිහිට නැගෙනවා .ඇල්කොහොල් බිඳක්වත් නැති මගේ ඇඟපතේ ඒ මොහොතේ හයිය හත්තිය උපරිමයි . ගල් ඉබිමස් කන රංගන නම් ගමේ පානවලින් නැහැවිලා .! ඉතින් ඒ යකඩ ඇඟපත තව සවිමත් වෙලාද මන්දා ?

"
ඇයි උඹ බයද ? හා හා බයයි නම් පලයං පැඟිරියා පලයං !

තවත් ඒ කතා ඉවසාගෙන ඉන්න මට බැරි වුණා ඒත් ගුස්තිය අල්ලන්න කලින් මම තව සියක් වාරයක් හිතන්න වුණා . මූ මගේ අත කඩාවිද ?

"
උඹ බීලනේ බං ඉන්නේ උඹත් එක්ක මොන ගේමක්ද මට මේ වෙලාවේ ?

"
ආ ඒමද පුතා ? උඹ අද මාව පැරදුවොත් මම රෙදි ගලවං පාරේ යනවා !! මයෙ හතර වරිගේම පල්ලා ! යකෝ මට බීවත් එකයි නැතත් එකයි උඹලා වගේ වැනෙන්නෑ අපි . “ඔය අතරේ ජනා කටහඬ අවදි කළා !

"
රංගන..! සඳරු උඹව පැරදුවොත් උඹ රෙදි ගලවං පාරේ යනවා ? අනේ පල යන්න උඹට මේක හෙට වෙද්දී අමතකයි .

"
උඹ ඉඳහන් දෙන්නැතුව . මම දැං කියපු කතාවට මෙතන උන් සේරමලා සාක්කි හරිද ? තොපිට ඇහුණද #$@#$ නේ ! තොපි ඔකෝම සාක්කි .මං කීවොත් කීවා . ඇබැයි මම දින්නොත් සඳරු උඹට මම කවදාවත් රෙද්දක් ඇදං පාරේ යන්න දෙන්නෑ හරිය ?රංගන පිස්සුවෙන් වගේ කියෙවුවා 

වලියට නිතරම බර අපේ ගමේ හිටිය රුක්මන් මහත්තයා මේසයක් උඩ තිබ්බ කෑම බීම සේරම බිමට දාලා පුටු දෙකකුත් තියලා අපේ ගුස්තියට පිටිය සකස් කළා. සමහරු හරි පුදුමයි වලියක් ඇතිවෙන්න ගියොතින් ඒක වළක්වන්නේ නැතිව කළත්තන්න සමහරු හරි කැමතියි. රුක්මන් මහත්තයත් ඒ වගේ කෙනෙක් ..!

ගෙදර උන්නු ගෑනු පවා ජනේල රෙදි උස්ස උස්ස මේ සිදුවීම දිහා බලනවා.සමහරවිට අලුත වැඩිවිය පැමිනුණු කෙල්ලත් බලං ඇති ! . මම කෝමද පස්ස ගහන්නේ . ? මම ගිහින් පුටුවේ ඉඳගත්තා . ලොකූ හුස්මක් මගේ පපුව පිරෙන්නම අරගත්තා ! විනාඩියක් විතර ඒ හුස්ම මගේ පපුවට හිර කරගෙන හිටියා . ආයේ මුදා හැරියා . මම ලැහැත්තියි .

මේසේ මත බාං ගාලා වේගයෙන් තියාපු රංගනගේ යෝධ අත එකපාරටම මගේ අත තදකරලා අල්ලගත්තා . රංගනගේ අත නිකම් ගෝරිල්ලෙකුගේ වගේ..! නිතර කැත්තේ උදැල්ලේ වැඩ කරන නිසා උගේ අත පය මනාව වැඩිලා තිබුණා . යතුරු පුවරුවේ යතුරු සමග නිතර ගැටෙන මගේ අත නම් ඒ තරම් වැඩිලා තිබුණේ නෑ . ඒත් ඉස්කෝලේ යන කාලේ කැඩෙට් ටීම් එකේ හිටි නිසා මගේ අතත් ගැහැනියකගේ අතක් වගේ සියුමැලිත් නෑ! අලවංගුවේ උදැල්ලේ වැඩට මගේ අතත් හොඳට හුරුයි.

"
දෙන්නම වම් අත පස්සට කරගන්න ! මේස පුටු අල්ලන්න එහෙම බෑ !” ඒ රුක්මන් මහත්තයාගේ අණ !
 
අපි පටන්ගත්තා !

විටෙක වමටත් , විටෙක දකුණටත් අපේ අත් හෙමිහිට වැනුණා . රංගනගේ අත වමට බර වුණොත් මම දිනුම් ! දකුණට බර වුණොත් මගේ රෙදි ගැළවෙනවා ! .නෑ අත කැඩුණත් මම අතාරින්නේ නෑ .!
විනාඩියකට වැඩි කාලයක් මේ අත් හටන පැවැත් වුණා මම මගේ උපරිම හයිය යෙදුවා රංගනත් තම උපරිමයෙන් හයිය යොදන බව උගේ මූණ විරූපී වෙන විදිහෙන් මම තේරුම් ගත්තා .උගේ මූණ විරූපි වෙන වාරයක් පාසා මම දිරිමත් වුණා !. මම මගෙ මුලු හයියම යෙදුවා ! ටිකෙන් ටික මගේ අතේ ග්‍රහණය වැඩි කරලා රංගනගේ අත ටික ටික තද කළා . ඇල්කොහොල් රංගනේ සිරුරේ ඉබිමස් මෙළෙක් කරලද කොහෙද උගේ හයිය හොඳටම බැහැලා ..!

"
බාං ! බාං !”
 
රංගනගේ අත දෙවරක්ම වම් පැත්තේ මේසය මත දමා ගහන්න මට පුළුවන් වුණා .! මම දිනුවා .! මම ජයගත්තා !

ජය ගත්තා වගේම එතනින් නම්බු පිට ඉවත් වෙන එක හොඳ බව මට ඉවෙන් වගේ තේරුම් ගිය නිසා යාළුවෝ කීප දෙනා සමග මම එතනින් අයින් වුණේ සෑහෙන පිරිසකගේ විසිල් හඬ සහ පිටට දාපු සුහඳ තට්ටු බට්ටු මැදිනුයි . ඒ විදිහට ගමේ හයිකාරයෙක් වෙච්ච මම එදා නිදාගත්තේ සුබ සිතිවිලි ගොන්නකුත් තුරුල් කරගෙනයි .

පහුවදාට එළි වුණා . ! උදේම වැඩට යන්න ලක ලැහැත්ති වුණු නිසා මට රංගනගේ ඔට්ටුව ගැන හාංකවිසියක්වත් මතකේ තිබුණේ නෑ . හවස වැඩ ඇරිලා ගෙදර ඈවිල්ලා නාලා එහෙම යාළුවෝ ටික බලන්න පාර පැත්තට යද්දී මට ඔය ඔට්ටුව ආයෙමත් මතකෙට ආවා .එදා ගමේ ඉස්කෝලේ පිට්ටනියට එකතුවෙලා හිටපු කොල්ලෝ හැම දෙනාගෙම කතාව වුණේ රංගනගේ ඔට්ටුව .

"
ඔන්න බලාපල්ලකෝ ඕකා මොනාහරි කියලා ඕක කණපිට ගහලා දායි" සමහරු එහෙම කීවා

"
නෑ නෑ ඌ කීවොත් කීවා !තවත් අය එහෙමත් කියනවා .

"
ඒ නරුමයා නෑවිත් හිටියොත් හොඳයි" මගේ හිත ඉඳන් කියනවා ! .

වෙලාව ටිකෙන් ටික ගෙවිලා ගියා අපිත් ගෙවල් බලා යන්න පිටත් වුණා .මග දිගට අඹ ගස් වලට ගල් පොලු ගහමින් ගියපු නිසා ඔය ඔට්ටුව අපිට අමතක වෙලාම ගියා . ඉර රතුම රතු පාටින් බැහැලෑ යන හැටි බලමින් අඩිපාරක් දිගේ ආපු අපි මහපාරට වැටුණා . මහපාර දිගේ අමුත්තෙක් බයිසිකයෙන් යමින් හිටියා . ඒ ගියේ රංගන !

"
අඩෝ රංගේ දැං ඉතිං පැදහං !

කොල්ලෙක් හයියෙන් කෑගැහුවා . මම හූ කිවුවා කලින් තිබුණු බය දැන් මගේ හිතින් මැකිලා ගිහිල්ලා අමුතු හයියකුත් දැනෙනවා සමහරවිට හැන්දෑවේ ඉර අවුව මගේ ඇගට වැටීම හේතුවෙන් සම මත නිපදවුණු විටමින් සී නිසා වෙන්න ඇති !

පාර දිගේ සයිකලේ පැදං ගියපු රංගන මීටර් තුනක් විතර යනකම් අපි කියාපුවා නෑහුණු ගානට සන්සුන්ව ඒ පුස් සයිකලේ පැදගෙන ගියා . ඒත් එකපාරටම බයිසිකලේ අයිනකට තල්ලු කරපු රංගන ඇඳං උන්නු සරම ගලවලා අකුලකට විසික්ක කරලා කමිසයත් එකපාරටම ගලවා පාර මැද්දෑවේ දාලා අපිට පිටුපාලා පාර දිගේ දුවන්න ගත්තා .

ඒ වෙච්ච දේ හිතාගන්න බැරුව අපි මොහොතක් ගල් ඉබ්බෝ වගේ ගල් ගැහිලා බලං හිටියා ..

ලාවට පායපු රාස්සිගේ අවුව රංගනගේ තට්ටමකට වැටිලා දිලිසුණා .!!

පාර දිගේ දුවං ගියපු රංගන කුණු ඇල ගාව වංගුවෙන් නොපෙනී ගියා .! රංගන ඌ දුන්න වචනේ ඒ විදිහටම ඉටු කළා .! ඒත් මගේ හිතේ කිසිම සතුටක් තිබුණේ නෑ .

රංගන කෙළින් කතාවක් ඇති, කීදේ කරන සිරා ඩයල් එකක් කියලා කොල්ලෝ කතාවෙන්න පටන්ගත්තා. ඒ කතා බහ මගේ කනට කටු වලින් අනින්නා වාගේ හැඟීමක් දැනෙවුවා ..

මම කල්පනා කරා...!

මම එදා ගුස්තිය පැරදුනානම් . මම මේ වගේ රෙදි ගලවං පාර දිගේ දුවයිද ? නෑ නෑ ! මම නම් එහෙම කරන එකක් නෑ කටට ආපු මොනවා හරි දෙයක් කියලා ඒක මම මග හරිනවා නේද ? එතකොට මගේ හිත රංගනගේ හිත තරම් සවිමත් නැත්ද ? කොහෙන්ද ඌට ඒතරම් සවිමත් හිතක් ලැබුණේ ?ඌ නිතර දෙවේලේ කන ගල් ඉබිමස් උගේ ඇඟ වගේම හිතත් සවිමත් කළාද ? මට ප්‍රශ්න ගොඩයි .!

ඒ ප්‍රශ්න වලට උත්තර හිතාගන්න බැරි වුණාම ජීවිතේ පළවෙනි වතාවට මට හිතුණා මම කාඩ්බෝඩ් වීරයෙක් වත්දෝ ? කියලා.


Image from - http://us.123rf.com/

90 comments:

Anonymous said...

සිරාවටම අහන්නෙ ඉබි මස් කෑවම ඇඟ පත හයිය වෙනවා කියලා මමත් අහලා නම් තියෙනවා. ඒක ඇත්තද?

අපේ ගෙවල් පැත්තෙත් ඉබ්බො ඕන තරම් ඉන්නවා. හොඳ වෙලාවට මරන් කන උන් නම් නැති තරම්. හැබැයි කුඹුරු වැඩට එන පිට ගම් වල උන් නම් ඉබ්බෙක් දැක්කොත් අතාරින් නෑ. අනේ මන්දා! අසරණ සත්තු...

රංගනයා මරු පොරක්නෙ! මොනවා උනත් උගෙ හිත හයියයි....

පවනි said...

“මම එදා ගුස්තිය පැරදුනානම් . මම මේ වගේ රෙදි ගලවං පාර දිගේ දුවයිද ? නෑ නෑ”
නෑ නෑ මචං.. ගල් ඉබි මස් කාල ඇඟ හැදුනත්, හිතේ හයිය හැදුනත් බුද්ධිය කියන දේ හැදෙන්නෙ නැහැනේ.... අනික ඌ හිතන්නෙ ඒ දවස ගැන විතරයි... ඒත් උඹ ඒ තීරණේ ගන්නෙ සෑහෙන්න දුර දිග හිතලනෙ....
කවද හරි උඹ බඳින ඉන්න කෙල්ල ඕක දැනගත්තොත් එහෙම, ඊටත් වඩා ගුරුවරයෙක් වෙච්ච උඹගෙ ගෝලයො උඹ ගැන මොනව හිතයිද කියල (උඹට දැනුනෙ නැති උනාට ) උඹේ හිත ඒ ගැන හිතල තියෙනව....

අනික උඹ දැන් ඒ දවස් වල වගේ ඉස්කෝලෙන් එලවපු වැඩකට නැති එකෙක් නෙමෙයි...උඹ උඹේ ස්ටෑන්ඩර්ඩ් එකක් හදාගෙන තියෙනව....ඉතින් ඒ තුල අර වගේ මෝඩ වැඩක් කරල තමන්ගෙ තත්වෙ නැති කරගන්න තරම් උඹ මෝඩ නෑ!!!

ඒක අරූගෙ හිතේ හයිය නෙමෙයි බං.. මෝඩකම... ඒක උඹ "හිතේ හයිය" විදියට වැරදියටයි තේරුම් අරන් තියෙන්නෙ.... ඌ ඒ වගේ වැඩ කරන්නෙ ඌට නැති වෙන්න දෙයක් නැති නිසා... ඒ උනාට උඹට එහෙම නෑ නෙ.... උඹට උඹේම කියල බලපොරොත්තු ප්රතර්ථනා ගොඩක් තියෙනව නෙ... (මම කිවුවෙ ඉස්කෝලෙන් එලෝපු, ඒ දවස් වල නැති උනත් දැන් එහෙම ඒව තියෙනවනෙ..... ;) )මම හරි නේද මචො???

Weni said...

සඳරූ දිනූ එක හොඳයි. නැත්නම් රංගන කිව්ව දේ කරනවා..සඳරූ ගෙදරින් එලියට බහින හැම වෙලාවෙම රංගන ඇවිත් ගලෝනවා බොලා ගෙ රෙදි ! මොනා හරි කරල ගනින් මලේ 3D ටීවී රාජයෙක් ! එතකොට හරි..

Gimhani said...

අම්මෝ සඳරූ පැරදුනානම් එහෙම ....

Anonymous said...

ඔන්න ඔහොම එවුන් එක්ක පුළුවන් තරම් ෆිට් වෙලා හිටපං සඳරු. කවදාවත් වාසියක් මිසක් පාඩුවක් වෙන්නේ නෑ....

Raj said...

උබත් දාගන්න ලේඩ බං...මචො ඔය රංගනයා ඇත්කරලා තියාගන්න ජාතියේ එකෙක් නෙවෙයි..ඔකාව අඹයාලුවෙක් කරගනිං...උබ කියලා තියෙන කතාවේ විදිහට ඌ නං සීරා පොරක් බං...
එක නේවී උබ ඉන්නේ අනුරාධපුර පැත්තෙද බං

ayesha said...

අපූරු කතාව..

හරී - පිණිපළස said...

ඔක්කොම හොඳයි මල්ලියෙ, උඹේ බීම තමයි නරකම !!!

Unknown said...

රංගනයා සිරා බුවෙක් නේ..පට්ට ගටක්‌ තියෙන්න එපැයි ඉතින් ඔහොම කරන්න..

පූසා said...

"සමහරවිට හැන්දෑවේ ඉර අවුව මගේ ඇගට වැටීම හේතුවෙන් සම මත නිපදවුණු විටමින් සී නිසා වෙන්න ඇති"

ඈ බං හැන්දෑවේ ඉර අව්වට විටමින් සී ද ලැබෙන්නේ? :D

ඔය ඉබිමස් කන උන්ට ඉන්ජෙක්සන් ගහනකොට කසු නැමෙනවයි කියනවනේ?

මාරයාගේ හෝරාව said...

රංගනයා එළ පොරක් සඳරුවෝ...
හැබැයි උඹත් එළ පොරක් ‍අරූ රෙදි නැතිව ගියා ව‍ගේ උඹත් මේ රෙදි නැතිවම කියලා දාලා තියෙන්නේ ඉස්ටෝරිය...

අර පවනි කිව්ව දේටනං එකඟ වෙන්න බැහැ..මිනිහෙක් තමන්ගේ වචනය ඒ හැ‍ටියෙන්ම තියනවා කියන්නේ මෝඩකම කියලා මං පිළීගන්නේ නැහැ... ඒ වගේම එදා ඒකා එහෙම නොකලං අද ඌ නිකංම නිකං පජාති පොරක්නේ.. ඒත් ඌ පැරදිලත් උගේ වචනේ තිබ්බ එකෙන් ඌ පොරක් බවට පත් උනා.. නියම කතාව මලේ...

ෂික් තෝ පැරදුනේ නැහැනේ... එහෙනං ඔය ගමේ තව එකෙකුට කවදා හරි බ්ලොග් එකක ලියන්න තිබුනා මෙහෙම...

"අනේ ඉතිං අපේ සඳරු සර් පංතිය ඉස්සරහට වෙලා අපිත් එක්ක කතා කර කර එහා පැත්තෙන් හිටිය අක්කා කෙනෙකුට පැණි හල හල ඉද්දී එතනට ආව සඳරු අයියලගේ ගෙවල් පැත්තේ අයියලා කට්ටියක් එයාට හූ කිය කිය කොලොප්පං කලා.. මේ කරදරේ ඉවසන්න බැරිම තැන සඳරු සර් අපි කවුරුවත්ම නොහිතපු විදියට එක පාරටම කමිසෙයි බැනියමයි ගලවලා දාලා කලිසමත් ගලවලා විසිකරලා ඇඳන් හිටිය අමුඩෙත් දිය ලණුවත් එක්කම උනා දාලා පාර දිගේ යන්න ගියා.. අපි සර්ගේ මැස්සෝ බීපු පස්ස දිහා පලන් හිටියේ මොකක් උනාද කියලා හිතාගන්නවත් බැරිවයි... අර ළග හිටිය අක්කලා මර ලතෝනි දීගෙන දුවන හඩ ඇහුනේ ටික වෙලාවක් ගියාට පස්සෙයි..."

හැක හැක...

සාතන් said...

උඹත් මාර පොරක් බන්...

පවනි said...

මාරයාගේ හෝරාව - නෑ මහත්මයා මම කිවුවෙ ඌ කියපු දේ කරන එක මෝඩකමක් කියල නෙමෙයි....
“මිනිහෙක් තමන්ගේ වචනය ඒ හැ‍ටියෙන්ම තියනවා” කියල කිවුවට හිතන්න මහත්මයා ඔබ ඒ තත්වෙ හිටිය නම් කවදාවත් ඒ වැඩේ කරනවද? නෑ නේද? අන්න ඒකයි මම කිවුවෙ මෝඩකම කියල....
:)

``` Outsider``` said...

අහිංසක සත්තු මරාගෙන කාල ගොඩ නගාගන්න ඇත්ත වීරකමට වඩා උඹේ කාඩ්බෝඩ් වීරකම හොඳයි බං

MUHUDU said...

මේ කතා වල මම ආස, සත්‍ය සිදුවීමක් අවසානයෙ හරියට ප්‍රබන්දයකටත් වඩා හොඳ ක්ලයිමැක්ස් එකක් තියෙනව. සුපිරියි!

Ru_Sirini said...

හපොයි මලේ ගුස්තියක් අල්ලලා කරගත්ත දෙයක්!
ඒක නෙවෙයි,ඔය දිව්රිලි ගැන කියනකොට මතක් වුනේ සමහරු “බිල් ගේට්ස් පල්ලා“ කියලත් දිවුරනවා නොවැ. තාක්ෂණයේ දියුණුව!

මාරයාගේ හෝරාව said...

@පවනි... අපොයි ඔය මහත්මයා කෑල්ල හලන්ට..මං නිකංම නිකං මාරයා විතරයි...

ඔයා හිතනවද මං ඔය ඔට්ටුවෙන් පැරදුනානං ඒක නොකර ඉඳී කියලා...?

හැබැයි තව එකක් තියෙනවා මං ලේසියට ඔට්ටුවක් අල්ලන්නේ නැහැ දිනන්න බැරිනං..මං ඔතන හිටියනං කරන්නේ මට අවාසි දායකයි වගේ කියලා තේරෙනවනං "මචං රංගන මට උඹව පරද්දන්න බැහැ බං.. නිකං මොකටද බැරි වැඩ කරන්න යන්නේ කියලා ඇත්තම කියලා ඌට දිනුම දෙන එකයි.." හැබැයි මගේ ගණනය කිරීම් වලට අනුව දිනන්න පුළුවන්නං මං ඕනම වෙලාවක ඔට්ටුවක් අල්ලන්න දෙපාරක් හිතන්නෙත් නැහැ.

Anonymous said...

අවුට්සයිඩර් කියන එකම තමයි මට කියන්න තියෙන්නෙ!

Gayan Rupasinghe said...

බොල කොහොමහරි උබ දැන් දිනුවනේ එච්චරයි.... උබ නම් එල කොල්ලෙක් බං,,,,,,

ජය වේවා..

Podi Kumarihami said...

මට පේන්නේ රංගන වීරයෙක් වගේ. මොනවා උනත් කියන දේ ඉෂ්ට කලානේ...:)

නදී said...

හික්z ඇත්තටම ඒ පොරොන්දුව ඉෂ්ථ කරා කීවම හිතා ගන්නත් බෑ."රංගනයා මාර පොරක්නේ"

duliponline said...

හික් හික් . . . මාත් ඔහොම ගිය හැටි මතකයි . . . මට හොඳ හැටි මතකයි . . .

හිරණ්‍ය said...

හෙහේ, නියම කතාව.
මම හිතන්නේ ඇඟ ශක්තිමත් වෙනවා කියල හිතාගෙන හා මස් කෑවත් ගතේ කොහොම වුණත් හිතේ හයිය නම් වැඩි වෙන්න පුළුවන්. අනිත් එක නිර්භීතකමයි මෝඩකමයි අතරේ වෙනස හොයන්න අමාරු අවස්ථාවන් සෑහෙන්න තියනවා.

පවනි said...

මාරයාගේ හෝරාව - අහ්... එහෙනම් සඳරු ට වගේ මචෝ කියල කතා කොරන්නම්කො...

ඔව් මම හිතන්නෙ එහෙම කරන එකක් නෑ!

ඔට්ටුව - ඒකනෙ බං... තමන්ට දිනන්න පුලුවන්.. කොහොමත් සඳරුවත් ඔය ඔට්ටුව අල්ලන එකක් නෑ අරූ හොඳ සිහියෙන් හිටිය නම්... අල්ලුවත් ශේප් එකේ මාරු වෙන එකනෙ කොරනව කිවුවෙ පැරදුනොත්....
:D

පබලු said...

රන්ගන රන්ගනගේ පාර්ට් එක කලා..ඔය ඔයාගේ පාර්ට් එක කලා.එච්චරයි ..දෙන්නම තම තමන්ගේ කොටස් වලදි උපරිමය කරා.. ඔන්න ඔහොමයි මට හිතෙන්නේ..
හැමදාමත් වගේ ඔයා ලියනව විදියට මම කැමති

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මම දකින්නේ මෙතැන ඉන්න අවිහිංසක ගැමි චරිත ගොඩක්, ගැමි විදිහට නිර්ව්‍යාජ හැසිරීමක්, බලන්න අපේ මේ නාගරික පුහු වීරයෝ තුවක්කු, කඩු, පිස්තෝල එක්ක කරන බොරු වීරකම්. ඒවත් එක්ක බලත්දි මේ මිනිස්සු හරිම තාත්විකයි. සදරූ ඔබත් රංගනත් මේ දෙන්නම මට නම් වීරයෝ, ඔබ ඔබේ හෘද්‍ය සාක්ෂියට වීරයෙක්. ඒක පේනවා ලියවිල්ලෙ අවසාන වාක්‍යවලින්. රංගන උපරිමයි. මලේ මේ පුහු වීරයන්ට උඹලා හොඳ ආදර්ශ. අදත් කථාව නම් කියන්න වචන නැහැ.

Praසන්ன said...

එළ කතාව වගේම රංගනයත් එළ පොරක් තමයි.
වැඩි දෙනෙක් කියල තියෙනව ‍වගේ ඒ වගේ උන් තරහ කරගන්නෙ නැතිව ෆිට් එකේ තියාගන්න එක තමයි හොඳ.

@ මාරයා- ඒ විදිහට උනානං මර ලතෝනි නෙමෙයි අක්කල කට්ටියටම නූල් බඳින්න වෙනව. :D

Prabhath said...

සඳරුට වගේම මෙතනිං කාටත් හොද ආදර්සයක් නම් ලැබුනා. මොන හයියක් තියෙන බුවෙක් වුනත් ඇල්කොහොල් හමුවේ බලු වෙන විත්තිය. ෂැහ්. මරු ඈ

පිස්සා පලාමල්ල said...

සිරා කතව බන්.... මොනව උනත් රංගනය සිරාවටම පොරක් බන්... නැත්තම් ඉතින් දිවුරුවත් නිරුවස්තරයක් ඇදන් ඇවිදිනව කියන්නේ...

ශා උබ පැරදුනනම් මොනවයින් මොනව වෙයිද මන්ද.... අර මාරය අයිය කිව්ව වගේ වෙයි නේ බන්... අනේ අම්මෙ අර පුංචි සර් ගේ පන්තියේ ඉන්න කෙල්ලො දුසිම් 3 - 4 විලාප තියයි... හික් හික්....

උබ ලියනව හරිම අව්‍යාජයි බන්... ඒකට මම හරිම කැමතියි

Anonymous said...

ඉබිමස් කෑවහම ඇත්තටම ඇඟ හයිය වෙනවද? මොනව උනත් රන්ගන නම් මරු...

සරත් ලංකාප්‍රිය said...

උඹ හිතන විදිහට මන් කැමතියි.. නියම ශක්තිය මොකක්ද කියල හොඳට වටහාගෙන.. ඔය ඉබ්බෝ මරණ කාපු මස් වැද්දා පරාද නොකලානම් හෙළුවෙන් යායුතුව තිබුනා තමයි..

අමා said...

මටත් හිතෙන්නේ රංගන නියම පොරක් කියල.
මොනා නැති වුනත් මිනිහෙක්ට තනි වචනයක් තියෙන්න ඕන...
හැබැයි වෙද මහත්තය කිව්වා වගේම සඳරු ඔයා කාඩ්බෝඩ් වීරයෙක් කියල කියල හිතන්න බැහැ. ඔයා හෘද්‍ය සාක්ෂියට වීරයෙක්!

දුකා said...

උඹ පරාද වෙයිද කියලා අන්තිම වෙනකම් මගේ ඇඟේ ලේ වතුර වෙලා තිබ්බේ . . .

හප්පේ ඇති යාන්තම් . . .

නෑ යකෝ බොලා ගැන දුකට නෙමේ . . අහල පහල උන් ගැන දුකට . .

බොලාව හැමදාම උදේට රංගනයා නිරිවස්තර කොලාම අහල පහල උන්ට උදේම දකින්න ලැබෙන්නේ කොයි තරම් අසෝබන සීන් එකක්ද බන් . .

ඒකයි මම කිව්වේ . . හික්ස්

Anonymous said...

// ගෙදර උන්නු ගෑනු පවා ජනේල රෙදි උස්ස උස්ස මේ සිදුවීම දිහා බලනවා.සමහරවිට අලුත වැඩිවිය පැමිනුණු කෙල්ලත් බලං ඇති ! . මම කෝමද පස්ස ගහන්නේ . ? //

බුදු අම්මේ ඔව් බන්. දෙයියම්පා අර කෙල්ල පල්ල. මලත් උඔ පස්ස ගහල කොහොමද ?
වාසනාවට අරූ වෙඩිතියා ගන්න කතා නොකලෙ. නැත්නම් උඔ ඒත් යයි. ඇයි චීත්තෙකට නෝන්ඩි වෙන්න පුලුවන්යැ.
අදත් කතාව එල මචන්. උඔ කතාව පටන් ගත්දි නියමෙට පසුබිම හදාගෙන එනවා. කියවන අපි හිතෙන් එතෙන්ට යනව වගේම කියවල ඉවර වුනාම අපි හරියට බලන් හිටිය වගේ තමයි හිතෙන්නෙ.
අනික වැඩේ කියන්නෙ මේ කතා කාලයක් මතක හිටිනවත්නෙ බන්.
ජය වේවා මචෝ.
JH

Sanjaya සිතුවිලි said...

මාර පොරක්නේ .....

Unknown said...

නියම කතාව. රංගන එල බුවෙක්නෙ බලාගෙන යනකොට.

sameera said...

අඩේ එතකොට රන්ගන ද මෙතන වීරයා ......... එතකොට අපේ සදරු කොලුවා !

මාධව විදුරංග said...

ranganaya maru bn! uba apahu uu ekka set weyan! mm mona unath uu ela kollek! mmm :) :)

maxxa kathawa! habai ibi mass kaala idapu eeka beela nathi welawaka nam ube atha thamai bima wadinne! uba thamai wana wana duwanne gama watee! :D :D

පැන්ඩා said...

කැම්පස් වල හොස්ටල් වල කොල්ලො නාන්න බාතෘම් එකට දුවන්නෙත් ඔහොම තමයි..හැබැයි අපේ එකෙ නම් නැ හොද ද..දවසක් එකෙක් ගෙදර ගියාම පොරට අමතක වුනාලු ගෙදර කියල..කුස්සිය මැදින් ලිඳ දිහාට දුවද්දි අම්ම කැ ගහන කොට ලු මතක් උනෙ අඩෙ මම නිවාඩු කාලෙට ගෙදර ඇවිත් නේද කියල

සීතල අයියා said...

හෆොයි.. මාර නෝං‍ඩියනෙ..සිරාවට අර මාරයියා කිව්වා වගේ සිද්ධිය උනානම්.චික්.. :/

Observer said...

සඳරුවො, උඹ ඇත්ත කතා ප්‍රබන්ද වගේ ලියනවද, නැත්තන් උඹේ ප්‍රබන්ද ඇත්ත වගේ ලියනවද... මට නං හිතා ගන්න බැහැ....හෙහ්...හෙහ්..හෙහ්...කොහොම වුනත් උඹේ කතා නං නියමය්

cjgayan said...

ෂහ් කියලා වැඩක් නෑ. කතාව නම් සුපිරි. බලාගෙන යනකොට මෙතන සඳරෑව නිකන් දෙකේ කොලේට වැටිච්ච එක තමයි වාවන්නෙ නැත්තේ

ලකී සිරි said...

පවි..ඌට ඇල්කොහොල් හින්දා අන්තිමට රෙදි නැතුව යන්න උනා....මටනම් ඒක වීර කමක් විදිහට පේන්නෙ නැහැ..හැබැයි කිව්ව දේ කරන එක නම් හොඳ ගතියක්.

පිස්සු කතා කියන්න එපා සඳරූ..උඹත් වීරයෙක් තමයි ...රංගන කරන වැඩ උඹට කරන්න බැරි වුනාට ඌට බැරි කොච්චර වැඩ උඹ කරනවද ?

තාරක Dilsh@n said...

දැක්කනේ සඳරු බිව්වහම තියෙන පවර් ඔක්කොම බහිනවා... ඒ හින්ද නොබීම ඉන්න බලපන්...

Bindi said...

මරු චරිත ටිකක් . හරිම ලස්සනට ලියල . අනේ මන්ද අවන්කකමද මොකක්ද කියල . සඳරු දිනුව එක නම් හොඳයි .පැරදුනා නම් වස ලැජ්ජාව .

කස්ස said...

අපරදේ, උඹ පැරදෙන්න තිබ්බෙ බං.එහෙම උනා නම් අර රාස්සිගෙ අ උව උඹේ ත්ට්ටමෙනෙ.මම එහෙම කිවුවෙ මොකද දන්නවද?උඹ පැදුනා නම් අරූ බලෙන් හරි උඹව නිරිවස්තර කරනව.

widanarala said...

අම්මේ අති යන්තම් මලේ.... උඹ දිනපු කතාවක් වැටනකං බලාගෙන හිටියේ....
රංගනයා දිව්වේ උඹ්ලට පිටිපස්ස හරවාගෙන නේද? එහෙනම් බොලයි ගමේ අමුඩ ඇඳං කුඹුරු කොටන මිනිස්සු ඔක්කොම පොරවල් නේද?

හිස් අහස said...

@විසිතුරු | visituru=ඉන්ජෙක්සන් කටුවකට සිරුර සිදුරු කරන්න බැරි තරමට ඇඟපත සවිමත් වෙනවා ඉබිමස් කෑවාම උගේ හිත හයියලු ඇයි මගේ හිත ?
.............................................................................................................................
@පවනි = කතාව ඇත්ත මටනම් එදා දවසේ ගමේ කොල්ලන්ට වීරයෙක් වෙලා කතාවට හොඳ වීර අවසානයක් දෙන්න බැරිවෙනවා .එහෙම කලා නම් කෙල්ල නම් මාව බඳින එක අතෑරලා දානවා . උඹගේ කමෙන්ට් එක දකින්න කලින් මම මෙවුවා හිතුවේ නෑ ඒත් මට දැන් හිතෙනවා මම වෙලාවට එහෙම නොකලේ කියලා
.............................................................................................................................
@Weni = සහෝදරී නෑ නෑ ආ සොරි වෙන්ඩ අයියා ! . ඔවු ටීවී රාජයෙක් ගන්ඩ මට පුලුවන් මාස 14 විතර පඩිය එකගට එකතු කරාම :) කොහොම හරි මම දින්නනේ
.............................................................................................................................
@Gimhani= ගමේ ගොඩක් ගෑනුඅය මම පරදිනවට ආසාවෙන්ලු ඉඳලා තියෙන්නේ . බ්ලොග් අවකාසෙත් එහෙමම නොවැ බලානයද්දි !
.............................................................................................................................
@prasanna86k = ඉබ්බෙක්ව වත් කන්ඩ බැරියැ උඹ කියන කතාවත් ඇත්ත
.............................................................................................................................
@Raj= ඌව අතේ දුරින් තියාගන්න ඕන දැන්නම් ඌ මගේ සාමාන්‍ය ෆිට් එකක් . ඈ බොල උතුරු වැවු කීවාම මතක් වුනේ අනුරාධපුරේ විතරමයි උඹට ඈ . ඇයි තව පරවුඩ පැති කීයක් තියේද ?
.............................................................................................................................
@ayesha= තැන්කිවු
.............................................................................................................................
@හරී - පිණිපළස = ඒකත් ලඟදීම පුල්ස්ටොප් තියාවි
.............................................................................................................................
@ChammA= උඹත් උගේ පැත්තේ එහෙනම් චම්මා !
.............................................................................................................................
@පූපූසා =ඇයිබං ඩීද ලැබෙන්නේ ? මට වැරදිලාද මන්දා ?
.............................................................................................................................
@මාරයාගේ හෝරාව = අඩේ මේ මට මැස්සෝ බීපු වගේ පස්සක් තිබුනේ ඉස්සර ! කොස් වාරේ ඉවර වුනාට පස්සේ මට දැකුම්කලු පස්සක් ලැබුනේ කවුරුත් නොහිතපු විදිහට .අනික ගමේ ගෑණු අය ගොඩ දෙනෙක් පඬුරු හිටං ගැටගහලා බාරහාර වුනාලු මම එදා පරදීවා කියලා .. කෝමද ?
.............................................................................................................................
@සාතන් = පොරක් නම් තමා දෙයියා
.............................................................................................................................
@Outsider=ජය වේවා බං ! මීපැණි පාරක් ඇහැට ගැහුවා වගේ ..
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = උඹට තව කමෙන්ට් එකකින් මට කියාදෙන්න වෙනවා ක්ලයිමැක්ස් කියන්නේ මොකටද කියලා ? අනේ මේක දුටු හැටියේ කියපං ඈ
.............................................................................................................................
@රූ = පවු අර අසරනයා ! ඒ මිනිහගේ සොෆ්ට්වෙයාර් ටික අපි හොරට අරගෙන ඌව අරං දිවුරනවා පවු නේද ?

හිස් අහස said...

@තනි අලියා= මීපැනි පාරවල් දෙකයි සිරාවටම
.............................................................................................................................
@Gayan Rupasinghe=අපි ආයේ කොතන ගියත් එන්නේ දිනලා ! හරී
.............................................................................................................................
@Podi Kumarihami= හ්ම් . කෙල්ලෝ ඔහොම්මයි !
.............................................................................................................................
@නදී = චිහ් කෙල්ලෝ ටික අර අමුවෙන් ගිය එකාගේ පැත්තේ අද මං තනියම
.............................................................................................................................
@ඕනයා= ඈ උඹත් ඔට්ටුවක් ඇල්ලුවාද ? පංචිකා වත්තේ ඉඳන් බොරැල්ලට ගියාද මචං
.............................................................................................................................
@හිරණ්‍ය= ජයෙන් ජය ලොක්කා . එකම දෙයක් දෙස දෙවිදිහටක මෙතන අය බලනවා අද
.............................................................................................................................
@පබලු = අන්න හරි අපි ඔන්න ඔය පරන කතාවක් ඇදගෙන ඒක කියලා සතුටුවෙමු අක්කන්ඩි
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා=මමත් හිතනවා වෙන පලාතක මෙහෙම ගැටුමක් ගියානම් ඒක හෙන ලොකු යුද්දයක් වෙනවා මම නුවර ඉන්න කාලේ ඒ පැත්තේ කොල්ලෝ ඉස්කෝල ඉස්කෝල කාන්ඩ හැදිලා ගහමරා ගන්න හැටි නිතරම දැක්කා යන්තම් පොඩි වලියක් දාගෙන හවසට ආයේ එකතුවෙන අපේ ගම කොයිතරම් වෙනස්ද කියලා මට හිතුනා
.............................................................................................................................
@Praසන්ன= බලමු ඌව ෆිට් එකේ තියාගන්න හැබැයි මටත් වෙන්නේ සරපයා බෙලේ දාගෙනෙ බයට හිනාවෙච්ච කෙනා වගේ ඉන්න තමා :)
.............................................................................................................................
@Prabhath Darshana = ඔන්න ඕකයි මම ලොකු තැන්වල නොබී ඉන්නේ . ඒක නියම පානයක් ඒත් හරියට බොන්න වෙනවා
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = මම නම් හිතන්නෑ ගෑණු අය ටික බය වෙයි කියලා එයාලා චියර් කරන්නත් බැරි නෑ මම උඩදී කීවා වගේ ගෑණු අය නම් මම දිනනකම් ආසාවෙන් බලාන ඉඳලා මොකද රංගන කලු එකෙක් නේ එහෙමද මම
.............................................................................................................................
@කින්නරාවි =ඇඟ හයිය වෙනවා වගේමයි අක්කේ උස යනවා !
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = තවත් පැණි කමෙන්ට් එකක් මාර සතුටුයි ඇහැට මීබිඳු වගේ මේ කමෙන්ට් එක .මම ඉබ්බන් මරන්නෙක් නොවෙමි
.............................................................................................................................
@අමා = ඒකම තමා සතුට අපි ඉතින් ඔන්න ඔවුවා අල්ලා දාලා මෙන්න මේ කතාවක් දෙකක් අහලා සතුටුවෙමු .
.............................................................................................................................
@දුකා = හැබැයි දුකා අයියේ ගමේ අක්කලා නංගිලා නැන්දලා , ආච්චම්මලා මම පරදීවා කියලා හිතින් බාර හාර වුනාලු එදා ! ඔන්න බලන්න
.............................................................................................................................
@JH = අඩේ එදානම් මොනදේට කතා කලත් මම පස්ස ගහන්න යන්නේ නම් නෑ ඇයි අච්චර ගමේ ගෑනුගොඩ මැද්දේ කෝමද මම දෙකේ කොලේට බහින්නේ ? කාන්තාවක් ඉන්න තැන පිරිමින්ගේ සක්තිය කොහොමත් වැඩිවෙනවා ඇඩ්‍රිනලින් උපරිමේට ගාටන්නේ ඔන්න ඔයවගේ අවස්ථාවල

හිස් අහස said...

@Sanjaya සිතුවිලි = මමද ? තෑන්කිවු
.............................................................................................................................
@නිසූපා = හෙහ් අපිටත් බැරියැ ඔහොම දුවන්න නම් !
.............................................................................................................................
@sameera = ඔය කෙල්ලංගේ ඉරිසියාව බං උන් හදන්නේ මාවත් එහෙම දුවන්න්න
.............................................................................................................................
@මාධව - மாதவ - Madhawa= ඔවු උඹට කියන්න ඕ දවසක් බතලම බතල බුවෙකුට ගැහුවා කරේ තියාගෙන ඉබිමස් වල හයිය බං ඒකත් අර තහනම් උතේජක ගත්තා වගේ වැඩක් තමයි
.............................................................................................................................
@පැන්ඩා = මම සමහර ෆිල්ම් වල දැකලා තියනවා ඔය කතාව නම් අප්පට සිරි උඹලාගේ යාලුවාගේ බාත් රූම් එක එලියේ තිබුනේ නැත්තේ වෙලාවට . ලිඳක් එහෙම තිබ්බා නම් ගොඩේ ගොඩ .
.............................................................................................................................
@සීතල අයියා = කෙල්ලෝ නම් කෑගහන එකක් නෑ කියලා මට ටක්කෙටම කීව හැකි
.............................................................................................................................
@Observer = ඇත්තටම ඔය තට්ටමට අවුව වැටිච්ච එක ඇරෙන්න අනික් සියල්ලම ඇත්ත අයියේ සත්තයි ඇත්ත
.............................................................................................................................
@cjgayan = මුං හදන්නේ මාවත් රෙදි නැතිව දුවවන්න බං !
.............................................................................................................................
@ලකී = මම නිමට එහෙම හිතුවට මගේ ඇඟ ඇතුලෙත් ඉන්නවා ආඩම්බර කාරයෙක් . කීව දේ කරන එක මාගාවත් තියනවා ඒත් මම බැරි දේ බාරගන්නේ නෑ කෙනෙක් මගෙන් මොනාහරි ඉල්ලුවාම මම කියන්නේ " ට්‍රයි කරන්නම්" කියලා . කවදාවත් හා කියන දේ කියන්නෑ
.............................................................................................................................
@තාරක Dilsh@n = ගල් හිත් දියකරන ඔසුවකි මධු පැන් ! ඔවු මචං සත්තයි ඇත්ත
.............................................................................................................................
@බින්දි = මම පැරදුනානම් හෙම මොන හරි සුකුරුත්තමක් දාලා ඔය ඔට්ටුව වෙනස් කරනවා හක හක
.............................................................................................................................
@කස්සා = නෑ මචං මම මොන දහංගැටේ හරි දාලා ඕකගෙන් එහෙනම් බේරෙනවා ,මම මීට කලිනුත් ඔය වගේ ගේම් වලින් අනන්ත බේරිලා තියනවා
.............................................................................................................................
@widanarala= ඉස්සරනම් අපේ ගමේ ගොඩ දෙනෙක් අමුඩ ගං තමා කුබුරු කෙටුවේ හෑවේ . ඒත් දැන් වෙනස් . දැන් හැමෝම කොට කලිසමට බැහැලා .

Anonymous said...

හිතෙ හයියයි මෝඩ කමයි දෙකක් යාලු...ලැජ්ජා බය නැති එක වීරකමක් නෙමෙයි අනේ...රන්ඩුවක් වෙද්දි උනත් තම පමණ පෙන්නනට යනවට වඩා..ජාමේ බේරන් ගෙදර එන එක මට නම් වටිනවා..

Abeetha Edirisinghe said...

අම්මගෙන් ඉල්ලගත්ත රු 500ක් ලියුම් කවරයක දමාගත්තු මමත්

ගෙදර උන්නු ගෑනු පවා ජනේල රෙදි උස්ස උස්ස මේ සිදුවීම දිහා බලනවා.සමහරවිට අලුත වැඩිවිය පැමිනුණු කෙල්ලත් බලං ඇති ! .

ලාවට පායපු රාස්සිගේ අවුව රංගනගේ තට්ටමකට වැටිලා දිලිසුණා .!!

උඹේ කථාවල මෙන්න මේවට තමයි මම ආසම.....

ඉන්දික උපශාන්ත said...

පොරොන්දුවක් උනානම් ඒක කරන එකා තමයි නියම මිනිහ!
ඔය ඉබිමස් කතාව අමු බොරුවක්. අහින්සක සත්තු මරන්න බොරු ප්‍රචාර නොදී ඉඳිං.

Dinesh said...

රංගනයා ජෙනෙවින් පොරක්නේ... දැං ඔන්න අපිත් එහෙම කියනවා කියලා උබ අප්සට් ගන්න එපා... මම හිතුවෙම උබ ගේම පරදියි කියලා.. ඒත් ඒ දිනුමේ තව ගැම්මක් එනවා පොර බීපු නැති වෙලාවක් උනානම්.. ඒත් එහෙම උනානම් ඔය කියපු විදිහට මලයා පරදිනවා...
දැංවත් ඉබි මස් ටිකක් කාලා ඇග හදා ගනින්...

ශ්‍රී said...

හික්ස්... තවත් මරු කතාවක් බං!

Dude said...

රංගනයා පොරොන්දුව ‍රැක්කා. සඳරූ උපක්‍රමශීලීව වැඩේ දුන්නා. ඒකනෙ නොබී හිටියෙ.
නියම කතාව.
henryblogwalker the Dude

දේව් ගේ අඩවිය said...

හැමදාම වගේ අදත් මම පරක්කුයි මල්ලෝ... එත් හැමදාම වගේ කථාව නම් මම මිස් කරලාම නැ... ඇත්තටම රංගන අපේ ගමේත් ඉන්නවා.. ඔය ඉබි මස්ම කන... එත් මලයා අපේ ගමේ නෙමේනේ... හිකිෂ් එහෙම උනා නම්.. කොහොම උනත් මලයාත් තැනට සුදුසු මොලේ පාවිච්චි කරලා තියනවානේ දෙන්නම අදහන්න ඕන මිනිස්සු තමා

සයුරි said...

ඔයාගේ ජිවිතේ හරියට ෆිල්ම් එකක් වගේනේ මල්ලි....එකක් නෙමෙයි 50 ක් 60 ක් විතර. හරිම ලස්සන අත්දැකීම් :)

මම ගොඩක්ම කැමති ඔයා අන්තිමට දාලා තියන වාක්‍ය ටිකට. ඒකෙන්ම ඔප්පු වෙනවා ඔයා නියම වීරයෙක් කියලා....

Weni said...

අම්මපල්ලා සඳරුවො, කතාව නම් එළ පහයි.. දෙයියම්පා දැන් තුන්සැරයක් කියෙව්ව.. උඹපල්ලා තව 2-3 සැරයක්වත් කියවන්න ඕනි. සත්තම්පා (ඒ වචනෙ නම් මම ඇහුවමයි!) මෙහෙම ලිව්වොත් බ්ලොග් කියන එව්ව සෑහෙන තැනකට ගේන්න පුළුවන් !

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

දිවුරිල්ලට මුවාවෙන කාටත් මේක ලොකු පාඩමක් . මටත් ඒ ටිකම තමයි . ඒකයි ඇත්ත . මගේ කටෙත් ඔය දිවුරිල්ල අනන්තයි අප්‍රමානයි . මට ඇත්තෙන්ම ලැජ්ජාවක් දැනුනා . ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජා වෙන්න එපා කිව්වාලුනේ කවුද . නියමයි . . . ජය . . . !

සංකල්ප said...

කිව්වත් වගේ ඉබිමස් වලින් අරූගේ හිතත් සක්තිමත් වෙලාද දන්නේ නෑ. මම නම් කියන්නෑඉ මල්ලි ආයේ ඔය රංගයා එක්ක ගුස්තියට යන්නෙපා. නැත්නම් වස ලැජ්ජාවයි වෙන්නේ.

පැණි දොඩම් said...

මේ පැත්තෙ නම් දැන් බේතකටවත් ඉබ්බෙක් හොයාගන්න නෑ බං. (ඇත්තටම බේත් වලට ඉබ්බො ගන්නවද) ඉස්සර නම් හෙනට හිටියලු. පට්ට කතාව බං මේක නම්. ෂිහ් ඔහොම සීන් නෑනෙ බං මෙහෙ.

තරිඳු said...

ගමේ නිසා කමක් නෑ..අපේ පැත්තේ දිවුව නම් අනිවා ගල් ගහලා මණවා හික් හික්........

Raj said...

ඉතින් උබම කියහංකො ඔච්චර අගේ කොරන්නැතුව....හෑ පොලොන්නරුවෙද...කන්තලේද....එහේමත් නැත්තං...රාජාංගනේ...ඔය කොයිමායීමෙදැ....

Chamila said...

මරු...!! හැබැයි දැන් නන් ලංකාවෙ ගොඩක් පැතිවල එවුන් රෙදි ගලවන් තමයි කොහොමත් පාරෙ යන්නෙ. විශේෂයෙන්ම චන්දෙ ඉල්ලන කට්ටිය එහෙම...

Beetle said...

මොනා කිව්වත් මේ සැරේ නම් උඹ පරාදයි... රංගනයා දිනුම්... :)

ක්සැන්ඩරයා said...

මාර කතාව.. රංගන බොනවා කියන එක දැනගෙන නේද උඹ නොබී හිටියේ? හැබැයි රංගන මොනවා උනත් ජෙනුයින් පොරක්. එහෙම එකෙක් වෙන්න හොඳ ගටක් තියෙන්න ඕනේ.

Anonymous said...

please put few more post about rangana. I think we will have few interesting stories about him.

දුශ් said...

මට නම් පෙන්නේ මේ රංගන කියන්නේ අමු බය ගුල්ලෙක්... එකට සාක්ෂි උබ කතාව ඇතුලෙම තියනවා....
"ගමේ උදවිය කතා වෙන විදිහට පරම්පරා හතරකට උඩදී ගමේ හිටපු මැම්බර් මහත්තයා මියැදුණේ බොරුවට දිවුරීමේ ප්‍රතිඵලයක් විදිහටලු .එදා ඇස් පනාපිටම බොරුවට දිවුරීමේ ආනිසංස දැකපු ගමේ ඇත්තෝ ඉන් පස්සේ දිවුරීමක් කළේ සියක් වාරයක් හිතලා මතලා විතරමයිලු"

රංගන කියනේ නුගතෙක්, උත් උබලගේ ගමේ හැමෝම වගේ.. මේ කතාව විස්වාස කරා.. රෙදි ගලවන් පාරේ යනවා වගේ.. පොරුන්දුවක් ඉෂ්ට කරා කියල කාටවත් වෙන සෙතක් නැ, මෙතන තියන එකම ඇත්ත.. රංගනගේ බය, ගමේ අනික් හැමෝට උ වීරයෙක් වෙන්න පුළුවන්.. එත් එක නුගත් කම.. මෝඩ කම කියන්නේ එක දෙයක් වීරත්වය කියන්නේ එක දෙයක්.. ගොඩක් වීරයෝ මෝඩයෝ වගේ මැරිලා යනවා.. මට මතකයි අපේ අම්ම පොඩි කාලේ මගේ කියල දුන්න නුවණැති කුමාරයාගේ කතාව, එයාගේ සහෝදරයෝ දෙන්නෝ නිර්බීත කම පෙන්න ගිහින් මෝඩයෝ වගේ මැරෙනවා.. එත් කුමාරයෝ හැංගිලා ඉදල වෙලා අවම සටන් කරලා දිනනවා..

ජීවිතේ මල් said...

හිකි හිකි.. බලහන් සඳරුවො උභ කල වෑඩේ. මම බස් එකෙ ෆෝන් එකෙන් මේක කියෝ කියෝ හිනා වෙලා හරි වෑඩෙ උනෙ.

හිකිස්

සෝයි සෝයි... සඳරුවා දිනපු නිසා හොඳට ගියා.. නෑතිනම් ආයෙ රෙදි ඈඳන් කොම්පි උගන්නන්ඩ බොරු :) හිකි හිකි

Anonymous said...

දාඩිය මහන්සියෙන් වැඩ කරන රංගනගේ මාංශ පේශි හොඳින් වැඩි තිබීම බර වැඩ කිරීමේ සහ ජාන මගින් පැමිණි ගුණයක් මිස ඉබි මස් නිසා ඇති වුවක් විය නොහැක
ඉබි මස් කෑම නිසා ඇග පත විශේෂයෙන් සවිමත් වෙන කතාව මිත්‍යාවක්
ඔය වගේ ගොඩක් මිත්‍යා මත අපේ සමාජයේ ඕනේ තරම් තියෙනවා....
JK

හිස් අහස said...

@අසනි=ඉස්සර වගේ මම දැන් ගිය තැන ඇමිනෙන්නෑ ගියා ආවා ඔයා හරි ඒකෙන් ගැටලු අඩුය
.............................................................................................................................
@අභීත = අපේ දිහාවේ ඈයෝ කතා කරද්දී යොදන සාමාන්‍ය උපහැරන තමා අයියන්ඩි ඔය උඹ ඉතින් ආවනේ දැක්කනේ ..!
.............................................................................................................................
@ඉන්දික උපශාන්ත = ඉබිමස් කතාව මචං ඒක මම නොකීවත් ගොඩ දෙනෙක් දන්නවා මට මතකයි ඔය රංගනලෑ මල්ලීට ඉස්කෝලෙදී එන්නතක් විදිනකොට ඉන්ජක්සන් කට්ට ඇද වෙලා ගිය හැටි එදා දොස්තර බැන්නා ඌට ඉබි මස් කනවාද කියලා අහලා ! ඒකයි මම ඒක විස්වාස කලේ
.............................................................................................................................
@Dinesh=මේ කොල්ලා කවදා වත් පරදින්න අකමැතියි ඒත් වෙන්නෙම පරාදම නේ !
.............................................................................................................................
@ගීතක - ඇත්ත කතා = තෑන්ක් මචා
.............................................................................................................................
@Dude = ස්තූතියි ඩූඩී
.............................................................................................................................
@දේවා = තෑන්ක් අයියා මොන මොලේද බං මගේ වෙලාවට මම සේප් වුණාද මන්දා ත ඩිංගෙන් වදිනවාලු දුම දාන්න
.............................................................................................................................
@සයුරි = ස්තූතියි අක්කා . ලෝකය රඟමඩලක් අපි එහි නලුවෝ අක්කේ ඩිරෙක්ටර් තමා මහා බ්‍රහ්මයා .
.............................................................................................................................
@Weni = මම මලොත් සේරමලා මේ වෙනී විදිහල්පති තුමන්ට අල්ලං ගහපල්ලා !
.............................................................................................................................
@සුශාන් ප්‍රියනාත් රත්නායක = උඹට කියන්න මටත් ඔය පුරුද්ද අතැරගන්නම බෑ එදා ඉඳන් මම දිවුරනවා තවම
.............................................................................................................................
@මධුරංග=පික්සුද අයියා ! ආයේ නෑ අතේ දුරින්

හිස් අහස said...

@පැණි දොඩම් = අයියා ගස් කඳන් මත බලන්න ඉබ්බන් කීප දෙනෙකු හොයාගන්න හැකිවේවි .(ඒක ප්‍රස්ථාව පිරුලක්)
.............................................................................................................................
@තරිඳු = ග්‍රීස් යකා කතාව ඒ වෙනකොටත් තිබ්බනම් මෙහෙත් එහෙමයි
.............................................................................................................................
@Raj= නැගෙනහිර මායිමේ අයියා .. ලඟදිම මගේ ගම ගැන පෝස්ට් එකක් දානවා රූප එක්ක එතකොට උඹට තමා ඉස්සර වෙලාම කියන්නේ
.............................................................................................................................
@චමිල = සහතික ඇත්ත දැක්කේ නැද්ද පහුගිය දිනවලදී
.............................................................................................................................
@Beetle = මගේ ලයිෆ් එකේ තව පරාජයක් මට වැඩි නෑ මයෙ දෙයියා
.............................................................................................................................
@ක්සැන්ඩර් = ඌට මේ කමෙන්ට් ටික මම පෙන්නුවා එගෙමනම් ඌ හැමදාම රෙදි නැතුව යනවා සුවර්
.............................................................................................................................
@Anonymous = කීවමයි මතක් වුනේ උගේ පාසල් කාලේ කතා නම් එමටයි ..තෑන්ක් මිත්‍රයා මම ලියන්නම් කීපයක්
.............................................................................................................................
@දුශ් = කුමාරයගේ කතාවේ උදා හරනේ නම් මගේ බොක්කටත් එහා ගිහින් නතර වුනා මටත් නොකියා හිටියට ඔය වැඩේම හිතුනා කෝමත් මචා මමත් දිවුරනවා ඒදිවුරූම කඩන්න බයියයි මමත් එදා ඉඳන් මේ ගමේ ජීවත් වුනු නිසා වෙන්නැති . තෑන්ක් වේවා මචා අදහසට .
.............................................................................................................................
@ජීවිතේ මල් = මොකද්ද අක්කේ ෆෝන් එක ? බලන්නකෝ මමත් හයදාහක්ම වියදම් කරලා එල ෆෝන් එකක් ගත්තා ඒත් ඒකේ සිංහල වැඩ කරන්නෑ යන්තම්වත් .ඔයාගේ ෆෝන් එක මොකද්ද ?
.............................................................................................................................
@JK = අර සැලලිහිනි කූඩු කඩාගෙන කන අය වගේම ඉබ්බෝ මරං කන අයත් දැන් වැඩි වෙලා මිත්‍රයා . ඒකෙන් වෙන සෙතේ නම් දොස්තර කෙනෙක් කීවා මට එදා ඉඳන් තමා මමත් මේ කතා විස්වාස කලේ ඔයා අහලා තියනවද ඉංජක්සන් කටු නැවෙනවා ගහන්න බෑ ඉබිමස් කන උන්ගේ කියලා .? හැබැයි ඉබ්බා කියන්නේ මහ අපිරිසිදු සතා කක්කා පවා කනවා අපි ඌව කන්නේ මොන හිතින්ද ?

itnishantha said...

කතාව නම් එලට කියල තියනවා මස්සිනා. එත් ඉතින් සමහරු කියනවා වගේ ඔය වැඩ දෙකෙන් එකක්වත් වීර ක්‍රියා නම් නෙවේ. අරු ටැප් වෙන්න ගහල ඉද්දි උඹ දිනුවානම් එතන තරඟයක් නැ. දෙනෝදාහක් ඉන්න තැන නිරුවස්තරෙන් දිවානම් උට ඔලුවක් නැ. ඔය හැම එකටම මුල අනිත් අයට උඹල දෙන්නම පොර වෙන්න හදපු එක මිස උඹල දෙන්නම උඹල දෙන්නට පොර නොවීම. කොහොම උනත් ලෙඩේ ඇද ගන්න හේතුව උඹ නම් රංගනට ඔහොම නොකරන්න අවස්ථාවක් දෙන්න උඹට තිබ්බ. හේතුව රංගන උඹේ සෙට් එක ගලවාගෙන ගියේ බලෙන් නෙවේනේ. උඹ කියල තියෙන්නේ ඇත්තනම් අවුරුදු 100 වඩා ජීවත් වෙන ඉබ්බෙක් මරන්න පුළුවන් එකෙක් ගැන කතාකරල වැඩක් නැ. කොහොමුනත් කාලයක් තියනවා ගොන් වැඩ ඉස්මුදුනේ තියාගෙන කරන. මෙතුමටත් එහෙම කාලයක් තිබුන. මෙතුමාත් යට ඇඳුම පිටින් මහා දවල් මිශ්‍ර පාසලක ඉන්ටවල් එකේ පිට්ටනිය වටේ දෙසැරයක් දිවා. ඔට්ටුවක් නිසා . අපල කාලෙට විෂ්ණු දෙයියොත් බට කොළ කෑව කියනවනේ. මම හිතන්නේ Observer එකඟ වෙයි මෙකට

Weni said...

සඳරූ කොහෙ මැරෙන්නද ? මගේ යාළුවො සෙට් එකකට මේ බ්ලොග් එක දීලා උන් අහන එව්වට උත්තර දෙන්න ආයිමත් පරන පෝස්ට් එක්කම කියවන්න උනා..ඉතින් 2-3 සැරයක් කියෙව්ව. කොපි කලාට කමක් නැහැ කියල තිබ්බ නිසා මම ලිපි කීපයක්ම ප්‍රින්ට් අවුට් අරන් කියවන්න ආසා කීපදෙනෙකුට දුන්නා..ඒ අයට අන්තර්ජාල නැති අය.. බ්ලොග් ඇඩ්ඩ්‍රස් එක දැම්ම ලොකුවටම..මොකද බය හිතුනා සරම උස්සගෙන වලියට එනවද මොකද්ද කියාලා තිබ්බ නිසා.. ආ නෑ කියලයි කියල තියෙන්නෙ !!!

දුමී said...

සඳරු මල්ලි, උඹේ මේ කතාව මම දවස් ගාණකට කලින් කියෙව්වත් කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබෙන්නෙ දැන්. උඹේ කතා කියවන කොට මට දැනෙන්නෙ අති දක්ෂ කතා කරුවෙක්ගේ රචනා විලාෂයක්. උඹට සමහර විට ලැබෙන පොඩිම පොඩි නිමිත්තක් උනත් හොඳට වර්ධනය කරලා රස බේරෙන විධිහට ලියන්න උඹට තියෙන්නෙ පට්ටම පට්ට හැකියාවක්....! උඹට ජය....!

සෝරෝ said...

සඳරුවෝ උඹ පැරදුන දවසට අපිටත් කියපන් අපිත් එන්නම් බලන්න.... :D

Nishantha Lakmal said...

ඇත්තටම සඳරු මේ බ්ලොග් එක ගැන නම් මට කියන්න වචන නැහැ..ඒ තරමටම හිතට දැනෙනෙව...පිළිගන්න මෙච්චර කාලෙකට ලංකාවෙ සිංහල සයිට් එකකින් මගෙ හිත බැඳගත්ත එකම සයිට් එක තමයි සඳරුගෙ බ්ලොග් එක...නිතරම කොමන්ට් කරන්න බැරිවුනත් ඇවිත් පරණ පෝස්ට් ටිකත් එක්කම බලලා යනවා කොහොම හරි...මම දැකපු අව්‍යාජම කතා කරුවා තමයි ඔයා...ඇත්තටම සිනහව, කඳුල අතරින් අව්‍යාජ මිනිස් ගතිගුණ හිතට හොදින්ම දැනෙනවා ඔයාගෙ මේ හැම වචනයකම...හැම දෙයක්ම මම ඇස් වලින් දැක්කා වගෙ මැවෙනවා මගෙ හිතේ..ඉතින් සඳරු මේ බ්ලොග් එක පුලුවන් තරම් ඉදිරියට කරගෙන යන්න වගේම ජීවිතයේ ඉදිරි අභියෝග ජයගෙන ඉදිරියට යන්න ඔයාට ශක්තිය, දහිරිය වාසනාව ලැබේවා...

තරු said...

අඩේ සඳරූ පැරදුනා නම් තමයි එළ.... හෙහ් හෙහ් හෙහ්..

එහෙනම් අර කොටස මෙහෙම ලියන්න තිබුනා..

"ලාවට පායපු රාස්සිගේ අවුව සඳරූ ගෙ තට්ටමකට වැටිලා දිලිසුණා .!!
උත්තල දර්පනයක් වගේ තිබ්බ තට්ටමේ ඉර එලිය වැටිලා අතාත්වික යටිකුරු ප්‍රතිභිම්බ ඇති කරා" හෙහ් හෙහ් හෙහ්..

ඇත්තටම එහෙම වුනා නම් උඹ අර කෙන්යා මැරතන් World Champion Abel Kirui වගේ ඉඳීවි.

පිණිබිඳු... said...

අනේ බං උඹගෙ කතා ඉස්ටයිල් එක එල බොල.

ලොකු පුතා said...

සඳරු කලින් JK කියල කමෙන්ට් කලේ මම
මමත් අලුතෙන් බ්ලොග් එකක් අටවගත්තා ඊයේ,
හිස් අහස කියන්නේ මමත් හැමදාම ගොඩ වදින තැනක්
උඹ කියල තිබුන ඉන්ජෙක්ෂන් කටු නැමෙන කතාව මමත් අහල තියෙනවා
ඒත් එකේ ඇත්ත නැත්ත මට තාම හොයල බලන්න බැරි උනා
ඒ වගේම වැහි ලිහිණි කුඩු කඩාගෙන කන එව්වෝ දන්නේ නැතුව ඇති ඊට වැඩිය හොඳයි කියල තණකොළ ටිකක් කන එක කියලා
මොකද ඔය දෙකෙන් කොයික කෑවත් ලැබෙන්නේ සෙලියුලොස්නේ....

රාජ් said...

චැහ් මං පරක්කු උනානේ.
//අලුත වැඩිවිය පැමිනුණු කෙල්ලත් බලං ඇති ! . මම කෝමද පස්ස ගහන්නේ?//
මුගේ වල්කම විතරක්..:D

Anonymous said...

අඩේ බොල සදරුවෝ නොබී ඉන්න එකේ යහපත් ප්‍රතිඵල පේනවා නේද ?

- අහිOසක - අ.පේ.

Anonymous said...

පරක්කු උනා මං බොල හොඳටම !

අයියෝ සාලේ ඇයි දෙයියනේ මූ පැරදුනේ නැත්තෙ, එහෙමනං ඒදා ඉඳල ඔයි අලි කරදරේ නෑ නෙව බොලාගෙ පලාතෙ. උං සේරම පැදුරත් නොකියා යනව නෙව ගම රට දාල.....

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

පවනි +

ඔලුවක් තියන එකෙක් නම් ඔට්ටු අල්ලන්නේ නැ ඔය වගේ ඒවා , තමන්ගෙ නම්බුවත් තියාගෙන ඔට්ටුව පැරදුනත් කරන්න පුලුවන් දේවල් තමයි ඔලුවක් තියන උන් කියන්නේ උදා - ඔට්ටුව පැරදෙන එකාගේ ගානේ බලාගෙන ඉන්න එවුන්ටත් එක්ක සංග්‍රහයක් , නැත්නම් පන්සල් වත්තේ තනියම කුරුම්ඹා බැවිල්ලක් වගේ

ශශී said...

කවුද බං කියන්නෙ රංගයා වැඩ කාරයෙක් කියලා...ශිහ්..යකෝ ඔට්ටුව පැරදුනානම් ඒ ඔට්ටුව ඉශ්ඨ සිද්ධ කරන්න ඕනෙ ඔට්ටුව දින්න එකාගෙ කැමෑත්තට වෙලාවක් කලාවක් එහෙම බලලා ඉස්ථානයක් එහෙම තීරණය කොරගෙනනෙ....මේකා මේ බල්ලට පොල්ලෙන් ගැහුවා වගේනෙ මේක කරලා තියෙන්නෙ....වචනෙ වචනෙ විදිහට ඉශ්ඨ කිරීම නෙමේ මටනම් වටින්නෙ හරිහමන් වැඩකාරයෙක් විදිහට නම්බු පිට ඉශ්ඨ කරන එක.

supun lakmal said...

මොනව උනත් ඌබ දිනපු එක හොදයි

පන්සල් හංදිය said...

ඈ බං වෙලාවට උඹ දිනුවෙ, ඔට්ටුවක් අල්ලනවා නං හොඳට හිතලා බලලා අල්ලපං .......

රංගන කියන්නෙ එල බුලට් එකක් ...

Charith Samarakoon said...

ෂෙක් උඹ පැරදුනානම් තවත් ආතල් බ්ලොග් පෝස්ට් ගොඩායි... උඹෙ හිත හයියයි බං..අනික ඌනෙ දිවුරුවෙ...හික්...
අම්මෝ මමනම් ඔහොම දිවුරන්නෑ...මෙහේ උන් යූ ටියුබ් දාන්නත් සෙට් වෙලා ඉඳිවි... :p

ලස්සන හිතක් said...

කොහොම වුණත් මම නම් හිතෙන්නෙ එක දෙයයි සදරැ. මේ ‍මුලු ලෝකෙන්ම ලස්සනම ලස්සන හිත් තියෙන්නේ බොහෝම ටික දෙනාටයි. උඹත් ඒ ටිකම ටික දෙනාගෙන් එක්කෙනෙක්.

Post a Comment

තැන්කූ බං