30.10.11

කාපට් පාරට පෙම් බැඳි අප්පු හාමි

ගමේ හරක් බලන එකයි
කුලියට වැඩ කරන එකයි
ඉඳ හිට පොල් කඩන එකයි
මගෙ රැකියාව

ආප්පු හාමි නමයි මගේ
ඇල ළඟ පැල් කොටේ මගේ
ගෙවෙණා ජීවිතේ මගේ
මට එපා වෙලා

ගමෙන් එපිට යන්න හිතයි
වෙනසක් දැක ගන්න හිතයි
සල්ලි මිටි බඳින්න හිතයි
දිවිය පුරාම

එහේ දිවිය හරි සැපයි ලු
හමනා සුළඟද සැපයි ලු
හිඟමන් යැද්දත් සැපයි ලු
කොළඹ ජවිතේ

බෝඩිමක් එහෙම හොයලා
පොඩි රැකියාවක් හොයලා
කොළඹ සිරි බලා හොයලා
එන්නට හිතුණේ

දහසක් පැතුමන් අරගෙන
කුකුළත් අතකින් අරගෙන
උපන් ගමෙන් සමු අරගෙන
මම කොළඹ ගියේ

පැය දහයක් බසයෙ ගිහින්
ත්රීවීලර් දෙහෙක ගිහින්
පයිනුත් ටික දුරක් ගිහින්
කොළඹට ආවේ

කොළොම් පුරේ සිරි බලන්න
ගෝල් පේස් එක බලන්න
හෙළු වැලි සුද්දියො බලන්න
මම පිටත් වුණේ

මූණ පුරා තෙල් ගාගෙන
වෙරළ පුරා සූ ගාගෙන
සිරුර පුරා වැලි ගාගෙන
ගෑනු නටනවා

ඉනේ තුවක්කුත් ගහගෙන
කටේ සිගරටුත් ගහගෙන
අරක්කුද කුඩුත් ගහගෙන
පිරිමි නටනවා

මේ විවිධත්වය ඇතුළේ
නගරේ දියුණුව ඇතුළේ
මගේ පිරුණු හිත ඇතුළේ
හිනා මල් පිපෙයි

කුඹුක් ගහේ හෙවන එපා
වෙල් එළියේ සුවය එපා
ගමේ සිසිල තවත් එපා
මේ සුව කදිමයි

ලිපේ ඉදෙන බතත් එපා
අම්ම උයන හොදිත් එපා
ගමේ කෑම තවත් එපා
මැක් ඩොනල් වටී

බැහැගෙන යන හිරුට වඩා
තරු පායන රැයට වඩා
නැග එන පුන් සඳට වඩා
බලුප් ලස්සනයි

ලැජ්ජ බයට හැදුණ කෙල්ලො
දිය රෙදි ඇඳ නාන කෙල්ලො
ගවුම් දිගට අඳින කෙල්ලො
මෙහෙ නම් නෑ නේ

නිතඹ පෙනෙන ලෙස කදිමට
කොටට සාය ඇඳ කදිමට
ලැජ්ජා බය දුරැර කදිමට
කෙල්ලො දස අතේ

ගමේ තිබුණු ජරා පාර
කටු කොහොලින් පිරුණු පාර
වෙනුවට හයි ලෙවල් පාර
නගරෙ තියනවා.

නිදාගන්නටත් පුළුවන්
බත් දා කන්නත් පුළුවන්
වේගෙන් යන්නත් පුළුවන්
මේ හොඳ පාරේ

ආසයි අත ගා බලන්න
ඉඳගෙන වැතිරී බලන්න
හිතුණා සිපගෙන බලන්න
කාපට් පාර

බඩු පැටවූ ටිපර් එකක්
චෙරි කිවු කිවු කාර් එකක්
ගියා ට්රේල් බයික් එකක්
මගේ පිට උඩින්

ගමේ ඉන්න පින නැතුවා
මෝඩ මට බෙහෙත් නැතුවා
තවත් හුස්ම මට නැතුවා
මා මියැදෙන්නේ

උපන් ගමට බණිනු එපා
මුල අමතක කරනු එපා
පාර නම් ඉඹින්න එපා
කිසිදා මිතුරේ



52 comments:

චතුරංග ජයවර්ධන said...

එල එල !!!!!!!

Dinesh said...

ගමේ සුවේ එපැයි කියා
කොන්ක්‍රිට් වලට පෙම් බැදලා
අප්පුහාමි ලොව හැරදා
ගියෙ ටිපරයකට යටවිලා..

මැක්ඩොනල් රසය පුරා
ගෙදර බත් පත අමතක වීලා
තිබුන සංතකයම නැති උනදා
ටිපරය යටට පැන්නද අප්පුහාමිලා...

කවි ටිකනම් පංකාදු පහයි සදරුවෝ.. එලටම ලියලා තියෙනවා..අද මමද එක.... :)

Micleanjelo සමග CrazyCat said...

අයියෝ සදරු , බණ්ඩා කොළඹ ගියා එකේ අනිත් එක වගේ අප්පු හාමි කොළඹ ගිහින් වෙලා තියෙන්නේ ..

ගලයා said...

වෙල් ඉපනැලි වල
වැව් තාවුලු වල
වැදෙන හුළං සැප
කොයිබද ඇත්තේ

අම්මා උයන බත
ලුණු ඉහගෙන වුව
කන විත ඇති සැප්
කොයිබද ඇත්තෙ

නිරුවත වහගත්
රෙද්ද හැට්ටෙ ඇඳි
ලඳකගෙ ලස්සන
කොය්බද ඇත්තේ

මේ බව අමතක
නොකරන් මිතුරේ
අප්පුහාමි මෙන්
විපතට ලක්වෙයි

සඳරූ ...අපූරු කවි පන්තිය..ලස්සනයි...

කස්ස said...

රටට පේන්න මොඩර්න් වෙන්න යන අයට හොඳ කවි ටික මචන්.

සංකල්ප said...

ඔන්න ඔහොමයි හාමිනේ නගරෙට ආපු අප්පුහාමි මාමාට උනේ. අම්මෝ කවුද බොල නගරේ සපයි කියලා කියන්නේ. මම් උදේ හවා කොළඹ දුවන එකත් එපාවෙලා තියෙන්නේ.

ඔහේ යනවට යනවා. මොකද අපට රස්සා තියෙන්නේ කොළඹ විතරනේ.

ශ්‍රී said...

කොළඹ මොන සැපක්ද බාං.....
අපිට ඉතිං බඩ රස්සාවල් තියෙන්නේ කොළඹ ආසන්නයේ නිසා මෙහෙට වෙලා ඉන්නවා! හැබැයි පදිංචි වෙන්න හොයාගත්තේ පොඩ්ඩක් කොළඹට ඈතින් නිස්කලංක හරියක් තමා...

Anonymous said...

වැව් තාවුල්ලේ ඉදගෙන
නෙලුම් පතට බත බෙදාන
වැව් දිය දෝතින් බදාන
බිව් තාලේ තරම් කොහෙද
KFC ඩොනල් එකේ
අරුමෝසම් ජාති කෑම...

ඇග මැලිවත් කඩන්න බැරි
පුන්චි කාමරේ ඉදගෙන
5ක් 6 ක් පැක් වෙනකොට
හිතට සැපති,ගතට මිහිරි
අපේ ගමේ වටිනාකම
අප්පු හාමිටත් දැනෙවි
අද නැත්තම් හෙට දවසක...

Weni said...

මේකට මොනවා හරි ලීවොත්... පහුගිය අවු.18න්ම කරුණු අරන් ලීවැකි උත්තරයක් විදියට.. ඔය කියන හයිලෙවල් පාරෙ පැය භාගයකට ඉස්සෙල්ලා (දැන් ප.ව.7.20) මන් ශිල්ප 2011 බලලා ආවා පට්ට වැස්සෙ.. බත් දාගෙන කන්න පුලුවන් පාරෙ අඩි භාගයක වතුර පාරෙ බැහැල.. ලෝකෙන්ම තියෙන ජරාම ජරා වතුර ඒ...

Gimhani said...

සඳරූ.. මේ කොන්ක්‍රීට් පුරේ මොන සැපක්ද මල්ලී...ඒත් ඉන්න වෙලානේ මොනා කරන්නද

Anonymous said...

KAVITIKA NAM HARIMA AGEI SAMADAMATH MATHAKA THIYEI

ක්සැන්ඩරයා said...

අයෙත් ඉතින් කියන්න තියෙන්නේ ෆට්ට කියල තමා...

Anonymous said...

ටොප් කවි සහ ටොප් අදහස්! :)

ජීවිතේ මල් said...

ඔන්න ඕකනෙ සඳරුවො මාත් මේ රස්නි කොලබට ටටා කියල නුවර ආවෙ...

අපෙ උදවියට වෑරදෙන තව තැනක් තමා සහෝ... කොලඹ ගිහින් ශල්ලි ගොඩාරියක් හම්බ කල හැකි කියල හිතන එක.... අත්දැකීම් නම් ලැබෙනව තමා. ඒත් ඉතුරුවත් බිතුරුවක් කරල ස්ටේබල් අනාගතයක් හදාගන්ට නම් බෝම අමාරුයි, බෝඩින් ජීවිතෙ, කෑම බීම, ඔක්කොම අවුට් සෝස් නම් ඉතින් ලක්සෙයක් හම්බ කලත් හරි අමාරුයි...

දියුනු වෙන්ට නම් හොඳම උපන් ගම් පලාත කියලයි මට සිතෙන්නෙ.

දේව් ගේ අඩවිය said...

ඇත්තටම මෙහෙමද බන් කොළබ ඉදලා හිටලා කොළබ දුවන මට ඒ තරම් ලස්සනක් දැනිලා නැ කවදාවත් ඔය කොන්ක්‍රිට් වනන්තර... මගේ ගම වෙල් ඉපනැල්ල සැපයි මට හැමදාමත්

Anonymous said...

උඹ කොළඹ ඇවිදින්ම බලපංකෝ... පාරවල් වල බත් දා ගෙන කන්න පුළුවන්ද කියලා....

සමහර තැන් වල පාරට වැටෙන කොට්ටං ඈටේටවත් කාක්කෙක් කොටන්නේ නෑ බං...

මාතලන් said...

බොරුවට කුලියට කැහුවට
ගමේ වරුනේ ඇද බෑවට
බැන බැන මුන් හැම එකාම
ඉන්නෙ සෙයිලමේ..

වෙල් එලියේ ඇලේ දොලේ
වැවක ගඟක සැප වගේද
අමු හෙළුවෙන් අපි නානා
නාන කාමරේ

මඩේ රසට වැව් මාළුද
පසේ රසට කුරක්කන්ද
ඒ වගේද සබ් කෑවම
කේ එෆ් සි එකේ

ගිමන්හල said...

ගමට වඩා............ඈමෙරිකාවවත් මටනම් එපා.

ගමේ කුබුක් ගහ යට ඉදගෙන වතුර නාපු ගොඩයෙක් මමත්.සිදාදියේ ඉන්න පිරිසටත්,ගමෙන් සිදාදියට ගිහින් සින්හලත් බෑරි වෙන අයට මේක අවවාදයක්ම වේවා!!!!!!!

Theekshana said...

නියමයි නෙ සදරුවා

ලොකු පුතා said...

අප්පුහාමි මොකද බණ්ඩා මොකද, ඔය දෙන්නම කොළඹ ආවහම ඒක සුරපුරයක් විදිහටනේ දැක්කේ

කොළඹ මොන ලස්සනක්ද බන්
ඕකේ තියෙන කුණු රොඩු දැක්කට පස්සේ නගරේ ජීවිතේ ගැන තියෙන ආසාව නැති වෙලා යනවා
(කුණු කිව්වේ පාර අයිනේ ගොඩ ගහල තියෙන ඒවා නෙවෙයි)
ඔය නගරේ කියන එකේ තියෙන්නේ එක එක ජීවිත වලින් එකතු උණු කාලකන්නි කමක්, මටනම් හිතෙන්නේ එහෙමයි
නගරේ ජීවිත සුන්දර නැහැ
මගෙනම් හීනය උඩුගම් බලා පීනන්න, එහෙම නැත්නම් අනිත් අය කරන දේට විරුද්ධ දෙයක් කරන්න තමයි
ඒ කියන්නේ නගරේ ජීවිතේට සමු දීල, නගරේ රස්සාවට සමු දීල, ගමේ ඉඳගෙන කරන්න පුළුවන් යමක් කරගෙන ඉන්න බලන හීනයක්
හැබැයි ඒකට ගොඩක් හොඳ අඩිතාලමක් දාගෙන ඉන්නේ ඕනේ මුලින්ම
නැත්නම් ඉතින් හොට බිම ඇනෙනවා

සයුරි said...

දෙපාරක් ලයික් !!

දිල් said...

මෙහෙ කොළඹ සැප තියෙන්නෙ ඇස් වල විතරද කොහෙද සඳරූ.....

duliponline said...

ඕක ඔහොම තමයි . . . ගමේ ඉද්දි හිතෙනව මොකද්ද මේ ජීවිතේ කියල . . . හැබැයි ගමෙං එලියට ගියාට පස්සෙ ඒක දෙගුන තෙගුන වෙලා දැනෙනව . . . .

ලහිරු said...

ඵල ම කිවි ටික...ෆට්ටයි!

ශශී said...

හික් හික් හික් පට්ටයි බන්

Gayan Rupasinghe said...

හැමදාමත් වගේ.. අදත් නියමායි..

ජය,,,

Anonymous said...

නිර්මාණය සුපිරි.. !!!

සඳරු මල්ලි කොළඹ කියන්නෙ හරි අමුතු තැනක්, හැදෙන එකාට උපරිමෙන්ම හැදෙන්නත් නැතිවෙන එකාට උපරිමෙන්ම නැතිවෙන්නත් පුලුවන් තැනක්... කොලඹ ඉන්න කෙලිකාරයො වැඩිහරියක් ගමෙන් ඇවිත් හැදිච්ච අය... ඒ වගේම කොලඹ වීදිවල ඉන්න ගනිකාවො... පාරෙ ඇවිදින පාදඩයොත් වැඩි හරියක් ගම්වලින් ඇවිත් නන්නත්තාර වෙච්ච අය...

පන්සල් හංදිය said...

මොන එහෙකටද පාර ඉඹින්න ගියේ, අර තරම් කෙල්ලො දැකලත්.....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

රතු සහෝදරයෙක් ......

Anonymous said...

ඔය පාර ඉම්බෙ පරන මුල්ල පටස් වත් ඇඟේ වැඩ කරලද දන්නෑ.
එල කවි ටික බන්. වැව් බැම්මෙ සිහිනය දෙවෙනි කොටස වගේ.
JH

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

පුහු ආටෝපයට පෙම්කරන කාටත් හොඳ පාඩම් . . .

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

නියමනේ! මම අදයි දන්නේ ඔබට තව හොඳ හැකියාවන් බොහෝ තියනවනේ.

Raj said...

ගැම්යා තමංගේ ඇසින් කොහොමද...ගමට වඩා නගරය දියුනුයි කිව්වම ඒ දිහා බලන්නේ...ඒ නවීනය කියන සළුවෙන් පරිහානියට පත්වෙච්චී නාගරිකයා හෙළුව වසාගෙන ඉන්නේ කොහොමද ඒ හැම දේම මේ පදවල ගැබ්වෙලා තියෙනව මචො....
උඹනං නියම ගැමියෙක් .....ජය

පිස්සා පලාමල්ල said...

කවි ටික නම් අපූරුයි බන්...

ගමෙන් කොලඹ එන අප්පුහාමිලාට අඩු වැඩි විදියට වෙන්නෙ ඕක තමයි... ගමේ වෙල් එලියක... කුබුක් ගස් හෙවනක නාන වතුර ටික... අම්මගෙ කෑම ටික... මිල කල නොහැකියි.

ඒත් බන් දැන් ගමත් මොඩ් වෙලා...

දුශ් said...

අනේ මන්ද? මේ හද්ද කොලබට වෙලා අපි ඔහේ ඉන්නවා.. අර හැමෝම කියනවා වගේ.. උපන්නාට ඔහේ ඉන්නවා..
සිරාවට අර පාර ඉඹින්න ගියේ මක්කටෙයි, විලිසන්ගේ නැති කෙල්ලෙක් ඉබල 75,000 දඩ ගෙවල අව්රුද්දක් හිරේ ගිහින් පස්සේ හෙමීට ගමටත් යන්න තිබ්බා..

Podi Kumarihami said...

කොහොමත් කාටවත් තමන්ගේ ලඟ තියනදේ වටින්නේ නැහැ ඒක නැතිවෙලා යනකල්. දුප්පත් අප්පුහාමිටත් ඉතින් එහෙම තමා.

මේක නම් ජීවිතේ ගැන කියලා දෙන හොඳ පාඩමක්. කොහොමද සඳරූ, ඔයාට මේ වගේ අදහස් පහල වෙන්නේ? ඔයා ජීවිතේ හොඳට දැකපු කෙනෙක් කියලා මේ ලියන ඒවායින් හොඳට තේරෙනවා.

Kasun said...

මොකෝ බං එකපාර මේ වුනේ?

පූසා said...

සැපයි කියලා එහෙමට මහා ලොකු දෙයක් මෙහේ නෑ බං...
මොකෝ ඔය KFC මැක් තිබ්බයි කියලා ඕවයින් කන්නේ කොහොමද බං. ඒවයින් එක වේලක් කන සල්ලි වලින් ගෙදර සතියක් දෙකක් උයන් කෑවැකි...

සිතුවිලි නිහඬයි said...

හම් හම්....කවි ටික නම් උපරිමයි.....

cjgayan said...

ඔය කියන තරම් ලස්සනක් කොළඹ නෑ බං.. මේ කොන්ක්‍රිට් වනාන්තරේ මොන ලස්සනක්ද? පිරිසිදු වාතය ටිකක් තියෙනවද ? නාගන්න පිරිසිදු වතුර ටිකක් තියෙනවද ? හැමදේම ගමට වඩා දුශණය වෙලා..

සරත් ලංකාප්‍රිය said...

ඒ උනාට කොළඹ ජනගහනයෙන් වැඩිහරියක් ගම වලින් සම්ප්‍රාප්ත උන අය සඳරු.. පලවෙනි පරම්පරාව අඬ අඬ නගරේ ඉන්නවා. ගම ගැන හුල්ල හුල්ල.. .දෙවෙනි පරම්පරාව හින්දා උන්ට ගමේ යන්න බැහැ.. කොටි වලිග අල්ලාගෙන අපි වගේ..

පොත් ගුල්ලා said...

සඳරු මල්ලි,
බොරුවට උස්සල තියන්ඩ නං මම කැමති නැහැ.
අද කවි පෙළ බොහොම දුර්වලයි. වැඩි වෙහෙසක් නොගෙන ඕනාවට එපාවට ලියපු බවක් තමා මට නං පේන්නෙ.
ඔයිට වඩා දෙයක් ඔයාට කරන්ඩ පුළුවන්.

Observer said...

කවියෙන් කිවූ කතාව කදිමය්

මන්තරකාරි said...

ආවාම කොළොම් රටට
දැක්කට වෛවාරණ විකාර
රස්සා හොයලා ඇති වෙලාම
හිතෙනවා සිපගෙන බලන්න
කාපට් පාරේ වැතිරෙන්නට
බඩු පැටවූ ටිපර් එකක්
මගෙ පිට උඩින් යන්න...

චන්දික ගුණතිලක said...

අප්පට සිරි, පට්ට කවි ටික මලේ.

පරිකල්පන said...

ගමේ වටිනාකම හරියටම තේරෙන්නෙ නගරෙට ආවම තමයි.

saumiya said...

Niyamai sandaruwoo..... elama kiri....

පබලු said...

හැමදාමත් වගේ ලස්සනට ලියල තියනව..ජයවේවා

හිස් අහස said...

අදහස් දුන්නු නොදුන්නු හැමෝටම පින් සිද්ද වෙච්චාවේ .. සෙම් ගෙඩි හැදිලා සඳරුවාට මාර අමාරුයි ..අනේ බොලවු කමෙන්ට් එකට උත්තර දීගන්නවත් පන නෑ ..සොරි වෙයල්ලා ..

මේ දවස් ටිකේම කෑවේ බනිස් කෑල්ලයි නෙස්ටමෝල්ට් තේකයි විතරයි . ඒ අස්සේම තව පෝස්ට් එකක් දාගත්තා . දවස් පහක් ගියා ඒක ටයිප් කරගන්න ..

අත පය පන නෑ ..
හිතේ වච නෑ
ගතේ සවිය නෑ
සෙංගෙඩි හැදිලා

ජය වේවා උඩ අයට සහ යට අයට

නචියා said...

හෆොයි අප්පු හාමි...

පට්ට් මචං කවි ටික.

බෙහෙත් ටිකක් බීපන් බන් ඉක්මනට සනීප වෙන්න..

Anonymous said...

අයියෝ අප්පුහාමි..ඉක්මනට සනීප වෙන්න....මේ වැස්සේ තෙමෙන් එපා යකෝ....හික්ස්.."ඔහොම නාන්න ගියොත්" නිව්මෝනියාව හැදිලා බේරුනොත් ඇති...

Chandi said...

සඳරුගේ කවිපෙල අර්ථය හරිම හොඳයි , ඒ උනාට කලබලෙන් ලියල වගේ. ඔයාට හොඳ හැකියාවක් තියෙනවනෙ මල්ලි, ඒක හොඳට හිතල මතල ප්‍රයෝජන ගන්න. අපි කවුරුත් ගම්වල හැදිච්ච නිසා කොළඹ ඒ තරම් අල්ලන්නෙ නෑ. කොළඹ ජීවිතේ තමන් දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග. අප්පුහමිටත් ඒකම වෙලා වගේ.

Post a Comment

තැන්කූ බං