12.12.11

තල්පේ ගුරාගේ ඉනා බේත

    බොහෝම ඉස්සර කාලෙක මම මේ ජීවත් වෙන පළාත යන්තර, මන්තර, ගුරුකම් අන,වින, කොඩිවින ආදියෙන් පිරිනු පළාතක් . යක්‍ෂයෝ, ප්‍රේතයෝ ආදී මනුස්ස නොවන කට්ටියත් මේ පළාතේ මුල් පදිංචි කාරයෝ වෙලා හැම ගහක් ගලක් ගානෙම අරක් ගෙන හිටියාලු .ඒත් කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දී ඔය කියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල පල්ලට ගියා වගේම මේ පළාතේ හිටි අමනුෂ්‍යයෝ ටිකත් කාලයත් එක්ක නැති බංගස්ථාන වෙලාම ගිහිං .

ඉතින් ඒ අතීත මතකයන් , ඒ අතීත සුරු විරුකම් වල සුවඳ තවමත් මේ අපේ වැවුගම්පත්තුවේ තැන් තැන් වලින් ඉඳහිට හමාගෙන යනවා . සුරංගනා කතා තරමට ලස්සන ඒ කතා බොහෝමයක් විශ්වාස කරන්නත් අමාරුයි .

මගෙ ගමේ ඉන්න අවුරුදු හැත්තෑව අසූව පැන්න සීයලා බොහොම දෙනෙක් ඔය ආතීත මතකයන් ආවර්ජනය කරන්න බොහෝම දක්‍ෂයි . මල ගෙදරකදී රෑ ජාමෙක ඒ වගේ දැනමුත්තෝ කීප දෙනෙක් හමු වුනෝතින් කිසිම දවසක හිස් අතින් නම් එන්න වෙන්නේ නෑ . හිත පිරෙන්නම කතා ගොඩකුත් අහගෙන ආයෙමත් එන්න හැකියාව ලැබෙන බව නම් ටක්කෙටම කීව හැකි .

පහුගිය දවසක මල ගෙදරක දවස් කීපයක්ම රැය ගත කරපු මට මේ වහේ අමුතු කතන්දර ගොන්නක්ම අහගන්න වාසනාව ලැබුණා . ඒයින් සමහරක් මම පොඩි කාලේ , අම්මගෙන් තාත්තගෙන් අහපු විඳපු ඒවා . තවත් සමහරක් විශ්වාස කරන්න කොහොමටවත් බැරි ඇහුවම හිනායන තාලයේ ඒවා . තවත් සමහරක් කතා නම් විශ්වාස කරම් දෝ ? නොකරම් දෝ ? කියලා හිත තනිකරම දෙගිඩියාවට පත් කරන තාලයේ ඒවා .

මහන්තත්ත කමයි , විශ්වාසයයි පැත්තක තියලා බුලත් විටක් හපන ගමන් මේ කතාවක් දෙකක් අහන අතරේ මල ගෙදරක රැයක් පහන් කරලා බලන්න ඔබටම තේරේවි මේ කතා කොතරම් රසක් ගේනවාද කියලා . ඉතින් මම මේ ඊයේ පෙරේදා දවසක මල ගෙදරකදී අහපු මේ කතා කීපය හිස් අහසේ පිටු කීපයකට අමුනලා සයිබරයේ පා කරන්නයි මේ හදන්නේ .

මට සහ තවත් මගේ යාළුවෝ කාණ්ඩෙකට මේ කතාව කියාපෑව ඒ අමතක නොවන අපේ ගමේ චරිතය තමයි සයිමන් අංකල් ! .

සයිමන් අංකල්ට වයස නම් අවුරුදු හැත්තෑවක් විතර . "සයිමන් සීයා" කියන වචනේ මගේ දිවට ඒ තරම් හුරු නැති නිසා තමයි මම නම් නිතරම උන්දෑට "සයිමන් අංකල්" කියලා කීවේ. අනේ ඉතින් මොන නම කියලා කතා කෙරුවත් සයිමන් අංකල් අපි වගේ තරුණ පහේ උන්ට බොහෝම ලෙංගතුයි . අපි වගේ කොල්ලන්ට දැනමුතුකම් දෙන්නත් , ගුරුහරුකම් දෙන්නත් මිනිහා කොයි මොහොතෙත් කට සුදානම් කරගත්ත ගමන්මයි . !

පහුගියදා මගෙ මිතුරෙකුගේ පියාගේ මල ගෙදරට සහභාගී වෙච්ච සයිමන් අංකල් . අපේ වදේට කතාවක් කියන්න පටන්ගත්තා . රෑ ජාමේ මදුරුවෝ තල තලා ටකරන් හට් එකක් ඇතුළේ මල ගෙදර පාළු කපද්දී මේ වගේ කථාවක තියන වටිනාකම මට එදා නම් හොඳටම තේරුම් ගියා . ඒකයි සයිමන් අංකල් කියන කතාව මම හොඳ අවධානයෙන් අහගෙන උන්නේ .

දත් නැති කටේ තිබුණු බුලත් විටේ තව දෙපාරක් තුන් පාරක් හොඳට ලොම්බෙන් හපලා රතුම රතු පාට කෙළ පාරක් අහකට විදපු සයිමන් අංකල් කතාවට සූදානම් වුණා . අතේ තිබුණු කාඩ් කුට්ටමත් පැත්තකට දාපු මම පුටුවක් උඩට කකුල් දෙක අරගෙන කතාව අහන්න සූදානම් වෙද්දී අහල පහළ හිටි තව කීප දෙනෙක් අපේ වටේට කිට්ටු වුණේ සයිමන් ලොක්කා කියන මේ කතාව අහලා බලන්නයි

උගුර පාදලා එහම සයිමන් අංකල් කතාවට මුල පිරුවා.

"එතකොට පුතේ මේ පළාත සැර වන බූටෑවකින් වැහිලා තිබුණේ ! . ගමත් ඒ තරම් ලොකුවට තිබුණේ නෑ . අපි උඹලටත් වඩා බොහොම පුංචි එවුන් .ඉස්සර මේ පාරේ අපි ගමන් බිමන් ගිය හැටි මට තාම මතකයි . එතකොට මේ වගේ තාර දාපු පාරවල් නම් තිබුණේ නෑ කරත්ත ගිහිල්ලම හැදුණු පාරවල් තමා තිබුණේ "

කතාව අහන අතරේම තවත් වැඩක් කරන එක මගේ යුතුකමක් කියලා මට හිතුණු හින්දා . ඉලත්තට්ටුව උඩ තිබුණු ගිරේ අරගෙන පුවක් ගෙඩි කීපයක් සුද්ද කරන්න මම පටන් ගත්තා . පුවක් ලෙලි ගැහැවුවට මගේ ඇස් දෙකත්, හිතත් සම්පූර්ණයෙන්ම තිබුණේ කතාව වෙතටයි .

"ඔය අපි පොඩි එවුන් කාලේ අපේ ගමේ කට්ටඬියෙක් හිටියා මසාහිරා කියලා . ඔන්න මේ කියන්න යන්නේ උදෑ කරපු වැඩක් ගැන.

"මසා.. හිරා ඒකත් නමක්ද හැබෑට ?”කට කැඩිච්ච කොල්ලෙක් එහම අහද්දි

"ඒ කාලේ එහෙම නම් තමා බොල තිබුණේ . උඹලට වගේ පැඟිරි නම් තිබුණද ඉස්සර ?” එහෙම කියලා හොඳ වාග් ප්‍රහාරයකුත් දුන්න සයිමන් ලොක්කා ආයෙමත් කතාවට එකතු වුණා .

"මසාහිරා කලේ කම්මල් වැඩ . ගමේ තිබුණු කම්මල උගේ !. කම්මල් රස්සාවෙන් ජීවත් වුණාට මිනිහා හොඳට ඔය මන්තර සාත්තරෙත් දැනගෙන උන්නා . ඒ කාලේ මන්තර සත්තරේ දැන ඉගන ගන්නවාය කියන්නේ ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි . තාත්තගෙන් පුතාට , නෑදෑයන් ගෙන පවුලේ අයට . ඔන්න ඔය වගේ තැන් වලින් මන්තර ශාස්ත්‍රය අතින් අත, කටින් කට පැතිරීගෙන ගිහිල්ලයි තිබුණේ . ඉතින් මසාහිරාත් ඔය කොහොම හරි ක්‍රමයකින් මන්තර වැඩ ගැන හොඳටම ඉගනගෙන තිබුණා . ඒත් ඔවුවා ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි නේ . ඒක නිසා මිනිහා දෑත වෙහෙසලා වැඩ කරලා ගමේ කම්මලේ ආචාරියා වෙලාම ජීවිතේ ගැට ගහගෙන හිටියා . ඉතින් මිනිහාගේ මන්තර බලේ ගැන දැනගෙන හිටියේ බොහෝම ටික දෙනයි .”

මන්තර ශාස්තරේ ගැන කියැවෙන කතාවක් සයිමන් අංකල් කියන්න යන බව දැනගත්තු ගමන් වටේ පීටේ කතාව අහගෙන හිටපු කොල්ලොන්ගේ මූණේ හිනාවක් ඇඳුණා . ඒ හිනාවෙන් මට නම් ඒත්තු ගැන්නුනේ මුං මේ කතාව විශ්වාස කරන්න සූදානම් නැති විත්තිය .

"ඔන්න දවසක් අපේ ගමේ මැම්බර් මහත්තයාගේ ගෙදර අවමංගල්ලයක් සිද්ධ වුණා !. ඔය අවමංගල උත්සවේට අහල ගං හතකින් සෙනග ආවා ! . ඔය බොහොම දෙනෙක් ආවේ ගියේ ගමේ වැදගතා වෙච්ච මැම්බර් මහත්තයාට තියන බය පක්‍ෂපාත කම නිසා සහ දැන හැඳුනුම් කම නිසා . ඒත් ඔය දෙවරිගෙටම නැති කට්ටිය කීප දෙනෙකුත් එදා ඇවිදින් හිටියා . !”

ලොකූ කුතුහලයක් හිතේ පිරිද්දී . "කවුද ඒ ආපු කට්ටිය ?කියලා අපි අහන්න පෙළඹුණේ නිරායාසයෙන්මයි .

"ඒ ඇවිදින් හිටියේ අහල පහළ ගං වල මන්තර දන්න කියන ගුරුන්නාන්සේලා . !

"උං ඇවිල්ලා මොනා කරන්නද ? මිනියට පණ දෙන්ඩයැ !

මගේ මිත්‍රයා ජනා එහම ඇහැවුවා !

"මිනියට පණ දෙන්ඩ නම් නෙවෙයි . උං ඇවිදින් හිටියේ ගෑනු හොරකමේ !

"නෑ ඈ ඈ ඈ ඈ ! ! ! ! ! !”

කතාව අහගෙන හිටි කොල්ලෝ සෙට් එකම නක්කලේට වගේ නෑ කියද්දී සයිමන් අංකල්ට නප්පෙටම තද වුණා .

"නැද්ද තියේද කියලා රෙද්ද උස්සලා බලාගනියවු ආං අර කළුවරක ගිහිල්ලා !

පොඩි එවුන්ට හිත පුරෝගෙන කරුණාව පෑවට මොකෝ . යකා නැග්ගම සයිමන් අංකල් කොයිතරම් නරුමයෙක්ද කියලත් මම හොඳ හැටි දන්නවා . කොහොම හරි සයිමන් අංකල් ආයේමත් පොඩි විවේකයක් අරගෙන කතාව කියන්න ගත්තා .

"තමන්ට හිත ගිහිච්ච ගෑනු මනුස්සයාව එක ඉනාවකින් දැපනේ දාගන්න හපන් මන්තර කාරයෝ ඉස්සර මේ අවට ගම්මාන වල හිටියා . ඒ අතරින් වඩාම හපනා වුණේ තල්පේ ගුරුන්නාන්සේ කියලා කෙනෙක් .”

"කෝමද ඉනාව දෙන්නේ ?”

 
නොදන්න දෙයක් ගැන වැඩිපුර විස්තර දැනගන්න ආසාවෙන් මම එහෙම අහද්දී සයිමන් අංකල් මට ඒ ගැන අකුරක්නෑර පැහැදිලි කරා . උන්දෑ හොඳටම දන්නවා මේ කතාව උවමනාවෙන් අහං ඉන්න එකම එකා මමයි කියලා .

"ඉනාව කීවේ බේතක් . ඒ බේත කෙනෙකුගේ දිවේ ගෑවිලා ශරීරගත වුණාම ඒ පුද්ගලයා ඉනාව දුන් කෙනාපැත්තට නිකම්ම නැවෙනවා . දැපනේ වැටෙනවා . “

"කෝමද ඕක හදන්නේ ?

"හදන විදිය නම් මම දන්නේ නෑ ඒත් යන්තම් ඔවුවා ගැන කටින් කට යන වචන මම අහලා තියනවා . ඒ කයි කතන්දර වල හැටියට නම් . ඉනා බේත හදන්නේ රහස් බේත් කොළ වගයක් එක්කාසු කරලාය කියන්නේ ඒක හරියට අගුණ කොළ මැල්ලුමක් වගේ ලු !

"දැං ඉතින් ඕක හැදුවට මදි නෙව ඕක කවන්නත් එපෑය කෝමද දැන් ඕක කෙල්ලට කැවුවේ ?

මගෙ මිත්‍රයෙක් එහෙම ඇහුවේ නිකං ඌ මේ දැන් ඉනාවක් හදලා කෙනෙකුට දෙන්න වාගේ !
"මල ගෙදරක දානේ ගෙදරක වගේ තැනකදී ඒ කියන්නේ ඔය ලොකුවට ඉවුම් පිහුම් කරන තැනකදී බත අස්සේ හංඟලා ඉනාවක් දෙන්න බොහොම ලේසියි . ඒකයි මන්තර කාරයෝ බෝම දෙනෙක් ඔය වගේ මල ගෙවල් , මගුල් ගෙවල් තියන තැන් වලට එකතු වෙන්නේ.

"ඉතින් ඉතින්"

"ඔන්න ඉතින් එදා මල ගෙදරට තල්පේ ගුරාත් ඇවිදින් හිටියා . අපිත් ඉතින් වැඩිය උන්දෑ ගැන හෙවිල්ලක් බැලිල්ලක් කරන්න ගියේ නෑ අපි අපේ පාඩුවේ බලාගෙන උන්නා . ඒ කාලේ මේ අද වගේ මල ගෙදරට එන හැමෝටම කන්න බොන්න දෙන සිරිතක් තිබුණේ නෑ . දුර ඉඳලා එන අයට විතරක් කෑම වේලක් දීම තමා ඉස්සර පුරුද්ද . අනික ඒ මල බත ඉවුවේ පිහුවේ අසල්වැසි ගෙදරක . මේ අද කාලේ වගේ රජ බොජුන් නම් දුන්නේ නෑ වට්ටක්කයි, කරෝලයි, බතයි තමා දුන්නේ .

"ඔය මල බත කාලා කෝමද දන්නෑ එදා හිටපු එවුං මිනී පෙට්ටිය කර ගැහුවේ .

එකෙක් එහෙම කියද්දී සයිමන් සීයට මොකෙද්ද මන්දා ආරූඪ වුණා .

"හෙහ් උඹලා දන්නෑ ඒ කාලේ හිටපු මිනිස්සු හීනැටි හාලේ බත ..

සයිමන් අංකල් හෙන පම්පෝරියකට සෙට් වෙනබව දැන්ගත්ත අපි එවෙලෙම කියන්න ගත්තා "අනේ ඕක නම් කියන්න එපා ඉනාවේ කතාව කියන්ඩෝ" කියලා .ඉතින් අපේ විරෝධය හමුවේ පසු බැස ගිය සයිමන් අංකල් ආයෙමත් කතාව පටන් ගත්තා .! පවු වයසක නිසා මිනිහා ට්‍රැක් පයිනවා වැඩියි .

"ඉතින් එදා මැම්බර මහත්තයාගේ මල ගෙදරට උදවු වෙන්න උන්දෑගේ දුරින් නෑදෑ වෙන පවුලක් ඇවිදින් හිටියා !. ඒ පවුලේ හිටියා බොහෝම ලස්සන ඔය උඹලගේ වගේ වයසෙම වාගේ හිටි කෙල්ලක් . ඒකිගේ නම නම් මට මතකයක් නෑ හැබැයි ඒ කෙල්ලගේ අප්පච්චි නම් මම ටිකක් අඳුනනවා කරෝලිස් අප්පුහාමි තමයි මිනිහාගේ නම. හෙන සද්දන්ත පුරුසයා . කෝම හරි ඔය කෙල්ලත් එහේ මෙහේ දුව පනිමින් මල ගෙදර වැඩ කටයුතු වලට උදවු වෙමින් තමා හිටියේ . ඔන්න ඔය ගැටිස්සිව දැක්ක අල්ලපු ගමේ තල්පේ ගුරුන්නාන්සේ ඒකිට වැටිලා දුන්නෙ නැද්ද ඒකිට ඉනාව . !

"ඉතින් ඉනාව කාපු ගමන් කෙල්ල දුවලා ගිහිං තල්පෙයා ගේ ඔඩෙක්කේ ඉඳගත්තද සයිමන් අංකල් . ?”

මම එහම අහද්දී සයිමන් අංකල් ටිකක් තරහින් ඊට උත්තර දුන්නා මෙන්න මෙහෙම .

"උඹට විකාර. ඉනාව කැවුණම එහම වෙන්නේ නෑ ! ඉනාව දුන්නේ නාබර ගැටිස්සියෙකුට නම් ඒකි මුලින්ම හැඩ වෙනවා ඕනෙවාට වැඩිය . ඔය ඒකිගේ රෙද්ද හැට්ටේ ඔන්න ඔවුවාගේ අඩු පාඩු හරිගස්සන්න හදනවා එක දිගටම . ඊළඟට තව ටිකක් වෙලා යනකොට .කැකිරි පැළෙන හිනාව පටන්ගන්නවා . ඔය සරුවාංගෙම හොල්ල හොල්ල බොහොම කැත විදිහට වෙන හිනාව ! අන්න එහෙම හිනාවෙන්න ගන්නවා . ඊළඟට තමයි කුප්පමේනිය මුලට දැපනේ වැටුණු බැලලී වගේ ඉනාව දුන්න එකාගේ පැත්තෙට හැරිලා ඌ එක්ක යන්න හදන්නේ .”

"ඉතින් ඉතින් ?

"ඔන්න ඉතින් අර ගැටිස්සි කොක් හඬලා හිනා වෙනකොට වටේ පිටේ ගෑනු ටික දැනගත්තා මේකිට කවුරුහරි ඉනාවක් දීලා කියලා . ඉතින් උන් ඒකිව අල්ලගෙන ඉක්මනට පුටුවකට තියලා ගැට ගහලා දැම්මා . කෙල්ල ඒ බැමි කඩාගෙන දුවන්න පොරේ . කෙල්ලගේ තාත්තා ලතෝනි දෙනවා !. ඔන්න ඔය අතරේ හරි වේලාවට පහල වුණ දෙවියෙක් වගේ . මසාහිරා කට්ටඬියා එතනට ආවා . මිනිහා ආ ගමන් කෙල්ලගේ කෙස් වැටියෙන් අල්ලගෙන මොනවාදෝ කුටු කුටු ගාල මැතිරුවා විතරයි කෙල්ල සුටුස් ගාලා නිශ්ශබ්ද වුණා .! ඒත් ඒකිට හරි සිහියක් නෑ . අන්තිමේදී මසාහිරා ගුරුන්නාන්සේ අපෙ තාත්තට කතා කරලා කීවා ගිහිං මල් නොපිපුණු ඇත්දෙමට ගහකින් පට්ටයක් අරං එන්න කියලා . අපෙ තාත්තත් විජහට ගිහිං හෙන දිග පට්ටයක් ගෙනවා .. ! ඊට පස්සේ තමා හොඳම හරිය වුණේ .

"ඉතින් අංකල් අගේ නොකර ඔන්න ඔය ඩිංගත් කියාල දාන්නකෝ"

මුලදී කින්ඩි දාපු කොල්ලොත් දැං කතාවට වහ වැටිලා උන්ටත් ඉනාවක් දීලා වගේමයි .

"මසාහිරා ගුරා ටික වෙලාවක් අර ඇත්දෙමට පට්ටෙට මතුරලා ඒක වළල්ලක් වගේ රවුම් කරලා අර ඉනාව කැවිච්චි ගැටිස්සිගේ බෙල්ල වටේ එතුවා නිකම් මාලයක් වගේ. ඔතලා මැතිරුවා !!. දන්නවාද උඹලා ඊට පස්සේ වුණ දේ ?”

"නෑ ඉතින් කියන්නකෝ .”

"ඒ කෙල්ල මර ලතෝනි දුන්නා බොලවු තල්පේ, මයෙ තල්පේ, මට මයෙ තල්පේ අයියා එක්ක යන්න ඕනේ කියාල කොහොමද මසාහිරාගේ හපන්කම ?.”

"තල්පෙට බඩු " මට එකවරම එහෙම කියවුණා 

"ඔන්න වටේ පිටේ හිටි සේරමලා දැනගත්තා ඉනාව දුන්නේ මොකාද කියලා . එතකොටම වට වෙච්ච පිරිමි කීප දෙනෙක් තල්පේ ගුරුන්නාන්සෙට තඩිබාන්න ගත්තා ඌට කට උත්තර නැති වෙන්න . උඹලට කියන්න ඌ ගුටි කාලා පාර අයිනේ හතරගාතේ දාලා වැටිලා ඉන්නවා මයෙ ඇස් දෙකටම දැක්කා . අනේ ඉතින් ඒ මනුස්සයාට ආයේ ඇස් අරින්න නම් වාසනාව තිබුණේ නෑ බොලං .මට හිතෙන්නේ ඒකා මම දකිනකොටත් මියැදිලා ඉවරයි .මොකද කීවොත් මම ආයේ තල්පෙ ගුරාව මයෙ ඇහැට වත් දැක්කේ නෑ

"මිනිස්සු මොන හිතකින් තල්පෙව මැරුවද සයිමන් අංකල් ?

"ඒ කාලේ ඒවාට මොකුත් කියන්න කෙනෙක් නෑ මැම්බර තමා ගමේ ප්‍රධානියා ඉතින් මිනිහා මොකුත් නොකීවාම ආයේ ඒක හාරවුස්සන්න කවුරුත් යන්නේ නෑ .අනික දැං අවුරුදු කීයක්ද බං ඕක කරාපු එවුනුත් දැං පොළවේ පස් වෙලා ඇති

"ඉතින් අර ඉනාව කෑ කෙල්ලට මොකෝ වුණේ ?

"කොහොම වුණත් ඉනාව කැවිලා පැය තුන හතරක් ගත වුණාට පස්සේ ආයේ කෙනෙක්ව ගොඩ ගන්න එක බොහොම අමාරු වැඩක් . ඒත් මසාහිරා කට්ටඬියා ඒ වැඩේට අත ගැහුවා . උන්දෑ ඒ කෙල්ලව ගෙදර එක්ක ගිහිං මාස ගාණක් බේත් හේත් කරලා . මතුරලා අන්තිමේදී ඒ ගෑනු දරුවව සනීප කරගෙන කරකාර බැන්ඳා ... ! ඕං ඕකයි කතාව .”

මල ගෙදරදී ලැබුණු ප්ලේන්ටිය රස විඳින ගමන් මේ කථාවත් අහහමින් මම මටත් නොදැනීම පුවක් තොගයකුත් ශුද්ධ කරලා තිබුණා . ඉතින් එදා දවසේ පාළුව කම්මැලි කම යන්න මේ කතාව කියාපු සයිමන් අංකල්ට මම බාල දුම්වැටි කීපයක්ම අරගෙන දුන්නේ මට මේ කතාව කීවාට කරන ප්‍රති උපකාරයක් හැටියටයි .

කට කතා වලට තටු තියනවාලු . එහෙන් මෙහෙන් ඇහෙන කතා සමහරු විශ්වාස කරනවා . ඇහැට පේන දකින් දේ වුණත් සමහරු වරදවා වටහාගන්නවා . ඉතින් මේ සිදුවීමත් ඉස්සර කාලේ හිටි කාගේ හරි බොරු මනස්ගාතයක් වෙන්නැති . මම වුණත් මට ඇහෙන හැම දෙයක්ම ඉස් මුදුනින් පිළිගන්නේ නෑ .! එහෙම නම් මම අමු මෝඩයෙක් වෙන්න ඕනෙ . ඒ වුණත් මම හැම නොදැකපු පලියට යමක් අවිශ්වාස කරන්න පෙළඹෙන්නෙත් නෑ .

ඇහෙන දකින හැම දේකම ඇත්ත නැත්ත හොයන්න යන එක විකාරයක් . ඉතින් ඇහෙන කතාවක් කනකින් ඇතුළට අරගෙන ඒ කතාව මනසින් විඳලා අනික් කණින් බැහැර කරාම කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැති තරම් .! . ඉතින් මේ කතාව පහු ගියදා මට කෙනෙක් කීව කතාවක් පමණක් මිස මම ඇහැට දැකපු සිදුවීමක්වත් මම අත් විඳපු සිදුවීමක්වත් නොවේ කියලා මම ආයෙමත් කියනවා .



/ලි . පහුගිය දවස් වල ඇතිවුණු ප්‍රශ්න කීපයක් උඩ බ්ලොග් එක ලියන එක කියවන එක මාරම විදිහට මග ඇරුණා ඉතින් දැන් ප්‍රශ්න අවසන් නිසා ආයෙමත් මම බ්ලොග් එකේ වැඩ ඇල්ලු බවත් සතුටින් කියන්න ඕනෙ . මම නැති ටිකේ වුණත් බ්ලොග් එකට ඇවිදින් කමෙන්ට් කරලා ලීවේ නැති එකට මට බැනලා මාව ආයෙමත් ලියන්න ඇදලා ගත් හැමෝටමත් ආපු ගියපු හැමෝටමත් ස්තූතියි ..!


102 comments:

Anonymous said...

කාලෙක පස්සේ එල ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ , පට්ටයි කතාව..!!

Podi Kumarihami said...

//"උඹට විකාර. ඉනාව කැවුණම එහම වෙන්නේ නෑ ! ඉනාව දුන්නේ නාබර ගැටිස්සියෙකුට නම් ඒකි මුලින්ම හැඩ වෙනවා ඕනෙවාට වැඩිය . ඔය ඒකිගේ රෙද්ද හැට්ටේ ඔන්න ඔවුවාගේ අඩු පාඩු හරිගස්සන්න හදනවා එක දිගටම . ඊළඟට තව ටිකක් වෙලා යනකොට .කැකිරි පැළෙන හිනාව පටන්ගන්නවා . ඔය සරුවාංගෙම හොල්ල හොල්ල බොහොම කැත විදිහට වෙන හිනාව ! අන්න එහෙම හිනාවෙන්න ගන්නවා . ඊළඟට තමයි කුප්පමේනිය මුලට දැපනේ වැටුණු බැලලී වගේ ඉනාව දුන්න එකාගේ පැත්තෙට හැරිලා ඌ එක්ක යන්න හදන්නේ .” //

ඔන්න දැන් දන්නවා වශී උනාම කරන දේවල්...අපොයි දෙය්යනේ.:D:D:D

පූසා said...

මට පේන්නෙ ඉනාව කවලා තියෙන්නේ මසාහිරා කට්ටඬියාමද කොහෙද :D

Observer said...

බලහන්, ඔච්චර හොඳ කතාවක් අහගෙනත් උඹ සයිමන් සීයට අරන් දුන්නෙ බීඩිනේ.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මසාහිරා මාර පොරක්නේ ...අන්තිමට මිනිහා කාලා ඉනාව අර ගැටිස්සිගේ....

Anonymous said...

niyama kathawa sandaruwo... matu aaa...

-prasanna86k-

Gimhani said...

සඳරූගෙන් තවත් රසවත් කතාවක්
…ඉනා දීලා හිත අරන් මොකටද නේද සඳරූ .
…සමහරුන්ගෙ හිනාව්ත් ඉනාවක් වගේ නේද

Anonymous said...

පූසාට හිතුණු දේමයි මටත් හිතුනේ....
අනික ගෙදර ගිනිහින් මාස ගානක් තියාන ලෙඩ සුව කොරන්න ගියාම...ඉතින් පිරිමි පරානෙකයි...නාඹර ගැටිස්සියෙකුයි අතරේ ආදරයක් හට ගන්න එක අහන්න දෙයක්ද කොල්ලෝ....හික්ස්

මොනවා වුනත්..මාර වැඩ නේ ඒ කාලේ තිබිලා තියෙන්නෙ...

Weni said...

මිත්‍යාවද ඇත්තද කියලා නොසොයා වැළලිලා යන්න තියෙන මේ වගේ කතා රසට ලියලා සයිබර් අවකාශයට මුදා හරින එක නම් අති විශිෂ්ඨයි සඳරූ. ගොඩාක් අය කරන්නෙ අපේ ඔය පරම්පරාවෙ තියෙන අත්දැකීම් අහලා හිනා වෙලා කොළොප්පමට අරන් අමතක කරලා දමන එක..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කථාවක් විදිහට සැහෙන රසයක් වින්ද .මල ගෙවල්වල හොල්මන් කථා කියන්න සෙට් වෙලා , ඒවා විශ්වාස නොකරනවාය කියන මං තුමා ඇතුලු සෙට් එකක් වතාවක් දොට්ට පිලට බැස්සෙත් එක සැරේ එක පේලියට හිටගෙන . ඒකට හේතුව පොඩි කාලේ ඉඳන් ඔලුවලට ඇතුල් වෙලා තියන දේවල් යටි සිතේ තියන එක . කොවුර් මහත්තයගේ පොත් වල ලස්සනට විස්තර කරල තියනව

Unknown said...

හ්ම්... ඕවගෙ ඇත්ත නැත්ත දැන් කාලෙ හොයන්න අමාරුයි මලේ.මොකද ඉස්සර තිබුන ශාස්ත්‍රය ඒ විදිහට තියෙනවා කියලා අපිට කියන්න බෑනෙ නේද? දැන් ඉන්න වැඩි හරියක් බොරු කරන අයනෙ.

මාතලන් said...

මේ වගෙ කතා ඕන තරම් අහලා තිබුනට. උඹ කියන කොට මාර රසයි.. ඕන් උඹ ගැන මගේ පෝස්ට් එකෙත් දැම්මා.....

Hishan de Silva said...

මසාහිරා ඩබල් ගේමක් දීල වගේ?

``` Outsider``` said...

මාර වැඩේනෙ අම්මප

පිණිබිඳු... said...

මසාහිරා අන්තිමට හිරේ වැටුණා නොවැ ඉනා කපන්න ගිහින්. මම අහල තියෙනවා තල කැරලි වලට මුහු කරලා ඉනා දෙනව කියලා. තල වල රසට ඉනාවෙ රස වෙනස දැනෙන්නෙ නැතිලු.

saumiya said...

matath hitenne e wage... Masahira tamai inawa denda eththe...

Sandaru,
koheda ban mechchara dawas gihilla hitiye....

Janaka Rathnayaka said...

ඇත්තටම මෙලොකේ මෙවගේ කොච්චරනම් කතා තියෙනවද එවා දැන ගන්න නම් මලගෙවල්වල නයිටක් ගහහන්නම ඔන බන්...

Anonymous said...

post eka kiyevve ne.oyata blog ekak thiyen viththiya mathak vechcha ekath loku deyak.

Anonymous said...

අනේ අනේ කොහොමහරි වාසි උනේ මසාහිරා කට්ටඬියාටම නේද? නියම කතාව.

miuranga said...

ඔහොම සීන් එකක් තියනවා නේද අග්නි දාහය ෆිල්ම් එකත්. මේවා ඇත්තටම තිබුණු දේවල් වෙන්න ඇති. ඉස්සරහට අපිට මේ වගේ කතා කියවන්න පුළුවන් වෙයි නේ..

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මෙවන් විශ්වාස ගැමියන් අතර තිබුනා. ඒ විතරක් නෙවේ මෙවැනි පැරණි විද්‍යාවන්ද තිබී තියෙනවා. නමුත් අපේ අවාසනාවට එවැනි දේ අද අප අතර නැහැ. මම නම් මේ දෙවල් තදින් විශ්වාස කරනවා. නමුත් කිරීමට හැකියාව ඇති අය අද නැති බවත් මම පිළිගන්නවා.

සිතුවිලි නිහඬයි said...

හික්ස්.....අර තලපේ කියලා කැ ගහන සීන් එක තමා මරු......

Unknown said...

සදරුවෝ... හැමදාම වගේ අළුත්ම කතාවක් අපිත් එක්ක බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි. අනෙක් කතා ටිකත් ඉස්සරහට දානකමි බලාගෙන ඉන්නවා..!!!

ජයවෙිවා!!!

Anonymous said...

Sandaru mama umbe hama article ekakma kiyawanawa. adai comment ekak danne. umbata mara talent ekak thiyanawa. Keep going....

Anu

වර්ණා said...

හ්ම්ම් තලපෙත් මනමාලය නොවැ.. මරු කතන්දරේ,,

Anonymous said...

හෙහ් ..... ! ඉනාව දුන්නෙ කවුරුවත්. කරුමෙ පළි දුන්නෙ කාටවත්. ;)

uwiniran said...

ගහෙන් වැටුන කෙල්ලට මසාහිරා ඇන්න වගේ......!!

ලොකු පුතා said...

පට්ට කතාව මචන්. ලඟ ඉඳගෙන සයිමන් උන්දැගෙන් කතාව ඇහුව වගේ ගතියක් දැනෙන්න උඹ ලියල තියෙනවා
මමත් මේ වගේ ගුරුහරුකම් අපේ මිනිස්සු ගාව තිබ්බ කියල විශ්වාස කරනවා
දැන් කාලෙනම් කොහොමද කියල කියන්නනම් දන්නේ නැහැ

මළගෙදරක නිදිමරාගෙන කතා කියන, අහන එකෙත් අමුතු ගතියක් තියෙනවා
ඒකට හරියන්න මේ වගේ වයසක උන්දලා සෙට් වෙන්නත් ඕනේ
කොල්ලෝ වීතරක් සෙට් උනාම වැඩිපුර තැනක් එන්නේ ඇම්ඩන් කතා ශෛලයටනේ...:)

වසිලිස්සා said...

සඳරු කට්ටියටම ඉනව දුන්නනේද බ්ලොග් එකට දැපනේ වැටිලා ඉන්න :))))
රසවත් කතාවක්,ඉතුරු කතාත් ඉක්මනින් පලකරන්න හොඳේ.

පැට්ටා said...

කොහොමින් කොහොමින් හරි තල්පෙ දීපු ඉනාව වැඩ කරේ මසාහිරා ට... කොහොමද චෑන්ස් එක... :D :D :D

පිස්සා පලාමල්ල said...

"නැද්ද තියේද කියලා රෙද්ද උස්සලා බලාගනියවු ආං අර කළුවරක ගිහිල්ලා !”

සිරාම කතාව බන් ඒක...

මමත් බැලුව තොට මොනා වෙලාද කියල.. ඊයෙ රෑ බොට කෝල් එකක් දෙන්නත් හිටියෙ මම.. චුට්ටක් වැඩිවෙලා එහෙම්ම නින්ද ගියා.. :D

වසිලිස්සා said...

ටෙලිකොම් අන්ලිමිටෙඩ් එකක් ගත්තනම් සඳරු ගොඩාක් ලෙසිවෙයි ඉන්ටර්නෙට් යන්න.

bkthambugala said...

<<>>

නියමයි මචං.. සිරා කතාවකට පස්සෙ මරු වචන ටික.. අපිට ගෝචර වෙන දේ විශ්වාසත් නොකර බැහැරත් නොකර ඉන්න එක තමයි හරි දේ.. හැබැයි ජුන්ඩි කොස්සකුත් තියෙනව.. අපිට ගෝචර නොවෙන හැම දේම ඇත්ත හරි බොරු හරි වෙන්ඩ තියෙන්නෙ එකම චාන්ස් එක නෙමෙයි.. දැං මම කහටගස්දිගිලියට ගිහිං නෑ.. හන්දියෙ පෙට්‍රල් ෂෙඩ් එකක් ඇති කියල මම හිතනව.. මම හරියට දන්නෙ නෑ.. එතෙන්දි මට යංකිසි රටාවකට අනුව හිතතැහැකි.. දැන් ඒතරම් ලොකු නොවන නගර වලත් ෂෙඩ් තියෙන හින්ද තියෙන්ඩ පුළුවන්.. තියනව කියල කවුරු හරි කිව්වොත් මම අවිශ්වාස කරන්නෙ නෑ.. ඒත් මට නං හිතෙන්නෙ ඔය ඉනා, බලි තොවිල් කොඩිවින ගැන එහෙම නෙමෙයි.. ඒවගේ විශ්වාස රටිං රටට, සමාජෙන් සමාජෙට කොච්චර වෙනස් ද කිව්වොත් එක රටක තියෙන එක විශ්වසනීයයි කියල හිතන්ඩ බෑ (එක රටක එක හරි නම් අනික්ව බොරු වෙන්ඩ ඕනෙ..).. ඒව බොරු කියල ෆුල් ශුවර් පිට කියන්ඩ බැරි වුණාට ඒව ඇත්ත වෙන්ඩ චාන්ස් එක කහටගස්දිගිලියෙ පෙට්‍රල් ෂෙඩ් එකට වඩා ගොඩක් අඩුයි.. ඉනාව ඇත්ත ද බොරු ද කියල කියන්ඩ බැරි නම් නත්තල් සීය හරි නූඩ්ල්ස් දෙවියො හරිත් ඇත්ත ද බොරු ද කියල කියන්ඩ බෑ.. ඒ නිසා මට හිතෙන හැටියට නම් හොඳම දේ ඒව විශ්වාස නොකර ඉන්න එක.. කොහොම වුණත් එළ කතාව.. කීප් ඉට් අප්..

මහ වෙදනට ඕක විශ්වාස කරන්ඩ තියෙන අයිතිය වෙනුවෙන් මම මැරෙන්ඩ වුණත් ලෑස්තියි.. ඒ වුණත් තමුන්ට කිසිලෙසවත් දැනගත නොහැකි දෙයක් විශ්වාස කරන එක (ඊටත් තදින් විශ්වාස කරන එක ) එච්චර තේරුමක් නෑ නේද? අපේ ක්ශීර පථය කෙරවළේ ඉන්න පිටසක්වල ජීවියෙක් පොළව දිහාට ටෝච් එකක් ගහනව (ඒත් කාටවත් ඒක පේන්නෙ නෑ ) කියල විශ්වාස කරනවට සමානයි නේද??

Ice (අයේෂා කුලතුංග) said...

ගොඩක් ගම්වල තිබුන ඔය කතා අද වැළලිලා යනවා.. එහෙම නොවී අපිට කියවන්න ලියන එක නම් නියමයි... මිත්‍යාවන්ගේ ඇත්ත, නැත්ත කතාවේ රසවින්දනයට බාධාවක් කරගන්න ඕනේ නෑනේ. හරිම රසවත් විදියට ලියල තියෙනවා. :)

mier said...

මසාහිරා ගුරුන්නාන්සේ, කෙල්ලත් එක්ක එකතු වෙලා ගහපු ගැටයක්වත්ද කියල හිතුනා මටනම්. දැන් මේ වැඩෙන් මසාහිරාට කෙල්ලව ලේසියෙන්ම ලැබුනනෙ, මසාහිරා කෙල්ල එක්ක පටලැවිල්ලක් තිබිලා, මෙහෙම මෙහෙම කරමු කියල කතා වෙලා අන්තිමට දෙන්න එකතු උනාද දන්නෙ නැහැ.අන්තිමට අර කොහේවත් යන තල්පේ ගුරුන්නාන්සේට මැරුම් කන්න උනාද දන්නෙ නැහැ මෙයලගෙ වැඩ නිසා

ගිනි කුරුල්ලා said...

මාර කතාව ..!!!
:)

duliponline said...

මගෙ නෑදෑ අක්ක කෙනෙක් වතාවක් කොල්ලෙකුට වශී ගුරුකමක් කරල . . අර පත්තරේ ඇඩ් යන්නෙ තැපෑලෙං වශී කරන එවුංගෙ . . . ආන්න එයිං බුවෙක්ගෙං . . . බඩු තැපැල් කාර්යාලෙට ඇවිල්ල තියනව, ඇවිත් ගෙනියන්න කියල එවන කොලේ ලැබුනෙ මගෙ අතට . . . කොහොමෙං කොහොමෙං හරි ඒ කොලේ අක්කගෙ අතට ලැබෙද්දි දැනගන්න ඕනෙ සෙට් එකම සීන් එක දැනගෙන ඉවරයි . . . . දැං ඒ අක්කට අවුරුදු 40ක් විතර ඇති . . තාම අක්කව දැක්කාම අපි අහස දිහා බලල "වසීද දන්නෙ නෑ" කියල දුවනව

ඉන්දික උපශාන්ත said...

ඔයි ඔක්කොම ගුරාල හෙන හොරාල බං! උඹලගෙ පැත්ත ගල් ඔය ව්‍යාපාරෙ යටතෙ හැදුන ගමක් නෙමෙයිද?

Anonymous said...

හපොයි හපොයි මදැයි උඔ ආපහු ආවා බ්ලොග් එක පැත්තේ.
කතාව නම් ඉතින් සුපුරුදු ලෙසම ෆට්ටයි.
මල ගෙවල් වල නයිට ගහත්දි ඇහෙන කතානම් ඔහොම තමයි. වැඩේ කියන්නෙ උඔ මේවා ගලපල කියවන්න හිතෙන විදිහට ලියන එකයි.
පහුගිය ටිකේ කීදෙනෙක් උඔගෙ බ්ලොග්ට එන්න ඇති කියලද උඔ හිතන්නෙ බොට මක් වුනාද බලන්න.
ජය වේවා කිව්ව මචෝ.
JH

රාජ් said...

උඹලෑ ආතගෙ මන්තර පොත්වල ඔය ඉනා මන්තර ඇති. ඒවයිං වත් වැඩක් අරගෙන පිළිවෙලක් වෙයං සදරුවෝ. මළගෙවල් වලටයි මගුල්ගෙවල් දානෙගෙවල් ගානෙ නිදිමරන්නෙ නැතුව. ඕං නොකීවැයි කියන්ටෙපා!

ගැමියාගේ පත් ඉරුව said...

මම කාලයක් ප්‍රතිකාර ගන්න අවුරුදු 96 වයස වෙද මහත්තයෙක්ගේ ගෙදර නැවතිලා හිටියා ඒ දවස්වල මේ වගේ අද්භුත කථා ඇහුවා විතරක් නෙමෙයි දැක්කා

දවසක් ඔහොම ඉනාවක් කාපු ගෑනු කෙනෙකුත් ඇවිත් හිටියා ඒ ගෑනු කෙනා බැදලා තිබුණේ කොට මිනිහෙක්ව ඒ මිනිහා ඉනාවක් දීලාලු ඒක කැපුවාම ඒ ගෑනු කෙනාගේ අත් කකුල් කොර වෙන්න ඇවිත් ඒකට බෙහෙත් ගන්න ආවේ ඒ දේවල් දකිනකොට අද්භූත සිද්ධි විස්වාස නොකරත් බෑ සදරු අයියේ.ආයේ දිගටම ලියන්න මේ කථා හරිම රසවත් ජය වේවා.....!!!

පරිකල්පන said...

ඉනා බේත් දෙන එකත් තමන්ට අයිති නැති දෙයක් හොරකං කරගන්නව වගේ වැඩක් තමයි නේ?

Anonymous said...

ඔය පිරිමි අයට එහෙම දෙනවද?? නෑනෙ? නැත්තං ශේප් :D

දිල් said...

මොනා උනත් සයිමන්ට සැලකුවා මදි සඳරුවො...

Praසන්ன said...

සයිමන් අංකල් බොට ඉනාවක් දීල පුවක් ටික ඔක්කොම සුද්ද කරගෙන නේද?

කතන්දර Kathandara said...

ඉනා කෙසේ වෙතත් සිනා මනාවයි!

අසරණයා said...

ඉස්සරනම් හිටිය ඕව හරියටම කරන කට්ටඩියෝ එත් දැන්නම් නැ.දැන් ඉන්න ගොඩක් දෙන බොරු කාරයෝ..

ඉඳුනිල් said...

මෙතන නොකීවට, සඳරු ඉනා ශාස්ත්‍රය ගැන පර්යේෂණ කරන්න ගිහින් තමා බ්ලොග් එක පැත්තේ එන්ට බැරි වෙලා තියෙන්නේ. :D

@ඕනයා : ඉඳල හිටලා පිංකම් එහෙමත් කරනවා නේද ?

Miyuru said...

සඳරු කතාවට පණ පිහිටුවල ලියලා තියෙනවා....
ආපෝ ඉනා කාපු එවුන් හැසිරෙන විදිය..... :O

'පවු වයසක නිසා මිනිහා ට්‍රැක් පයිනවා වැඩියි...'
මේක කියන්න ඇත්තෙ ඔබා මාමටත් එක්ක වෙන්නැති නේ.... :D

Anonymous said...

සාහිත්‍යමය රසයක් විනා මේකෙ වෙන ගන්න පුළුවන් දෙයක් නෑ.

මිනිසාට ලෝකය ගැන දැනුම් තේරුම් නැති කාලයක මේ වගේ අද්භූත දේවල් ගැන මිථ්‍යා විශ්වාස ගොඩ නැඟුණා, තමන් අවට වෙන දේවල් ගැන තේරුම් ගන්න බැරුව. මානසිකව තවමත් ඒ යුගයේ ජීවත්වෙන මිනිස්සු තුළ ඒ මිථ්‍යා අදත් තියෙනවා. එච්චරයි. මේ වගේ දේවල් අද විශ්වාස කරන්නෙ විසි එක් වැනි සියවසේ ජීවත් වෙනවා කියල හිතන්න වත් බැරි මෝඩ මිනිස්සු විතරයි. (ඒත් ඉතින් ඕනැ කෙනෙකුට මෝඩ වෙන්න තියෙන අයිතියට බුද්ධික වගේම මාත් ගරු කරනවා. මොකද මෝඩයි කියල මරන්ඩයැ?)

නිසි මනෝ විද්‍යා පුහුණුවක් ලත් ඕනෑම කෙනෙකුට මේ කතාව කියන්න - ඒ අය ඉතාම ලෙහෙසියෙන් මෙතැන වෙච්චි දේ තේරුම් ගනීවි. ඔය කියන තල්පේ ගුරා කඩවසම් තරුණයෙක් වෙන්න ඕනැ. ඉතින් අර තරුණියගෙ දළ සිතේ (id) ඔහු ගැන යම් ලිංගිකාසාවක් ඇතිවෙනවා. සාමාන්‍ය තත්ව යටතේ ඒක ඇයගේ උඩු සිතෙන් (ego) පාලනය වෙනවා. නමුත් මේ දවසේ විශේෂ වාතාවරණයකදී (මේක ගැන වාර්තා වෙලා නැහැ. සඳරු ඇහුවොත් ඒ තොරතුරු හොයා ගන්න පුළුවන් වෙයි ෂුවර් එකට) ඇගේ උඩු සිතට තවදුරටත් බැරි වෙනවා දළ සිත පාලනය කරන්න. එතැන ඇතිවන ආවේගය "බොලවු තල්පේ, මයෙ තල්පේ, මට මයෙ තල්පේ අයියා එක්ක යන්න ඕනේ" වචන වලින් ප්‍රකාශ වෙනවා. (මෙන්න මේ ටික නිවැරදිව වාර්තා වෙලා තියෙනවා කියන්න පුළුවන්.) ඇය පාලනය කර ගන්නට බැරිවීමත් තේරුම් ගත හැකියි. දළ සිත ඉතාම දැඩි ලෙසයි පුද්ගලයකුව මෙහයවන්නේ.

ඉතින් මේ තරුණියට තියෙන මානසික ගැටළුවට ඔක්කෝම ටික එකතු වෙලා අර කිසිම දෙයක් නොදන්නා අහිංසකයාට පහර දීලා මැරුවා වෙන්න පුළුවන්. ඒක කකා කියනවා වගේ හිනා වෙන්න කාරණාවක් නෙවෙයි. මේ වගේ මිථ්‍යා විශ්වාස කර ගහගත්ත සමාජයක ජීවත්වීම මොනතරම් අසීරුදැයි පෙන්නන සිද්ධියක් මේක.

කොහොම උණත් කතාව බෙදා ගැනීම ගැන සඳරුට ස්තුතියි. (මේක ඒ තරම්ම විශේෂ කතාවක් නෙවෙයි. මීට සමාන කතා ගණනාවක් කොවුර්ගේ ගවේෂණ අතර දැකිය හැකියි.)ඔබේ සාහිත්‍යමය රසයට බාධා කළා නම් කණගාටුයි.

මාධව විදුරංග said...

hmmmm oya wageema wada gana maath ahala thiyanawa!~ kes gahakata mathuralath kello allagannawalu bn! :D sheh ! ee kalene inda thibbe~!

Anonymous said...

anthimedi sandaru awe inawakuth aran neda?oya mona wage inawakda habatama apita deela thiyenne.mala gedara puwak sudda karana welawe oyta thibunane blog ekata goda wela innawa kiyalawath yanna.ahala pahala apahu ulamek kagahala thawa dethun denek walakajja gahuwoth hema oyage liwilla sadahatama nathiwey kiyala hithenawa.
ane ulamo umba apahu sandaruge game nam andannepa.
oya sherlok homes kiyawapu nisa ahala athi neda e potha liyana eka nawaththala kathawa iwarayak karanna haduwama pothe kathru ta wechcha abaddiya.
e nisa parissamin kollo ...meka noliya unnothin oyath kapothiy thama..

Anonymous said...

dawas 12 k noliya indala eka post ekaka dala maru wennada kalpanawa.dan ithin prashna iwarai kiwane.
thawa deka thunak noliya unnothin sandarurath baduma thama...

කස්ස said...

මටත් හොඳ හිනාවක් කරන එකෙක් හොයාගන්න ඕනෙ මචන්.මෙහෙ සුදු කෑලි වැහි වැහැල

Dinesh said...

සදරුවෝ උඹටත් ඔය යන්තර මන්තර තියෙන පොතක් හම්බුනා කිවුවා නේද?? නරකද ඕක පොඩ්ඩක් කියවලා බැලුවනම් ඒකෙත් ඔහොම දේවල් තියෙනවද කියලා.. එතකොට අපිට උඹට කියලා ගුරුකමක් කර ගන්න පුළුවන්නේ...

හිස් අහස said...

@Anonymous -කරදර ගොඩක් ඉවර කරලා යන්තමට බ්ලොග් එක පැත්තේ ආවේ ඊයේ . ස්තූතියි
.............................................................................................................................
@Podi Kumarihami=ඔයාට නම් හිතාගන්නවත් බැරි වෙයි ඔයා ඉනාවක් කෑවොතින් ..:)
........................................................................................................................
@පූසා = කියන්න බෑ බං මම නොදන්න තව මොනා වුණාද කවුද දන්නේ .
........................................................................................................................
@Observer= බීඩි නෙවෙයි අයියා චාමර අරන්දුන්නේ .
........................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = අනේද කියන්නේ මිනිහා දාගත්තා උරචක්කර මාලේ
........................................................................................................................
@ගෝල්පීශ් = ස්තූතියි මචං
........................................................................................................................
@ගිම්හානි =හරියට හරි මගේ හිනාවත් අන්න ඒ වගේ තමයි අක්කන්ඩි .
........................................................................................................................
@අසනි = ඒ කාලේ ඉතින් කෙල්ලක් ගෙදර දාගෙන උන්නාම ආයේ ඒ කෙල්ලව කර ගහනවා ඇරෙන්න ඒ අසරනයා වෙන මොනවා කරන්නද අනේ ? මාරම වැඩ තමා ඒ සන්දියේ තිබිලා තියෙන්නේ
........................................................................................................................
@Weni= පුරා වෘත්ත උඩ තමයි අපේ ඉතිහාසයම ලියැවිලා තියෙන්නේ ඒකාලේ නොඉඳපු අපි කෝමද කෙලින්ම කියන්නේ එහෙම දෙයක් තිබුනේ නෑ කියලා . ඒක නිසා නොපිලිගත්තත් හිනා වීම වැරදියි තමා අයියා
........................................................................................................................
@බුවාගේ සිතුවිලි = කොවූර් මහත්තයාගේ මා කල ගවේෂන විතරයි මම කියවලා තියෙන්නේ ඒකෙන් මම හොඳ පන්නරයක් ලැබුවා මම ඒ පොතේ තියන දේවල් පිලිගත්තේමත් නෑ ඒක නිස මම යමක් දැක්කගමන් අහපු ගමන් විස්වාස නොකරන ඒත් ඒක එක පාරින්ම බැහැරත් නොකරන කෙනෙක් බවට පත් වුණා .
........................................................................................................................
@නිසූපා = දැං ඉන්න ඩයල් බලාගෙන ඉන්නේ කොයි මොහොතෙද ගානක් කපන්නේ කියලයි ,
........................................................................................................................
@මාතලන් =මම කතා කීමටම උපන්නෙමි . අප්පා උඹ මගේ නම මාතලන් බ්ලොග් එකේ ලියාපු දෙවනි වතාව මේ . මට පට්ට හැපී අයියා ..මම ඕං ඒ පැත්තේ පද්දලා ආවේ
........................................................................................................................
@Hishan Melanga= පවු අරසනයා ඌවමයි කට්ටිය සැක කරන්නේ
........................................................................................................................
@Outsider = ආයෙත් අහලා මාර ගහේ මල්
........................................................................................................................
@පිණිබිඳු = අපේ පැත්තේ කතාවක් තිබුණා ඉස්සර බත යට මාළු දෙයියෝ දනිති කියලා . තල කතාව අහලා නෑ අක්කේ ඒ ගැන දැනුවත් කලාට බොහෝ පිං .
........................................................................................................................
@saumiya = පොඩි කේස් එකකට ටැපලුනා නේ මචං හිතලා බලලා ඒකත් ලියාල දාන්නම් .තෑන්ක්ස් ඈ
........................................................................................................................
@Janaka Rathnayaka = මම මල දාට වරෙල්ලා අපේ පැත්තට නයිටක් ගහන්න . :)
........................................................................................................................
@Anonymous = මට හෙන ලොකු පොබ්ලම් එකක් ඇවිදින් තිබුනේ යාලු ඒකයි බ්ලොගේට එන්න බැරි වුණේ

හිස් අහස said...

@mal = එයාට තමයි ඉනාව පල දුන්නේ
........................................................................................................................
@miuranga = අග්නි දාහේ සින්දු නම් බලලා තියනවා ෆිල්ම් එකත් හොයාගෙන බලන්නම ඕනෙ
........................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = සිංහල බේතේ බලය ගැන ඉතින් මම හොඳට දන්න නිසා වෙද මහත්තයා එක්ක මමත් එක පයිං එකඟ වෙනවා . මගෙ ලොකු සීයා හෙන පරන සිංහල වෙදෙක් .
........................................................................................................................
@සිතුවිලි නිහඬයි = තල්පෙට හිතෙන්නැති පොලව පලාගෙන යන්න .
........................................................................................................................
@Sihina = ආයේමත් කරදරයක් නාවොතින් මම එක හුස්මට තව කතා හයක්ම ලියනවා . ස්තුතියි ඔයාට
........................................................................................................................
@Anu = ටැලන්ට් කාරයෙක් කියලා මාව හැඳින්නුවාට උඹට බෝම ස්තූතියි . මම ඉන්න හැටි ඇස් දෙකෙන් දැක්කා නම් උඹ ඔය වචනේ ඉල්ලා අස් කරගන්නවා සුවර් මචං .. හික් හික් .. ඉතින් කමෙන්ට් නොදැම්මට මොකෝ උඹලා ඇවිත් කියෝලා යන එක නෙව මට වටින්නේ ..ස්තූතියි බොලේ
........................................................................................................................
@වර්ණා = ඒ කාලේ මරු මනමාලයෝ තමා ඉඳලා තියෙන්නේ .
........................................................................................................................
@nawammawatha = බබා කෙටූ කෙනා තමා ඉතින් කාටත් ලැබෙන්නේ නැද්ද අයියා
........................................................................................................................
@uwiniran = මසාහිරත් හෙන ඇනිලි කාරයාලු මම පොර ගැන අහලා තියනවා .
........................................................................................................................
@ලොකු පුතා = කොල්ලෝ වට වුණාම ඉතින් බඩු කතා බීපු කතා කුප්ප කතා තමයි කොතනත් පෙරමුණ ගන්නේ ! උඹ කීවා වගේ ලොකු තාත්තලා සෙට් එකක් එක් වුණාම එල
........................................................................................................................
@වලිස්සා = මම බ්ලොග් එකේ යූ ආර් එල් එකට මැතිරුවා පස්සේ බලාන ඉද්දී කස්ටිය මේකට එන්න ගත්තා :) ටෙලිකොමි අන්ලිමිඩඩ් පාරක් ඕඩර් කරලා වෙන් කරගත්තේ දැන් වසරකට පෙර ඒත් තවම මුදල් ගෙවලා ගන්න වුණේ නෑ පොඩි කේස් බේස් වගයක් තියනවා වලී
........................................................................................................................
@අවංක පැට්ටා = මසා හිරාගේ කල්ල මරේ . ඌරා මොකද්ද තලද්දී හබන් කුකුලන්ට ආතල් කියන්නේ .
........................................................................................................................
@පිස්සා පලාමල්ල = හෙන හාල් කේස් එකක් වුණා නේ උඹල සේරටම පස්සේ කියන්නම් ... එක්කෝ බෑ
........................................................................................................................

හිස් අහස said...

@bkthambugala = අන්න ඒකයි සහෝ මම කියන්නේ ඕනම දෙයක් වැඩිය විස්වාසේවත් අවිස්වාසේවත් තියාගන්න එපාය කියලා . අවිස්වාස කරනවා නම් ඒකට පැහැදිලි හේතු කාරණා පේන්න ඕනෙ . විස්වාස කරන්න නම් තමන්ගේ ඇහැට දකින්න ඕනෙ . මෙතන වෙච්ච දේ මම තදින්ම විස්වාස කරන්නේ නෑ ඒත් මගේ හිත මටම කියනවා මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ කියලා . මගෙ ලොකු සීයා . මේ පලාතේ උන් වෙදෙක් ඉතින් ඒ මිනිහා කල කී දෑ වලට අනුව මම වෙන්න බෑ කියලා හිතාගෙන උන්න ගොඩාක් දේ විස්වාස් කරන්න ගත්තා . ඒක නිසා මම යමක් බැහැර කරන්න කලින් තිස් තුන් පාරක්වත් හිතනවා
........................................................................................................................
@Ice (අයේෂා කුලතුංග) = ඒ කතාව නම් සහතික ඇත්ත . මිත්‍යාවට යට නොවී හිතට සතුටක් ලැබුණා නම් යමක් කියෙවුවා නම් ඒකම මදිද සහෝදරී .ස්තූතියි ඔයාට
........................................................................................................................
@mier = අන්න මචං උඹ කිසි කෙනෙක් නොහිතාපු පැත්තකින් හිතලා ! හැබෑට ඒක වෙන්න හොඳටම ඉඩ තියනවා !
........................................................................................................................
@ගිනි කුරුල්ලා = ස්තුතියි
........................................................................................................................
@ඕනෙයා = බලහං ඉතින් උඹ ඒ අක්කටත් වැඩක් කරගන්න දුන්නේ නෑ නේ .පවු බං . අපේ පැත්තේ බුවෙකුත් කෙල්ලට නූලක් පන්නන්න ගිහිං අලවංගු පාරක් කාලා අන්න තාම කැලැල් සහිතව ඉන්නවා . ඒක නෙවේ උඹගේ අර හෙල්මට් පාර කතාව කියහංකෝ
........................................................................................................................
@ඉන්දික උපශාන්ත = ඩී ඇස් මහත්තයා තමයි මේ ජනපද ඇති කලේ මේ කතාව දුවන්නේ ඒ ජනපද ඇති වුණ මුල් කාලෙට . සත ගනං වලින් ගනු දෙනු කරන කරත්ත වලින් බඩු අදින අන්න ඒ කාලෙට . උඹ හරි මචං ‍
........................................................................................................................
@JH = අප්පා උඹට කියන්න හෙන පජාත සීන් ගොඩක් මට සිද්ද වුණා . අන්තිමට ඒ සේරම ලිහාගෙන ඔන්න ආයෙමත් සුපුරුදු ලයිෆ් ස්ටෝරියට මම සෙට් මෝල් වුණා . ගොඩ දෙනෙක් ඇවිත් තිබුණා මගෙ බ්ලොග් එක කියවලා යන්න .
........................................................................................................................
@රාජ් = අප්පා මේං මෙයා රූපේ වෙනස් කරගෙන . මුත්තගේ පොත් වල තියන එවුවා මට තේරෙන්නේ නෑ බොලේ
........................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = මගෙ ලොකු සීයා සහ මුත්තා කියන දෙන්නම ඔය ගුරුකම් , සිංහල වෙද කම් ආදිය බැහැලම කරපු අය එයාලා කල කී දෑ ගැන මතකෙට එද්දී මට විස්වාස කරන්නද අවිස්වාස කරන්නද කියලා හිතාගන්න බෑ
........................................................................................................................
@පරිකල්පන = එහෙම වැඩක් තමා . බලෙන් උනත් හුරුබුහුටි කෑල්ලක් සෙට් කරගත්තොත් ආයේ නිකංද ?
........................................................................................................................
@තනි අලියා = පිරිමි අයට වසී ගුරුකම් කරනවා නේද ? ආනන්ද හාමුදුරුවන්ට අර රොඩී කත කලා කියලා අහලා තියෙන්නේ
........................................................................................................................
@දිල් = මම සයිමන්ට වඩා අන්ත හිඟන්නෙක් අක්කේ .
........................................................................................................................
@Praසන්ன =නෑ බං පුවක් මගෙ බොක ෆිට් එක වෙච්ච කිතුලාගේ ගෙදර එවුවා . මම ලක ගෙදරට කරන උදවුවක් ලෙස තමා ඒ වැඩේ කරලා දුන්නේ

හිස් අහස said...

@කතන්දර = හිනා බෝ වීනම් මටද හෙනම හැපී !!!
........................................................................................................................
@අසරණයා = දැං ඉන්න එවුං ගැන පත්තරේ යන දේවල් දැක්කාම හිනා ගිහිං මැරෙනවා
........................................................................................................................
@ඉඳුනිල් = නෑ අලෝ වෙන සීකෝන් එකක් වුණා . ඒක හිතුනොත් කියන්නම් නැත්තම් වැලලිලාම ගිය දෙන් .
........................................................................................................................
@Miyuru = ඔබා මාමාට නෙවෙයි මගෙ අප්පේ ඒ අසරණ මනුස්සයා තාම තරුණයි . ඇස්වහක් කටවහක් නෑ . ඉනා කාපු අය හැසිරෙන හැටි මමත් දැනගත්තේ ඔන්න ඔය සීන් එකෙන් තමයි
........................................................................................................................
@Anonymous = මම දන්න තරමින් මම ලියන කතා වල සාහිත්‍යමය රසයක් නෑ තියෙන්නේ කියවලා බලලා යන්න හැකි සරල බවක් විතරයි ඒ වුණත් ඒ ගැන කියූ ඔබට ස්තූතියි .ඔබේ හැදිලි කිරීම උපරිමයි . ඒත් තල්පේ ගුරාවත් , මසාහිරා වත් දෙන්නාම ලස්සන පිරිමින් නෙවෙයිලු තල්පේ ගුරා ඒ වෙනකොට වයස අවුරුදු හතලිහට ලංවූ කෙනෙක් කියලයි මට දැනගන්න ලැබුණේ . මම ඇහින් නොදැක කිසිවක් විස්වාස කරන්නේ නෑ . ඒත් මම විස්වාස නොකල බොහොමයක් දේ මම මේ ඇස් දෙකට දැකලා තියනවා . ඉතින් මම ඒවා විවාස කරලත් තියනවා . ඉනාවක් වත් ඒවා කාපු හෝ දුන්න කෙනෙක්වත් මම මේ ජීවිත කාලෙදී අහලා නෑ . ඒත් මට ඒවාට කෙලින්ම ඇඟිල්ල දිගු කරලා මේවා බොරු මනස්ගාත කියලා කියන්න අයිතියකුත් නැත්තේ . ඈත අතීතයේ පටන්ම මේවා පැවතගෙන එන නිසාමයි . සිංහල බෙහෙතේ බලය ගැන මම මගේ ලොකුසීයාගෙන් අහලා තියනවා .ඉතින් මචං මට මේ ගැන දැනට කියන්න තියෙන්නේ මම මේ කතාව අවිස්වාස නොකරනවා කියලයි . කොහොම වෙතත් උඹගේ කරුනු දැක්වීම නිසා මගේ හිතේ තදින් බැදං හිටි සමහරක් අදහස් වෙනස් වුණා කියලත් කියන්න ඕනෙ . ස්තුතියි
........................................................................................................................
@මාධව = මේ පලාතේ ගෑනු ළමයි කොන්ඩේ පීරලා කෙස් ගස් පනාවට ආවොතින් ඒවා එලියට විසි කරන්නේ කෙල පොඩ්ඩක් ගහලයි . ඒකට හේතුව තමා ඔයා කීවේ
........................................................................................................................
@Anonymous 18:19 = අනේ මචෝ වැඩ වගේම කේස් ගොඩක් එක පිට එක වැටුණා මම යට වුණා නැත්තම් මම මේ කතා ලියා දාන එක නතර කරාවිද ? ආතර් කොනන් ඩොයිල් මහත්තයා වගේද බොල මේ හාල් මං . ඒ උන්දෑට වෙච්ච හරිය මම අහලා කියෝලා තියනවා . හප්පා සතුටුයි බොල මම ලියන ඒවත් කියවන්න කෙනෙක් ආසයි කියනකොට . ඉතින් මචං දැන් දිගටම ලියනවා උඹකට එපා වෙනකම්ම ලියනවා .
........................................................................................................................
@Anonymous 18:41 =මේ මාසෙට හතක් ලියැවෙනවා . අනිවා මට හෙන කැත ප්‍රශ්න ගොඩක් ඇති වුණා ඒකයි මට එන්න බැරි වුණේ ආයෙ එන්ඩ තව ලියනවා ඉදිරියට
........................................................................................................................
@කස්ස = සුද්දියන්ට මොකටෙයි බොල ඉනා දෙන්නේ :)
........................................................................................................................
@දිනේශ් = ඒක කියවන්න මට බෑ අනික හෙන කම්මැලියි මෙලව දෙයක් තේරෙන්නෙත් නෑ ඒක කියවලා මම පිස්සෙක් වෙයි බං .

ශශී said...

මටත් එකියෙක්ට ඉනාවක් දෙන්න තියෙනව බං

Harshana said...

Malagedaradi ahagaththe oya kathawa witharak nam wenna baaa....

ela ela...

Anonymous said...

mama kiri gahata anna wage kiwa oya kage hari waliyakata atha dala thama liyanne naththe kiyala.hadennne na me ilandariya nam me athmedi.

Unknown said...

කාලෙකට පස්සෙ තවත් ලස්සන කතාවක්.

තාරක Dilsh@n said...

"පවු වයසක නිසා මිනිහා ට්‍රැක් පයිනවා වැඩියි"

මට මේක දැක්කහම කාවවත් මතක් උනේ නෑ ඕං!!

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

සදරුවෝ,

අදත් කථාවනම් නියමයි. ඒ නිසා මටත් අනුපානයක් එකතුකරන්න හිතුණා.

දැනට ජීවතුන් අතර නැති අපේ අත්තා කෙනෙකුට අයත් මංතර පොතක තිබුණ ඔයවගේ මංතරයක් මීට බොහෝකලකට කලින් මට හම්බවුණා. ඒකේ තිබුණේ හදුන් උරච්චිකර 108 වාරයක් එම මංත්‍රය මතුරා කලයේ ගානු කියලයි. ඒකෙන් කියවුන විදිහට සිද්ද වෙන්නේ දියගෙනයන්න එන කාන්තාවන්ගේ ඉනරැදි රෙද්ද (ඉස්සර කාන්තාවන් ඇන්දේ රෙද්ද සහ හැට්ටයයි)වතුර කලය උකුලට ගත්වහාම ගැලවීවැටෙන බවයි. හදුන් ටික සේදීයනතුරුම අදාල කාන්තාවට වතුර කලය උකුලටගැනීමට හැකි නොවේලු.

මටත් මේකේ සත්‍ය අසත්‍යතාව බලන්න ඕන වුනත් රෙදි හැට්ට අදින, දිය ගෙනඑන්නට ලිදට/වැවට යන කාන්තාවන් කොහේ හොයන්නද මේ කාලේ..........

සංකල්ප said...

තල්පේ ගුරා පට්ට පොරක් නේ. කොහොමහරි ඒ කෙල්ලට ඉනාව දීලා. මාත් ඔය ඉනා ගන අහලා තිබුනට මෙහෙම කතාවක් කියෙව්ව මුල්ම අවස්ථාව මේක.

සෙන්නා said...

එළ කතාව මචන්.. ඔය ඔක්කොම මසාහිරා ගේ well planned games.. :-)

උඹ පහුගිය මල ගෙදරදි අහගත්තු තව ඔයවගේ මනරම් කතා ඇති නේද.. ඉක්මනට ඒවත් දාපන්..

ගින්නා said...

සදරුවෝ ,, මතත් බැලි වෙයිද බොලාලගෙ ගමෙන් ගැටිස්සියෙක් දැපනේ දාගන්න ඉනාවක් හදා ගන්න,,අපි විහිලු කලාට ඔය කතන්ඩර වලත් ඇත්තක් නැත්තෙමත් නෑ බන් කොහොම උනත් මලගේක නයිටක් ගහනකොට ඔය වගේ ඩයල් එකක් සෙට් කර ගත්තොත් නම් ගොඩ තමයි

ගොඩයා said...

හැමදාමත් වගේ උඹේ සුපිරි සයිලයෙන් දීලා තියෙන්නෙ මරු කතාවක්..... ඕවා ඇත්තද බොරුද කියලා හොයන්නේ නෑ මමත්. හැබැයි ඔය කතා මෙච්චර කාලයක් පැවතෙන්න මොකක් හරි හේතුවක් තියේ..... නැත්නම් පට්ටම පට්ට පල් බොරු නම් ඕවා මෙච්චර කල් තියෙයිද???

ගැමියාගේ පත් ඉරුව said...

හිස් අහසේ සදරු අයියනම් කවදාවත් හැදෙන්නේ නෑ බොනව නෙමෙයි නානවා.මේක මාර කේස් එකක්නේ හිතෙන්නේ නැද්ද මේ පෝස්ට් ආයේ කියෙව්වාමවත් ජීවිතේ ගොඩක් වටින දෙයක් බීම නිසා නැතිවෙලා කියලා....

බීලා ඔල්මොරොන්දම් වෙලා ඉන්න කාලේ නොබී නවකථාවක්වත් ලියමුකෝ මේ අත්දැකීම් වලින්.මේ තියෙන රචනා හැකියාවෙන් වැඩක් ගන්න.මමනම් අමද්‍යප මම තාම උ/පෙ කරන්නේ.

පුළුවන්නම් සතියක් නොබී ඒ සල්ලි වෙනම එකතු කරලා එකතු වුනු ගාන කියන්න.සල්ලි කෙසේ වෙතත් සැනසීමෙන් ඉන්න හරි කාලයක් ලැබෙයි.මේ වටිනා හැකියාවන් අකාලයේ මතට දිය නොවී තියේනම් කොයි තරම් වටිනවද....???

හැකිනම් ඊළග post එක ලියනකන් මතට තිත තියන්න.සොදුරු ඉල්ලීමක්(බීමෙහි ආතල් බොන උතුමෝ මිසක් නොබොන හරක් නොදනී නොකියා ඩිංගක් හිතන්නෝ)

මෙතනින් බහුතරයක් මේ ඉල්ලීම කරයි කියලා මම හිතනවා

෴෴සිහින කොදෙව්ව෴෴ said...

පව් අප්පා තල්පෙ. මිනිහා මසාහිරාට උදව් කරන්න ගිහින් නිකන් තොප්පිය ඩාගෙන වගේ. අනිවා එක තමයි වෙන්න ඇත්තෙ. හි හි හි. මරු කතාව.

Anonymous said...

ලොවෙත් නෑ

Raj said...

යකො...මේකත් හරියට ඌරො කැකුණ තලන කොට හබං කුකුලන්ට මගුල් වගේ වැඩක් නේ...කොහොම හරි මසාහිරා..ගොඩ ගියා...

ජීවිතේ මල් said...

සඳරුගේ කතා කියවන්න ආවේ බොහෝම කාලයකින්... කිහිපයක් මගෑරුනාත් එක්ක. අද තමයි ආයෙ පටන් ගන්නෙ කියවන්න.
දවස පටන් ගන්න කියාපු ලේ පිරිසිදු කෙරිල්ල මේක... :)
හොඳ කතාව සඳරුවෝ...
ජය!

Gayan Rupasinghe said...

ඇත්ත වෙන්න ඇති මචන්,,, අපේ ගමෙත් උන්නා අගෝනිස් මාමා කියල නියම මනුස්සෙක්. මිනිහ ගනුදෙනු කලේ කටුස්සොත් එක්ක..

ජය...

පන්සල් හංදිය said...

මහිසරා දෙපිටකාට්ටු ගේමක්වත් ගැහුවද මන්දා ....

mier said...

සදරු මම මචන් කෙනෙක් නෙමේ, මචී කෙනෙක් :) හැබෑට මචන්ගෙ ස්ත්‍රී ලින්ගික නාම පදය මොකද්ද?

Observer said...

හුටා...දැන් ඉතින් හොයපන්කො 'චාමර' කියන්නෙ මොනවද කියල....

@ Aunty Miyuru ,
මොන වැරද්දක් කොරාටද මේ කොක්ක දාන්නෙ?

සෙන්නා said...

@ ගැමියාගේ පත් ඉරුව,

මාත් එකඟයි ඔබ සමග.. සඳරු, උඹ බොනවානම් ඒක නවත්වන්ඩ කාලය හරි.. නිකන් අකාලයේ ජීවිතේ විනාශ කරගන්ඩ එපා කියලා තමා කියන්ඩ තියෙන්නේ.

Harshana said...

@ ගැමියාගේ පත් ඉරුව;

මම ඔබගේ කොමෙන්ටුවට සහයෝගය දක්වනවා.

Mithuru said...

දැන් එතකොට මසාහිරාගෙන් ගුරුකම් කරගන්න කට්ටිය එදායින් පස්සේ පෝළිම් ගැහිලා ආවලුද?
ඇත්තටම මොකෝ අයියේ ඔයාට උනේ?

දිනුක said...

මචං මටනං හිතෙන්නෙ මේක මහිසරා ලොක්කගෙ ලොකු ප්ලෑනක්.ඒකා කෙල්ලට ඉනාව දීලා තල්පෙයාව මාට්ටු කරලා ගෙදර උංවත් ගොනාට අන්දලා කෙල්ලව ඉස්සුවා.ෂිඃ ඉනා තාක්ෂණේ වලපල්ලට ගියේ නැත්තං අපිටත් තිබ්බනේ ඕනෙ ඕනෙ විදිහට කෙල්ලො ගොඩ දා ගන්න.පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ.

Anonymous said...

@ gamayage path iruwa,,
mamath 100% ekangai oyage comment ekata.
sandaru,api hamoma oyata kiyanne oyage beema adu karanna kiyala.oyata awurudu 30 wenakota jeewithe godak dewal maga arila bawa daney.ethakota too late.
hama thissema jeewithe jaya ganna hithnna.
api nodanna,kisi daka munagahila nathi,apen gaw gananawak athin inna,kawamadakawath asuru karala nathi oya wenuwen ape hith wala thiyena adaraya saha pahadeema oyage jeewithe hari magaka yanna udaw karai sandaru...

Anonymous said...

ado sandaru,
jana awada mala gedara?uge love ekata mokada une.ara campus kella thama jana ekkada?

kohomath umbe beema nam adu karapan ban.mamath bonawa thamai.eth machan mage life eka dan settle wela iwarai.job eken thanakata awith anith adu wadiyath set karagaththama tikak beewata kamak na ban.
umbama balahan methana inna ewun bagayakma bonawa.eth un 90% k rate loke yam thanakata awith inna ewunne ban.umba podi ekaa kalema beema witharak hala gaththama kawadada ban hadenne.
tikak iwasala jeewithen goda enna balapan.eta passe bomu ban hithe hatiyata.
@ dumee,duka,oba,sapa & all aththa neda mama kiwwe machanla..

ගැමියාගේ පත් ඉරුව said...

senna,Harshana අයියලා බොහෝම ස්තූතියි රටක් වටින සදරු අයියාව රැකගැනීමේ පළමු පියවර තැබුවාට

තරහා වෙන්න එපා සදරු අයියේ මේ ගින්න ඇවිළුවට ඔයාගේම හොදටයි කිව්වේ මම දැකලා තියෙනවා ගොඩාක් දෙනෙක් මේ ඉල්ලීම මීට කලින් සෑහෙන්න කරලා තියෙනවා ඒත් ඒ ඉල්ලීම් පිලිගත්තද කියලා අපි දන්නේ නෑනේ පුළුවන්නම් ඒ ගැනත් අපිට කියන්න.

මම මේ සති දෙක තුනට ඔයාගේ සේරම post කියෙව්වා ඒ අතරින් අර නිදන් හාරන කථාව "සමාවෙන්න දෙයියනේ" කථාව අති විශිෂ්ඨයි ඒත් ඒක ලිව්වේ බෝතලයක් සමග කියලා දැක්කාම දුකයි.බීලා ඔහොම කරන්න පුළුවන්නම් නොබී මොන තරම් අනර්ඝ නිර්මාණ කරැන්න පුළුවන්ද

ඔයා නානවා කිව්වේ මේ පෝස්ට් කියෙව්වාම එහෙම හිතුනු නිසා.හිතේ කහටක් ඇති කරගන්න එපා නිදහස නැතිකරනවා කියලා.බලෙන් ඔයාගේ පුරුදු නතර කරන්න බෑ ඔයාම හිතලා තේරුම් ගන්න.බැදලා දරුවෙක් කාරිය ලැබුණාමනම් බලෙන් හරි මේ පුරුදු අත්ඇරගන්න

සැර වැඩිනම් සමාවෙන්න...අර පව්කාර නොවන ආදරේ අළුත් තත්වයත් දැනගන්න ආසයි

හසී said...

මසාහිරා වැඩකරුනේ :)

හිස් අහස said...

@ ඕලොප්යූ වෙත (සියලු දෙනාටම)

මම දැන් බීම නතර අඩුම කරලා ගොඩාක් කල් දැන් මතට යන්තම් තිතක් තියලා මාස තුනකටත් වැඩියි මේ මාසට තවම කිසිම මතක් කටේ තිබ්බේ නෑ .. මේ ඇත්තමයි .ගිය මාසෙට එක වතාවයි බීවේ

ගැමියාගේ පත් ඉරුව = පවුකාර නොවන එවුවා මචං අතීතෙට මික්ස් වෙලා කචල් වෙලා කුඩු වෙලා ගිහිං . දැං කරන්නේ වෙන එකක්

ක්සැන්ඩරයා said...

ෆට්ට කතාව සඳරුවෝ.. අයෙත් අහන්න දෙයක් නෑ, හොයන්න කියන්න දෙයක් නෑ, මේ මසාහිරාගේ ගැටයක්..

Pisakkaatuwa said...

මලේ, වෙනදා වගේම පොස්ට් එක පට්ට. මැල්ලුන් කතාවනම් මාත් අහලතියනවා. හැබැයි ඒවා නම් වැඩිහරියක් දෙන්නේ පිරිමින්ටලු. කොහොමටත් මළගෙවල්වල නයිට් ගහද්දි සයිමන් අන්කල් වගේ වයසක කට්ටිය තමයි නිදිමත නැතිකරන්නේ.

උඹ දැන් බිම අඩුකරලා කියල මම දන්නේ මීට කලිනුත් කීප තැනකම උඹ ඒක දාල තිබුන නිසා. නරකද උඹේ profile එකේ interests කියන එකේ තියන 'අරක්කු වලට ගොඩක් කැමතියි. ඒවා නිසා තමයි මම ජීවත් වෙන්නේ ' කියන ඒක වෙනස් කලොත්. උඹව මුණගැහිලා නැති වුනත් උඹට තියන හිතවත් කමටයි කිවුවේ. වැරදි ටෝක් එකක් නම් සොරි වෙන්ඩ ඕනි.

ගැමියාගේ පත් ඉරුව said...

මතට තිත ගැන සන්තෝසයි සදරු අයියේ ජය වේවා........
ඔහොම යං දිගටම

..........එව්වා එහෙම තමයි අයියේ පසු නොබසින උත්සහයට ජය වේවා

Charith Samarakoon said...

සඳරු කොහෙද කියලා මාත් බැලුවා... කියවන්න කලින් කොමෙන්ටුවක් දැම්මෙ..කියවල එන්නම් ආයෙත්....

Charith Samarakoon said...

මේ ඔය ඉනාවක් හදාගන්න රෙසිපිය හොයාගන්න බැරිවෙයිද බං... ඉතුරු හරිය මං කොරගන්නම් අනතුරක් නැතිවෙන්න..හික්

සඳරුට කැත සිද්ධි ගොඩක් උනා! ඒ කියන්නෙ තව රහ කතා ගොඩක් නේද..මොනා උනත් අපාය සහය බෝතලයා ආශ්‍රය අඩුකල එකනම් අහන්න සතුටක්... එල...! ජය!

Beetle said...

අපරාදේ තල්පය ලා අද කාලේ ඉන්න තිබුනේ... හිටියානම් ලිබර්ටි ප්ලාසා එකේ වගේ දේවාලයක් දාගෙන ගාන කපන්න තිවුනා මෙහෙම මෙහෙම...

neer said...

bona eka adu kala eka nam loku deyak ayya....

jhothishalanka said...

තල්පේ ගුරා වගේ උන් අද හිටියනම් කොහාමට හිටීද?

Sindu said...

බයත් හිතෙනවා අප්පා..........

Anonymous said...

ane manda umba nam dan kiri nathi wassiyek wage ban.ekak liwwama anika balanna dawas ganak thapinna oni api.yako mewa iwasanne komada ban.liyapanko wasthuwe....

Anonymous said...

...mate talpe kenek nisa podi joliyak awit etanama nawatuna...

Anonymous said...

Nice stories.

වර්ණ said...

මසාහිරත් ඒ කාරියටම ගිහින් අන්තිමේ තල්පෙ ගුරාට බින්දුව දාලා කෙල්ල ඉස්සුවා වගේ

Anonymous said...

Ko ethakota ara suddakarapu puwak gedi tika???

Unknown said...

කොමවුනත‍් ඔයා හො‍්දට ලියලා තියනවා එහම එවා අදත‍් තියනවා සැකනමි 0787281000 කතාකරන‍්‍න

Post a Comment

තැන්කූ බං